අයථා ලෙස රුපියල් මිලියන 36ක මුදලක් යොදවමින් දෙහිවල ප්‍රදේශයේ දේපලක්(නිවසක් සහිත ඉඩමක්) මිළදී ගැනීමේ සිදුවීමකට අදාළව, අත්අඩංගුවටගෙන සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ ගේ මව වන ඩේසි ෆොරස්ට් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද(09) නියෝග කළේය.

ඒ අනුව අදාළ නඩුව යළි මැයි 19 වන දින කැඳවීමට නියමිතය.

පොළිස් ඉල්ලීම ඉවතට

මෙහිදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවසා සිටින ලද්දේ අධිකරණය නියෝග මත අගෝස්තු 31 වන දින ඩේසි ෆොරස්ට් ගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවයි.

නමුන්, ඉන් පසු අවස්ථා 6කදීම ඇයගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඇය කැඳවනු ලැබුවත් ඇය නොපැමිණි බවත් ඒ අනුව විමර්ශන සඳහා ඇයගෙන් නිසි සහයක් නොලැබුණු බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට පෙන්වා දී තිබේ.

ඒ අනුව ඇයගෙන් තව දුරටත් ප්‍රකාශ ලබා ගැනීම සදහා ඩේසි ෆොරස්ට් යන අයය ඇප ලබා නොදෙන ලෙසය. නමුත් පොලීසියේ එම ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. සැබෑ වංචනිකයින් වසං කිරීමේ තැතක් පවතීද යන්න පිළිබද සැකයක් පවතින බව පෙන්වා දී ඇති මහෙස්ත්‍රාත්වරයා, ඇප ලබා දීමට පැමිණි යෝෂිත රාජපක්ෂගේ ශරීර ඇප පිළිගත නොහැකි බවද ප්‍රකාශ කර තිබේ.

ඇප ලැබීමේ ආනිසංසය

මීට වසර 2කකට පෙර වේදිකාවල ඇසුනු දේ සහ වෙන දේ අතර, අහස යි – පොළවයි තරම් වෙනසක් යැයි කෙනෙක්ට සිතෙන්නට පුලුවන. හොරකම් කර ඇත්තේ හොරකම අසුනොවන විදිහට බව දරුවෝ වුවත් දනිති.(නමුත් ‘පරීක්ෂණ‘ කියා දෙයක් ඇත්තේ ඒ නිසාය) අනෙක මේ හොරකම්/දූෂණ සිදු කර ඇත්තේ බබාලා ද නොවේ. නමුත් දැවැන්ත දේපලක් එකවරම උපයා ගත් හැටි සනාථ කිරීමට නොහැකි නම් එයත් හොරකමකි. දූෂණයකි. එයට වෙනත් සාක්ෂි අවශ්‍ය ද? එවන් දෑ බොහෝ තිබියදී සිදුවන්නේ වරදකරුවෙකු එසේ නැතිනම් හොරෙකු නොමැතිව ‘හොර බඩුව‘ රාජසන්තක කිරීමය. රාජපක්ෂ කාලයේ සිදුවූ බොහෝ දේ වලට ඒය සිදූවෙමින් තිබේ. අන්තිමට හොර බඩුව රාජසන්තකය. හොරෙක් නැත.

පසුගිය කාලයේ සිදුකළ ඝාතන සම්බන්ධයෙනුත් එයට සමාන දෙයක්ම සිදුවෙමින් තිබේ. මීට වසර දෙකකට පමණ පෙර අභිනවයෙන් පත්වූ ‘යහපාලන‘ ආණ්ඩුව තුළ වූ පරීක්ෂණ කණ්ඩායම් විසින්, පිළිගත හැකි අයුරින් පරීක්ෂණ පවත්වමින්, ප්‍රගීත් එක්ණැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සැකපිට බුද්ධි අංශ නිළධාරීන් 13 දෙනෙක් අත්අඩංගුවට ගත්තේ ය. ඒ අත්අඩංගුවට ගැනීම රණවිරුවන් ට කරන අගෞරවයක් බව කියමින් ඥානසාර ඇතුලු චීවරදාරීන් අධිකරණ භූමියේ සිය නග්න ස්වාභාවය පෙන්නුවේය. ඒ අතර රණවිරුවන් තමාට නොදන්වා අත්අඩංගුවට ගන්නා බවත්, එය එසේ නොකල යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ දැඩි ස්වරයකිනි. ඉන්පසු දැකගන්නට ලැබුණේ සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ සැකකරුවන් ට කොටස් වශයෙන් ඇප ලැබීමය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිළධාරියා ඇප ලැබී ගෙදර යෑම ය. වෙඩි තැබූ ආකාරයත්, පසුව වෙඩි තබා ඝාතනය කර ආපසු ගිය හැටි සහ ඉන්පසු සිදු වූ සියලු සිදුවීම් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළ පසුත්, සියලුම දෙනා සිංහල වූ ජූරි සභාවකින් පාර්ලිමේන්තු මංත්‍රී රවිරාජ් ඝාතනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි නාවික හමුදා සෙබලුන් තිදෙනා නිදොස්කොට නිදහස්කළ පසු බදා වැළදගෙන ඔවුන් නිවෙස් කරා ගියේ ලෝකයම ඒ දෙස බලා සිටියදී ය.

මේ යළිත් සටහන් කළේ දෙවර්ෂ පූර්ණය සමරණ ‘යහපාලන‘ වටිනාකම් ඇතැයි පවසන මෛත්‍රී, රනිල් ආණ්ඩුවේ යුක්තිය පසිදලීමේ උදාහරණ කිහිපයකි.

ඉදින්, ඩේසි ආච්චි යැයි හදුන්වනු ලැබූ ඩේසි ෆොරස්ට් මහත්මියට ඇප ලැබීම ගැන පුදුම නොවන්න! සරළව යළි ලීවොත්, රවිරාජ් ඝාතනය කර ඇත. නමුත් ඝාතකයෙක් නැත.

යහපාලනයට අනුව ‘යුක්තිය‘ පසිදලීම යනු එයද?

වසර දෙක සැපීරීමේදී ප්‍රශ්ණ කළ යුතු වන්නේ එයයි.!