ජනතා මුදලින් පබ්ලිසිටි දී, ජනතා මුදලින් නඩත්තු කෙරෙන වාහන වලින් ගොස්, ජනතා මුදල් වැය කොට කළ සුපිරි සේවයක් ගැන ය, මේ ප‍්‍රවෘත්තිය.

‘අතිගරු ජනාධිපතිතුමාට සහ රටේ ජනතාවට සෙත් පැතීමට සහ වැසි ලබාදෙන ලෙස ඉල්ලා බෝධි පූජාවක් ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ලේ දී…

අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු රජයටත්, රටේ ජනතාවටත් ආශිර්වාද කරමින් නියගය නිමා කර වැසි ලබාදෙන ලෙස ඉල්ලා බෝධි පූජාවක් බදුල්ල, පොල්වත්ත ශ‍්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ දී ඌව පළාත් ගරු ආණ්ඩුකාර අධිනීතීඥ ඇම්.පී.ජයසිංහ මහතාගේ ප‍්‍රධානතව්යෙන් පවත්වන ලදි.

මේ අවස්ථාවට ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් කේ.එම්.එස්.අබේසුන්දර මහත්මිය සහ ආණ්ඩුකාර ලේකම් එච්.එම්.සෝමතිලක මහතා ඇතුළු ආණ්ඩුකාර කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහභාගි වූහ.’

මේ තවත් ඒ ජාතියේ ප‍්‍රවෘත්තියකි. ඊට ද මුලින් කී සියල්ල අදාළ ය.

‘ජනපතිගේ අපලයට රට පුරා බෝධි පූජා – ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස්…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ දෙවැනි පදවි ප‍්‍රාප්තිය යෙදී ඇති 2017 ජනවාරි 08 වැනි දින දිවයින පුරා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්ත ව සේවය කරන ග‍්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් බෝධි පූජා පවත්වමින් ජනාධිපතිවරයාට සෙත් පැතීමට කටයුතු කරන ලෙසට ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම බෝධිපූජා පින්කම් පවත්වා ජනාධිපතිවරයාට සෙත් පැතීමට තීරණය වී ඇත්තේ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වල දී ගනු ලැබූ තීරණයක් මත වන අතර, එමගින් ජනාධිපතිවරයාට මේ දින වල පවතින අපල කාලය දුරු වනු ඇතැයි විශ්වාස කෙරේ. දිවයින පුරා ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මගින් අදාළ තීරණය ගැනීම සදහා උපදෙස් ලබා දී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බව ද වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අතේ නිතරම ගුලි කරගත් බෝලයක් තිබෙන බවත්, එය වශී බෝලයක් බවත් පවසමින් කෝචොක් කළ මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙවැනි තත්ත්වයකට පත්වීම කොතරම් ලැජ්ජාවක් ද?

ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වන ඔලමොට්ටලයන් කරන මේ ජාතියේ වැඩ වලට ජනාධිපතිවරයා පළි නැතැයි කෙනකුට කියන්නට හැකිය. ඒත් එය එසේ නොවේ. ඉහත උපුටා ගත් ප‍්‍රවෘත්ති දෙක ම සතිඅන්ත ජාතික පුවත්පත් වල පළ වූ පුවත් ය. ඒ කියන්නේ පත්තර වලින් රටේ සිද්ධ වන දේවල් දැනගන්නා ජනාධිපතිවරයා මේ පත්තර දෙක වෙළෙදපොළට නිකුත් වූ පසු මේ ගැන ද දැනගත යුතුය. ජනාධිපතිවරයා ස්ටේජ් වල දී මහින්ද රාජපක්ෂට කෝචොක් කළේ ඇත්තටම නම්, ඔහු වහාම මේවා නැවැත්විය යුතුය. මේවාට ජනතා මුදල් කාබාසිනියා කිරීම නැවැත්විය යුතුය. එහෙත් පසුගිය සති අන්තයේ පුවත්පත් නිකුත් වී දවස් හතක් ගත වන විටත් එවැන්නක් කරන්නට ජනාධිපතිවරයා කටයුතු කර නැත.

ඒ කියන්නේ ඔහු මේ වැඬේට ආශිර්වාද කරන්නේය. එය අමුතු දෙයක් නොවේ. මේ ජනාධිපතිවරයාගෙන් ද ඒ ජාතියේ තීන්දුවක් බලාපොරොත්තු වන්නට තරම් අප ඔලමොට්ටලයන් නොවේ. එහෙත් විලිසංගයක් ඇත්නම් ස්ටේජ් වල කියපු දේවල් මතක් විය යුතුය.

එසේ ලියූ විට ශිරාල් ලක්තිලක වැන්නන් අපට එරෙහිව පුවත්පත් පැමිණිලි කොමිසමට ලිපි යවනු ඇත. මේ හදන්නේ ජනාධිපතිවරයාගේ කීර්තිනාමයට හානි කරන්නට බව කියනු ඇත. මීට පෙර ද අපට එවැනි අත්දැකීම් ඇත. ඒත් ශිරාල් ලක්තිලකලා එදා සිටියේ සහ අද සිටින්නේ කොතැනද, අප එදා සිටියේ සහ අද සිටින්නේ කොතැනද යන්න තීරණ්‍ය කිරීම ජනතාවට අයත් කාර්යයකි. ඒ නිසා අප කලබල වන්නේ නැත.

කියන්නට ගියේ රටේ රාජ්‍ය නායකයන් සහ රට කරවන නිලධාරි තන්ත‍්‍රය මෙසේ මිත්‍යාව කර තබාගෙන යාම ගැන ය. ජනතාව වෙනුවෙන් මහ පොළොවේ සිට තීන්දු-තීරණ ගන්නවා වෙනුවට අදෘශ්‍යමාන බලවේග වල පිහිට පතන්නට තරම් මේ නායකයන් අ`දබාල චරිත ය. ජනතාව වෙනුවෙන් යමක් කරන්නට යොදවන්නට ඇති රුපියල් සියය හෝ මෙවැනි අදෘශ්‍යමාන බලවේග වෙනුවෙන් වැඩ කරන්නට කැප කිරීම කොයිතරම් අනුවණකමක් ද?

අනෙක් අතට රාජ්‍ය නිලධාරීන් වන ග‍්‍රාම නිලධාරීවරුන් ඇතුළු අනෙකුත් රාජ්‍ය සේවකයන් මෙවැනි වැඩ වලට යොදවන්නට ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් දීම උපමා කළ යුත්තේ කැකිල්ලේටත් හපන් වැඩකට නොවේද? මේ රාජ්‍ය නිලධාරීන්ට හරියට වැඩ පවරන්නේ නම් ජනතා සුබසිද්ධියට කොතෙක් නම් වැඩ කරන්නට තිබේද? ඒවා ගැන මීට පෙර ජනාධිපති කාර්යාලයෙන් මේ විදිහේ පිළිවෙළකට යම් විමසීමක් කර ඇද්ද?

ජනතාව පිට බදු පිට බදු ගහන්නට යෝජනා ගෙන එන මේ ආණ්ඩුව මහ පොළොවේ කටයුතු කරන්නේ මෙසේ නම්, යහපාලනය වෙනුවෙන් දරදිය ඇද්ද, ඒ වෙනුවට ‘රෙස්පෙක්ට් එක’ බලාපොරොත්තු වන මහත්තුරුන්ට රෙදි ඇදගෙන පාරට බහින්නට හැකි ද?

වැඬේ කියන්නේ මේ මිත්‍යාව වපුරන්නන් අපේ සමාජයේ අත්කරගෙන ඇති වපසරිය ඉතා පුළුල් වීම ය. සාස්තරකාරයන්ට, අනාවැකිකාරයන්ට, ජ්‍යෝතිෂකාරයන්ට, දෙයියන් පෙන්වන්නන්ට ඕනෑම වෙලාවක ඔය කොයි මන්දිරයේත් දොරවල් ඇරෙන්නේය. එය ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයාගේ සිට අරලියගහ මන්දිරය, ජනාධිපති කාර්යාලය දක්වා ම පොදු කාරණයකි. ඒත් ජනතාව මේ තැන් වලට වද්දා ගන්නට කලින් මේ ලොක්කෝ ඇති පදම් සිතති. දේවාල වල කපුවන්ට රුපියල් ලක්ෂ ගණන් වැය කරන, අතේ ඇගිලි පහට ම අපල දුරු වන්නට මුදු දමන දේශපාලනඥයන් ජනතාව වෙනුවෙන් කොච්චරක් දේ කරාවි යැයි අප විශ්වාස කළ යුතු ද?

පහුගිය ආණ්ඩුවේ මිත්‍යා විශ්වාස වලට ගරහා ඒ වෙනුවට අප පත්කරගෙන ඇත්තේ මේ ජාතියෙන් මිත්‍යාව රජ කරවන මහත්තුරුන් රොත්තකි. ජනතාවගෙන් එකතු කරන බදු මුදල් වලින් ම මෙසේ තම-තමන්ගේ අපල දුරුකර ගැනීමට වැඩ කිරීම කොයිතරම් නම් අපූර්ව කාරණයක් ද? ඉතින් මහපොළොවේ මන්ද පෝෂණය දළුලද්දී, දෙයියන් බිරින්දෑවරුන් දෙ-තුන් දෙනා තබා ගැනීම අහන්නත් දෙයක් ද?

ශාලික විමලසේන