Image:Vikalpa

“මෛත්‍රී ජනාධිපති වරයා කොපමණ වතාවක් වන්නියට පැමිණ ගියද අපි තවම කදුළු සලන්නෙමු”- අතුරුදහන් වු දරුවෙකුගේ මවක්

මම පසුගිය සතියේ වන්නියේ තනිව සැරිසැරූ වෙමි. ඒ මගේ උපාධි අධ්‍යන කටයුතක් හේතු කොටය. එහිදී, මට අතුරුදහන් වුවන්ගේ මවුවරුන් මුණ ගැසුණි. සුහද කතාබහකින් අනතුරුව මා හට එක් මවක් විසින් ඉහත ප්‍රකාශය සිදුකරන ලදී. සැලවන ආකාරයට ජනාධිපතිවරයා නැවතත් යාපනය වෙත යාමට නියමිතව පවතී. ඝාතන මතින් ලබාගත් ලජ්ජා සහගත ජයක් සමරන සපුමල් කුමාරයා නොවී රාජ්‍ය නායකයකු ලෙස ජනාධිපතිවරයා වන්නියට හෝ යාපනයට යාම මා දැඩිව අගය කරමි. නමුත් ඉහත මව ප්‍රකාශ කල ආකාරයට ‘කොපමණ වතාවක් ජනාධිපති පැමිණයද ජනතාව කදුළු සලන්නේ නම්’ එකී පැමිණීම් නිෂ්පල වියදම් පමණි.

අධ්‍යනයේදී අනාවරණය වු කරුණක් නම් අතුරුදහන් වුවන් සදහා මරණ සහතික නිකුත් කිරීමට රජය තීරණය කර ඇති බවය. මරණ සහතික නිකුත් කිරීමේ දී, මරණය සිදු වු අකාරය පැහැදිලිව නොදක්වන අතර යුද්ධය අතරතුර මියගිය බව ප්‍රකාශ වේ. අතුරුදහන් වුයේ කෙසේද? ඔවුන්ව අතුරුදහන් කරනු ලැබුවේ කවුරුන් ද? අතුරුදහන් වු පමණින්ම මිනිසුන් මියගියවුන් වන්නේ කෙසේද? යන ගැටළු සදහා නිශ්චිත පිළිතුරු සැපයීමේ වගකීමක් ආණ්ඩුව සතු වන බව අමතක නොකළ යුතුය.

ඉතාම අමානුෂික සහ තුච්ඡ අතුරුදහන් කිරීමේ ආඛ්‍යාන දෙකක් මා මෙහි ලා සදහන් කිරීමට කැමැත්තෙමි.

සිදුවීම ප්‍රකාශිත මව 80 හැවිරිදිය. ඇය යැපෙන්නේ ඈ විසින්ම තල්කොළ වලින් වියු අත්කම් නිමැවුම් ගමින් ගමට පයින් ගෙන ගොස් විකිණිමෙනි. ඇයගේ බල පුත්‍රයා 1996 ජුලි 16 වැනිදින, Punnalalikadduwan හමුදා මුරපොළේදී අතුරුදහන් වී ඇත. ඔහුව හමුදාව විසින් රදවා තබා ගැනීමට හේතුවු බව සදහන් වුයේ ඔහු සතුව හැදුනුම් පත නොමැතිවීමය. එකී මව ප්‍රකාශත ආකාරයට හැදුනුම්පත අයදුම්කිරීම සදහා අදාල ලියවිලි නිවස වෙත ලැබී ඇත්තේ ඔහු අතුරුදහන් වු දිනට පසු දිනය. ප්‍රාථමික අධ්‍යාපනය පමණක් ලත් එකී තරුණයා අතුරුදහන්වන විට වයස අවුරුදු 22ක් වූ බවත්, හෙතම සුරුට්ටු එතීමෙන් පවුල වෙත අදායම් උපයා දුන් බවත් එම මහලු මව ප්‍රකාශ කළාය. අනෙක් දරුවන්ගේ කුසගිනි නිවීම වැදගත් වු හෙයින් කුලී වැඩෙහි යෙදුනු බව කී මෙම මව, ඇයට හැකි අයුරින් තම බාල පුත්‍රයා පිළිබද සොයා පැමිණිල්ලක් පොලිස් ස්ථනය වෙත කරන ලදී. පැමිණිලේ පිටපතට දුටු විට මා මවිත වීමි. එය සිංහලෙන් පිටපත් කරණ ලද පැමිණිල්ලක් වු අතර මවගේ දියණියක් එහි සදහන් කරුණු සත්‍ය බවට ප්‍රකාශ කර ඇත.

නමුත් එකී මවට අනුව දියණියට සිංහල භෂාව පිලිබද කිසිදු අවබෝධයක් නොමැත. සිංහලෙන් ප්‍රකාශිත පොලිස් පැමිණිලේ පිටපතට අනුව, අදාල තරුණයා කළුතර බන්ධනාගාරයේ සිටින බවට තොරතුරක් ලැබී තිබේ. නමුත් මව බන්ධනාගාරයෙන් තොරතුරු විමසු විට ලැබී ඇති පිළිතුර නම් අදාල තරුණයා එහි නොමැති බවය. හැදුනුම්පත අදාල අවස්ථාවේදී තම ළග නොතිබීමේ වරදට කිසියම් පුද්ගලයකු අතුරුදහන් කිරීමට හැකියාවක් තිබේද? එසේම මෙකී අතුරුදහන් වීම සිදුවන්නේ දෙමළ ජනයා දුකින් මුදවාගත් බවට පාරම්බාන, රාජ්‍ය ආයතනයක් වන හමුදා මුරපොළකදීය.

අනෙක් ආඛ්‍යානය නම් 2006 දී අතුරුදහන් වු තම දියණිය පිලිබද මවගේ විලාපයි. 2008 නිදහස්‌ කොටි ජනතාවගේ නිදහස අහිමි කරමින් බලහත්කාරයෙන් බදවා ගැනීම් කරණ ලදී. එහි ප්‍රථිපලයක් ලෙස තම දියණිය බලාහත්කාරයෙන් සංවිධානය වෙත බදවාගත් බවත්, ඇය කලපුව හරහා යමින් ශ්‍රී ලංකා ආණ්ඩු පාලනය වෙත පිවිසීමේ දී අතුරුදහන් වූ බවත් මව ප්‍රකාශ කළාය. අවුරුදු 44ක් වයසැති මෙම මව, මෙකී සිදුවීමෙන් අනතුරුව ස්නායු භංගත්වයෙන් (nervous breakdown) පීඩා විදින අතර ඇය බැගැපත්ව ඉල්ලා සිටියේ දෙමළ ඊලම නොව ‘මට මියැදෙන්න ප්‍රථම දරුවාව බලන්න සලසන්නය’ කියා ය.

මෙම මවට අනුව 2011 සැත්තැම්බරයේ පෞද්ගලික රුපවාහිනී නාලිකාවක විකාශය වූ පශ්චාත් යුධ සංවර්ධනය පිලිබද වැඩසටහනේ පසුබිමක මෙකී අතුරුදහන් වූ තරුණිය ද වූ බවට පැවසේ. මෙනයින්ම, තරුණිය තව දුරටත් ජිවත්වන බව මව තරයේ විශ්වාස කරණු ලැබීම අරුමයක් නොවේ. මෙකී මවට නිරන්තරයෙන්ම තම දියණිය ජිවත් වන බවත්, මුණ ගැසීමට අවශ්‍ය නම් යම් කාසි හුවමාරුවක් සිදුකළ යුතු යැයි පවසමින් හදුනානොගත් දුරකථන අංක මගින් ඇමතුම් ලැබුණු බව ද සැලවිනි.

අතුරුදහන් වූවන් පිලිබද කාර්යාලයක් ස්ථාපිත කීරීම උදෙසා යහපාලන ආණ්ඩුව ගන්නා ලද පියවර අගය කළ යුතුයි. ඉපදීම නෛතිකව සදහන් වුව ද ජීවත්වීම සහ මරණය නෛතිකව තහවුරු කිරීමට අපොහොසත් වූ සංඛ්‍යාව නිශ්චිතව කිව නොහැකිව, අතුරුදහන් වූවන් සදහා යුක්තිය ඉටු කිරීම තවදුරටත් ප්‍රමාද කලයුතු නොවේ.

මැතිවරණ පරාජය වූ පසුවත් ආණ්ඩු පෙරළීමට හින දකින දේශපාලකයින් සිටන රටක, යුක්තිය ඉටුකිරීම පහසු කාර්යක් නොවේ. මක් නිසාදයත්, විශාල යටිතල සංවර්ධන ව්‍යාපෘති මගින් පමණක්ම ආණ්ඩුවේ කාර්යක්ෂමතාව මනින ජනතාවක් සහ දේශපාලකයින්ගේ යුටෝපියානු දැක්ම මාර්කට් කරන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය භාවිතාවක් ඇති රටක ‘මරණ සහතික නොමැති මිනිසුන්’ පිලිබද කරුණ තවත් එක් දෙමළාගේ කරුණක් බවට පත්වී ඇති හෙයිනි.

අතුරුදහන් වූවන් පිලිබද සංසිද්දිය සෑම ශ්‍රී ලංකීක පුරවැසියෙකුටම අදාලය. මා රුහුණු කුමාරි දුම්රියෙන් රාත්‍රියේ ගමන් කරන විට මගේ මව නිරන්තරයෙන්ම මා හට දුරකථනයෙන් අමතනු ලබයි. ඇයගේ තර්කය වුයේ, ‘කවුද දන්නේ මොනවා වෙයිද කියලා? කොහේ කියලා හොයන්නද?’. ඇය තව දුරටත් පැවසුවේ මෙරටදී රාත්‍රියේ ගමන් යාම ස්ත්‍රියගේ ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් බවය. ශ්‍රී ලංකාවේ දී ප්‍රථම පුරවැසියෙකු වන මා හට, මගේ රටේදී ම ආරක්ෂාවට තර්ජනයක්ව අතුරුදහන් වීමට සිදුවේ නම් එය වැළැක්වීමට මෙන්ම, අතුරුදහන්වූයේ නම් ඒ පිලිබද නිවැරදි, සත්‍ය තොරතුරු ලබා ගැනීමට ක්‍රමවේදයක් අනිවාර්යෙන්ම පැවතිය යුතුය. එවිට උතුරේ මෙන්ම දකුණේ ද අතුරුදහන් වූ තරුණ ජිවත පිලිබද යුක්තිය ඉටුවනු ඇත.

අතුරුදහන් වූවන් පිලිබද විවිධ ජනාධිපති කොමිෂන් සභාවාරයන් මේ වන විට පවත්වා ඇත. දීර්ඝ සාක්ෂි සටහන් ලබාගෙන ඇත. දෙමාපියන්, බිරින්දෑවරුන්, සහෝදර – සහෝදරියන් හෝ වෙනත් ඥාතින් අතුරුදහන් වූවන් පිලිබද විවිධ ආයතන, පුද්ගලයන් මෙන්න නොපෙනෙන දෙවියන් ද දැනුවත් කර ඇත.

ඔවුන්ට අවශ්‍ය ‘තම අදරණියන්ට කවර දෝෂයක් වී දැයි දන ගැනීමය’. එය දෙමළ ඊළම පිළිබද ඉල්ලීමක් නොව ඔවුන්ගේ අයිතියකි. මවුබිම සහ හමුදා ශ්‍රමිකයන් සුරැකීමේ උන්මාදයෙන් පෙලෙන සියලු ජනතාව වටහා ගත යුතු කරුණ නම් කාගේ හෝ අණින් යම් ජනතාවක් අතුරුදහන් කරන ලද බවත්, අපගේ මව්බිමේ සහ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය ද ඒ සමග අතුරුදහන් වී ඇති බවය. අතුරුදහන් වූ ශ්‍රේෂ්ඨත්වය නැවත ලබා ගැනීමට නම් අතුරුදහන් කරන ලද ජනතාවට යුක්තිය ඉටුවිය යුතු ම ය.

අරුණි සමරකෝන් | Aruni Samarakoon

සබැදි සටහන්

ශ‍්‍රී ලංකාව: දෘෂ්ටියේ පටලැවිල්ලක්?

ඒකීය රාජ්‍ය දිවිහිමියෙන් රැකීම සහ එහි මිනිසුන් නොරැකීම

මරපු උන් සහ මරපු උන් රකින උන්