ජනමාධ්‍ය ආයතනවලට, ජනමාධ්‍යවේදීන්ට පසුගිය කාලය පුරාම එල්ලකරන ලද සියලුම ආකාරයේ ප්‍රහාරයන්ට විරුද්ධව, යුක්තිය ලබා ගැනීම උදෙසා වන ක්‍රියාකාරීත්වයන් ගණනාවක් පසුගිය 24වනදා කොළඹදී පැවත්වීය.

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් ගතවුනත් ජනමාධ්‍යට එල්ලකරන ලද කිසිම ප්‍රහාරයකට මේ දක්වා යුක්තිය ඉටු නොවුනු තත්ත්වයක් තුළ, මෙන්ම අපරාධයන්ට අදාලව සිදුවන ඇතැම් පරීක්ෂණ පවා මන්දගාමී මෙන්ම යුක්තිය ඉටු වෙනවා යැයි කිසිදු විශ්වාසයක් නැති අන්දමට සිදුවන බැවින් සහ යුක්තිය, සාධාරණය ඉටුකරනවා යැයි ‘යහපාලනය‘ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු නොකල තත්ත්වයක් තුළ මෙම ක්‍රියාකාරීත්වයන් අගනුවර දී පවැත්වීය.

ජනවාරිය මෙන්ම, ජනවාරි 24 දිනය ද, විශේෂ වන්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගෝඩ අතුරුදන් කළේ 2010 ජනවාරි 24 වීම ය. අද වන විට ඔහු සොයා ගැනීම සදහා වන පරීක්ෂණවල ද කිසිදු විශ්වාසනීය තත්ත්වයක් නොමැති තත්ත්වයක් තුළය.

ජනපතිට තැපැල්පත්

[Image: Maatram]

ජනමාධ්‍යවේදීන් ඝාතනය, අතුරුදහන් කිරීම් සහ ජනමාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එල්ල කරන ලද ප්‍ර‍හාරයන් ද ඇතුළු සියලු අපරාධ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස වත්මන් ‘යහපාලන‘ ආණ්ඩුව පත් වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් නැවතවරක් සිහිකැඳවීමක් ලෙස, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත තැපැල්පත් යැවීමේ වැඩසටහනක් පසුගිය 24 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීය.

මෙම අවස්ථාවට ජනමාධ්‍යවේදීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියේ ය. එහි දී ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයේ සභාපති, ලසන්ත රුහුණගේ මහතා සදහන් කළේ, ‘වසර දෙකක් ගත උනත් අපට යුක්තිය ඉෂ්ඨ වෙලා නැහැ, අවශ්‍ය වන්නේ යුක්තිය මිසක් සහනාධාර නොවේ, සහනාධාර අවශ්‍ය වන්නේ දෙවනුවයි‘

එම අවස්ථාව ‘විකල්ප‘ වෙබ් අඩවියේ ට්වීටර් ජාලය ඔස්සේ සජීවි විකාශයක් සිදු කල අතර පහතින් එම අවස්ථාව නැරඹිය හැකිය.

‘යහපාලනයට වසර දෙකයි, ජනවාරිය තවමත් කලුයි‘

පසුගිය වසර කිහිපයේ ජනමාධ්‍ය වෙත එල්ලකරන ලද සියලු අකාරයේ ප්‍රහාරයන්ට ඉතාමත් ඉක්මනින්ම යුක්තිය ඉටු විය යුතු බවත්, වත්මන් යහපාලන ආණ්ඩුව පත් වී වසර දෙකක් ගත වුවත් තවමත් යුක්තිය ඉෂ්ඨ වී නැති බවත් පවසමින් නිහඩ විරෝධයක් නිදහස් චතුරස්‍රෙය්දී පැවැත් විය. එහිදී විශේෂයෙන් ජනවාරි මාසයේදී ජනමාධ්‍යට එල්ල කරන ලද ප්‍රහාරයන් ‘කළු ජනවාරිය‘ මූලික කර ගනිමින් එම නිඩ විරෝධය පැවැත්වූ අතර, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කාරනී සීතා රංජනී මහත්මිය එහි දී සදහන් කළේ ‘යහපානය ආණ්ඩව බලයට පත් වී වසර දෙකක් ගතවුවත් ජනමාධ්‍යට එල්ල කරන ලද කිසිදු අපරාධයට තවමත් යුක්තිය ඉෂ්ඨ වී නැති වීම කණගාටුවට කරුණක්‘ යනුවෙනි.

සිවිල් ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන්, ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයින් සහභාගීවූ එම නිහඩ විරෝධයත් ‘විකල්ප‘ වෙබ් අඩවියේ ට්වීටර් ජාලය ඔස්සේ සජීවි විකාශයක් සිදු කල අතර පහතින් එම අවස්ථාව නැරඹිය හැකිය.

‘එක්නැළිගොඩ මතක ආවර්ජනා‘

‘එක්නැලිගොඩ මිතුරෝ‘ සහ ජාතික විද්වත් මණ්ඩලය එක්ව එදින ම(24) සවස 3ට ‘එක්නැලිගොඩ මතක ආවර්ජනා‘ නමින් සංවාද සභාවක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා ශ්‍ර‍වණාගාරයේ දී පැවැත් වූ අතර එහී දී ප්‍ර‍වීණ ලේඛක හා පරිවර්තක, පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ සහ දඹර අමිල හිමි ද සිය අදහස් ප්‍රකාශ කළේ ය.

සංවාදය, සාකච්ඡාව පැවැත් වෙන විට, 2010 ජනවාරි මස 24 වැනිදා, ප්‍ර‍ගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේ සැකකාර හමුදා නිළධාරීන් දහතුන් දෙනාම ඇප මත නිදහස් කර සිටිනවා පමණත් නොව, එම සියලු සැකකාර හමුදා නිලධාරීහු ප්‍රගීත් අතුරුදන් කළ ජනවාරි මාස තුළම යළි හමුදා සේවයේ පිහිටුවනු ලැබ සිටිති. මේ තත්ත්වය තුළ ප්‍රගීත්ගේ බිරිද සංධ්‍යා එක්ණැලිගොඩ පවසා සිටින්නේ කළු ජනවාරියට, ආලෝකය ගෙන එන්න යහපාලන ආණ්ඩුවට වුවමනාවක් නැති බවට පෙනෙන්නට තිබෙන බවය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය නිදහස් චතුරස්‍රෙය්දී සංවිධානය කළ ‘කළු ජනවාරිය‘ ක්‍රියාකාරීත්වයේදී සංධ්‍යා එක්ණැලිගොඩ මහත්මිය දැක්වූ අදහස් පහතින්…