මින් වසර 2 කට පෙර ජනවාරි 08 වන දින එතෙක් පැවති දූෂිත, ඒකාධිපති, අත්තනෝමතික, අවනීතික රජය පෙරලා දමා එතෙක් බලයේ සිටි කල්ලිය වෙතින් වෙනත් කණ්ඩායමක් අතට රාජ්‍ය බලය ලබාදෙනු ලබයි.

එතෙක් පැවති දුර්ධාන්ත පාලනය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක්, නීතිය මත පාලනයක් නැතිනම් එදා පැවසූ වචනයෙන්ම යහපාලනයක් රට තුල ඇතිකර ගැනීම එදා බලය පෙරලීමේ ගාමක බලවේගය වූ සිවිල් සමාජයේ අරමුණ විය. සිවිල් සමාජ ක්‍රියාධරයින් වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම නොනවත්වා අප්‍රතිහත දිරියකින් පැවති දූෂිත පාලනයට එරෙහිව රට තුලත් රටින් පිටත් තමන්ගේ අරගලය කරගනු යනු ලැබීය. බොහෝ විට රටෙහි ප්‍රධාන විපක්ෂය පවා මුණිවත රැකි කාලයක, ප්‍රධාන විපක්ෂයේ කණ්ඩායම් පැවති දූෂිත පාලකයන්ගේ දෑත් ශක්තිමත් කිරීමට එම දුර්ධාන්ත පාලනයට මුක්කු ගැසූ අවධියක මෙම සිවිල් සමාජ ක්‍රියාධරයින් ජීවිත තර්ජන නොතකා මෙම දූෂිත පාලන කල්ලියට එරෙහිව පෙනී සිටිනු ලැබීය. වසර ගණනාවක් තිස්සේ මහින්ද රාජපක්ෂට එරෙහිව පොදු අපේක්ෂකුයෙකු සෙවූ සිවිල් සමාජය අන්තිමට එක්සත් ජාතික පක්ෂයද එක්කරගෙන පොදු අපේක්ෂකයෙකු සෙවීමේ කාර්යයෙහි යෙදුනි.

එහි ප්‍රථිඵලයක් ලෙස මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස පෙරටු කරගත් සියලු ප්‍රගතිශීළී බලවේග පැවති දූෂිත රජය පෙරළා දැමීම සිදුවී ජනවාරි 08 වෙනිදාට(අදට) වසර 2 කි.

පැවති දූෂිත රාජ්‍ය තන්ත්‍රයක් පෙරළා එය වෙනුවට අලුත් රාජ්‍ය තන්ත්‍රයක් පත්කර ගැනීමෙන් පමණක් ප්‍රශ්න නොවිසදේ. අලුතින් පත් කර ගත් පාලන තන්ත්‍රය පැවති දූෂිත පාලනයෙන් වෙනස්වනු ලබන්නේ අලුතින් පත්කර ගත් රාජ්‍ය තන්ත්‍රය නිවැරදි දේශපාලනයක්, නිවැරදි දේශපාලන ක්‍රියාමාර්ග ක්‍රියාවට නංවන්නේ නම් පමණි. එදා ජනවාරි 08 න් පසුව එදා මෙදා තුර සිදුවෙමින් පවතින්නේ ලංකා දේශපාලනයට කවදත් හුරුව තිබූ, ලංකා දේශපාලකයින්ගේ අශෝබන ක්‍රියාත්මක වීමේ ආකාරයම බව දිනෙන් දින තහවුරු වෙමින් පවතී. ‘යහපාලනය’ යන වචනය අද වන විට එදා ජේ.ආර්. පාලනයේ ‘ධර්මිෂ්ඨ’ පාලනය යන වචනය හෑල්ලුවට ලක්වූ ලෙසම විහිළුවක් බවට පත්වෙමින් පවතී. බලය පෙරළූ මුල්ම දිනවල ඉතා සුළු සුළුවෙන් දූෂණ, මිනීමැරීම් සහ රාජපක්ෂ කල්ලියේ මූල්‍ය වංචා පිළිබඳ විමසීම් ඇරඹුවා වුවත් අද වන විට ඒවා නිකන්ම ඇස් බැන්දුම් බවට පත්වෙන බවක් පෙන්වයි. රාජපක්ෂ කල්ලියේ හොරුන් පවතින රජයේද ප්‍රධාන ඇමති ධූර දරණ බව නොරහසකි. අපරාධ මූළ්‍ය කොට්ඨාශය FCID ඉදිරියට ගෙන්වා කට උත්තර ගන්නා දේශපාලඥයන්ගේ සහ රාජපක්ෂ කල්ලියේ හොරුන්ගේ නම් ගම් නිතර අපට දකින්නට ලැබේ. නමුත් ඔවුන් එහි ගොස් එම නිලධාරීන් සමග ගොස් තේ කෝපි බී ගෙදර ගියා ද යන සැකය අද වන විට අප වෙත ලංවන්නේ මේ කිසිවෙකුට එරෙහිව ඉන්පසු අධිකරණ ක්‍රියාදාමයක් නොගන්නා හෙයිනි.

රවී රාජ් ඝාතනය, ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම වැනි අපරාධ සම්බන්ධව සිදුවන අධිකරණ ක්‍රියාදාමයන් පෙන්නුම් කරන්නේ අධිකරණය කිසිසේත්ම වෙනසකට භාජනය වී නොමැති බවයි. මහා අපරාධ විශාල ප්‍රමාණයකට වග කිවයුතු ඉහළ දේශපාලන බලවතුන් විශේෂයෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැනි අය තවදුරටත් ප්‍රභූ බල රස විදිමින් නිදහසේ හැසිරේ. දේශපාලනයේ යෙදුන නිලධාරියෙකු වශයෙන් ඔහු එදා නීති විරෝධීව ක්‍රියාත්මක වූ අතර ඔහු එදා කළ එම වරදට අද වන තුරු කිසිම නීති ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමාගේ ජයග්‍රහණයෙන් පසු රටට පැවසුවේ තමා එදා ජනාධිපතිවරණයෙන් පරාද වූවානම් අද තමාට සිටින්න සිදුවන්නේ පොලොවේ අඩි 6 ක් යට බවයි. තමාගේ මුළු පවුලටම මරණයට හෝ හිරගෙවල්වල සිටින්නට සිදුවන බවයි. එසේ නම් එදා පාලක කල්ලිය ඔහුව මරා දමනු ඇති බව එයින් ගම්‍ය වුනි. ඒ තුළම එදා පාලකයින් විරුද්ධවාදීන් මරා දමන බවද ගම්‍ය වුණි. නමුත් ඔහුව මරා දැමීමට නොහැකි වූ ඒ මිනීමරුවන් වෙනත් ඔවුන්ගේ බොහෝ විරුද්ධවාදීන් මරා දැමූ බව ඔහුට අපට පමණක් නොව රටටම නොරහසකි. නමුත් වසර 2 කට පසුත් තාමත් ඔවුන් නිදැල්ලේය. ඔවුනට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයක් නොමැත. ඒ වෙනුවට එදා රාජපක්ෂලා කලාක් මෙන් අද යහපාලනයේ පාලකයින්ද මල් වට්ටි අතින් ගෙන පන්සල් සහ බෝගස් වටා කැරකෙන පිංතූර නම් එමටය. ඒවාගේම යහපාලනයේ පාලකයින්ද එදා ඔවුන් විසින්ම මිනී මරුවන් යැයි නම්කළ රාජපක්ෂ කල්ලියේ ප්‍රධානීන් සමග තැන තැන උත්සවයන්හි ප්‍රභූ ආසනයන්හි එක පෙළට ඉදගෙන සිටින පිංතූර සුළභය. එදා යහපාලනය ගැන කතා කළා වුවත් මේ බලයට පැමිණ ඇති අයට යහපාලනයක් ගැන උවමනාවක් නොමැති බව ඔවුන්ගේ මේ ක්‍රියාදාමයන් පැහැදිලිව පෙන්නුම් කරමින් පවතී.

කාලයක් තිස්සේ පූර්ණ වශයෙන්ම දූෂ්‍ය කර ඇති ආයතන, නිලධාරීන් සහ අධිකරණ ක්‍රියාදාමයක් දින ගණනකින් වෙනසකට භාජනය කළ නොහැකි බව අප දනිමු. නමුත් එය යහ අතට මෙහෙයවීම කරවීමට දේශපාලන බලයට උවමනාවක් තිබිය යුතුය. එසේ උවමනාවක් ඇති දේශපාලන බලයට ඒ සඳහා තමනට තම රට තුල ඇති හැකියාවේ අඩුව පිරවීමට ජාත්‍යන්තර සහාය ගත හැක. නමුත් නොහැකියාව හැකියාවක් බවට පත්කර ගත හැක්කේ තමන්ට ඒ පිළිබඳව උවමනාවක් ඇත්නම් පමනි. නොඋමවනාව ඇති තැන කිසිවක් සිදුවිය නොහැක. නොඋවමනාව ජයගත හැක්කේ ඔවුනට පිටින් කරන බලපෑම් තුලින් පමනි. එසේ ඇතිවන බලපෑම් වල තෙරපුම තුලින් ඔවුන් යහ මාර්ගයට පෙළඹවිය හැකිය. මෙතෙක් මේ රජය පෙන්නුම් කරන්නේ ඔවුනට යහපාලනයක් ඇති කිරීමට උවමනාවක් නැති බවය. ඒවාගේම එවැන්නක් ඇති කිරීමට ඇති නොහැකියාව එසේම පවතිනු ඇත. එතුලින් සිදුවන්නේ මෙතෙක් එනම් රාජපක්ෂ කල්ලියේ දුර්ධාන්ත පාලනයේදී ඔවුන් සාමූහිකව රාජ්‍ය දේපළ අයථා අයුරින් යටි මඩි ගසා ගැනීම, දේශපාලන වශයෙන් සහ පුද්ගලික හේතූන් මත ඔවුන්ගේ විරුද්ධවාදීන් මරා දැමීම, අතුරුදහන් කිරීම, වදයට ලක්කිරීම ආදියට නීතිමය ක්‍රියාදාමයන් ඇති නොවන බවයි. යහපාලනයකට අත්‍යාවශ්‍ය අංගයක් වන්නේ නීතිය මත පාලනයක් බව අපි දනිමු. වසර 2 ක් තිස්සේ රජය ක්‍රියාත්මක වන ආකාරය පෙන්නුම් කරන්නේ යුධ අපරාධ පිළිබඳ යම් කිසි හෝ සාධාරණ නීතිමය ක්‍රියාදාමයක් සිදුවේ යැයි සිතීම සිහිනයක් වනු නොඅනුමාන බවයි. මේ සියල්ල දෙස බලා මෙම රජය පත්කර ගැනීමට මූලික වූ සහ සහාය දුන් අය කනස්සල්ලයට පත්වීම සහ දොස් කීම මෙන්ම ක්‍රමක්‍රමයෙන් ඔවුන්ගෙන් ඉවත්වීමද මේ වන විට සිදුවන සුපුරුදු ක්‍රියාදාමයයි.

දැන් අපි අප(සිවිල් සමාජය) වෙතම හැරෙමු

අපි එදා රාජපක්ෂ මහා බලයට එරෙහිව දිගු කාලීනව සටන් වැදුනේ ඔවුන් කර ගෙන ගිය දුර්ධාන්ත පාලනයට එරෙහිව ඒ වෙනුවට යහපාලනයක් රට තුල ඇති කර ගැනීමේ අරමුණිනි. එනිසා එදා අප සියලු බලවේග සමග එක්ව එම බලය පෙරළා දැමුවෙමු. එම බලය පෙරලා දැමීමේ කොටස්කරුවන් වීමු. ඒ පෙරළීම තුලම අපි අලුත් පාලකයින්ද තෝරා ගත්තෙමු. එසේ තෝරා ගත් අය අපට අවශ්‍ය අප පතන නිවැරදිම පාලකයන් නිසා නොව අපට තෝරා ගැනීමට තිබූ විකල්පය එය නිසා බැවිනි. අපට දිගු කලක් තිස්සේ පොදු අපේක්ෂකයෙකු සෙවීමට සිදුවූයේද අපට අවශ්‍යම පුද්ගලයින් නොමැති වූ හෙයින්මය. නමුත් අපි අපේ විකල්පය පොදු අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රී පත්කර ගත්තෙමු. එසේ නම් අද අපට කර ඇරිය නොහැක. අපිදු මෙම පත්කර ගැනීමේ කොටස්කරුවන් වෙමු. බලය පෙරළූ පසු අපි බොහෝ දෙනෙකු නිහඬව බලා සිටියෙමු. ඒ අපට එදා මෙදා හුරු ක්‍රමය, හුරු දේශපාලනය එය වූ බැවිනි.

අප බලයට ගෙන එන අය ප්‍රශ්න විසදනු ඇතැයි උපකල්පනය කර බලා සිට ඇත්තෙමු. නමුත් අපට එතැනදී අමතක වී ඇත්තේ අප කාලයක් තිස්සේ සොයා බලයට පත්කර ගන්නා අය අපට අවශ්‍යම විකල්පය නොව අපට ඒ වන විට තිබූ එකම විකල්පය බවයි. අප නිහඬ වූ විට එම විකල්පය අපට අවශ්‍ය දෙය වෙනුවට ඔවුනට හුරු ක්‍රියාදාමයට (ඔවුන් වචනයෙන් මොනවා කීවත්) නොදැනීම වැටෙන බවයි. නමුත් අපි සිවිල් සමාජය, සිවිල් සමාජ ක්‍රියාධරයන් මෙවර මින් පෙර වතාවලට වඩා මැදිහත් වූවා වුවත් අවශ්‍ය ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වී නොමැති බව අද දේශපාලනය ගමන් කරන තත්වය පෙන්නුම් කරයි. එතුල අපි අපේම වරදක් කර ඇත්තෙමු. එනම් අපට අවශ්‍ය දේශපාලන බලවේගයක් නොවන නමුත් තිබූ දුර්ධාන්ත දූෂිත පාලනය පෙරළා දැමීමට ඇති එකම විකල්පය ලෙස තිබූ දේශපාලන බලවේගය බලයට පත්කර එම බලවේගයේ සැබෑ ස්වරූපය අමතක කර ඔවුන් අපේ උවමනාව (යහපාලනයක්) ඉටු කරනු ඇතැයි බලාපොරොත්තුව ඔහේ බලා සිටීමයි. දැන් වසර 2 ක කාලයක් තුල අපට මේ දේශපාලන බලය බලකර සිටින්නේ අපි අපම ලෙස (සිවිල් සමාජය ලෙස) ශක්තිමත්ව සංවිධානය නොවනවානම් අපේ උවමනාවන් ඉටු නොකරනවා පමණක් නොව වැඩි කල් නොගොස්ම පැරණි ක්‍රියාදාමයටම ඔවුන් සම්පූර්ණයෙන්ම අවතීර්ණ වන බවයි. එනිසා අප දැන් කළ යුත්තේ ශක්තිමත් සිවිල් සමාජ ජාලයක් ගොඩ නගා සියළුම ප්‍රගතිශීලී දේශපාලන බලවේගයන් සමග එක පෙරමුණකට පෙරමුණු ගත වීමයි. එසේ ඇතිවන සිවිල් සමාජ දේශපාලන බලවේගය විසින් මෙම පාලකයින්ට කරන බලපෑම් තුලින් යහපාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් දෙසට පාලනය මෙහෙයවීමයි.

එසේ නැතිව ‘උනුත් එකයි මුනුත් එකයි’ කියා බැණ වැදීමෙන් වත් ‘අපිනම් එදාත් මුන්ව පත්කරන්න කැමති වුනේ නෑ’ කියා තමන්ගේ ඇග බේරා ගැනීමෙන් වත් ප්‍රශ්නයට විසදුමක් නොලැබෙනවා පමණක් නොව එවිට සිවිල් සමාජයක් වශයෙන් අප කරන්නේද දේශපාලඥයින් කරන්නා සේ වැරදි දේශපාලනයක නිරත වීමයි. එසේ නම් අද අප කළ යුතුව ඇත්තේ වහාම සිවිල් සමාජ සංවිධාන ජාලයක් ගොඩ නගා ගැනීමයි.

රංජිත් හේනායකආරච්චි | Ranjith Hennayakaarachchi