මහින්ද රාජපක්ෂ වෙස් බඳින්නේ හෙට අනිද්දා අගමැතිවීමටය. මන්ද යත් යළිත් වතාවක් ඔහුට ජනාධිපතිවීමට බැරි නිසාය. ප්‍රශ්ණය නම් ඔහුට අගමැතිවීමට සිදුවන්නේ සිරිසේන ජනපති යටතේ වීමයි. නමුත් සිරිසේනට අනුව රාජපක්ෂ දකින්නේ හීනයකි. කිසි දිනෙක සැබෑ නොවන හීනයකි.

ඔහු මේ බව කීවේ රාජපක්ෂ සමඟ සමගි සන්ධානයකට එළඹිමට ගිය පළාත් සභා මහ ඇමැතිවරුන් ආපසු හිස් අතින් හැරී ආ පසුය. එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා එක්සත්ව එක් ශ්‍රීලනිපයක් ලෙස තරඟ වැදීම සඳහා එකඟ කර ගැනීම පිණිස එම පළාත් සභා ඇමැතිවරුන් රාජපක්ෂ හමුවට ගියේ ජනපතිගේ අවසරය සහ කැමැත්ත ඇතිවය. ස්වකීය බලය පිළිබඳව අධිතක්සේරුවකින් සිටින රාජපක්ෂ මහ අමැතිවරුන්ට කියා සිටියේ රනිල් වික්‍රමසිංහ සහ යූඇන්පීය ආණ්ඩුවෙන් ඉවත් කරන්නේ නම් පමණක් තමා එවැනි සන්ධානයකට එකඟ බවයි. ශ්‍රීලනිපයට වඩා මංත්රීවරුන් සිටින සහ දෙමළ මුස්ලිම් පක්ෂයන්හි සහාය ඇති යූඇන්පීයට පාර්ලිමේන්තු බහුතරය ඇති බැවින් එය කිසිසේත්ම කළ හැක්කක් නොවේ.

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය සීමා නිර්ණ කටයුතු අවසන්ව ඇති බැවින් දැන් ඉදිරි මාස හතර පහ තුළ සිය දේශපාලන බලය උරගා බැලීමට සියලු දේශපාලන පක්ෂය වෙත අවස්ථාවක් ලැබෙනවා ඇත. මෙම මැතිවරණය රාජපක්ෂගේ දේශපාලන අනාගතය පිළිබඳ දර්ශකයක් බවට පත්වනු ඇති බව ද නොඅනුමානය. එපමණක් නොව සිරිසේන විසින් නායකත්වය දෙන ශ්‍රීලනිපයේ දේශපාලන ගමන් මඟ පිළිබඳ මැන ගැනීමකට ද ඉන් අවස්ථාව ලැබෙනු ඇත. දැන් එක්ව තරඟ කිරීම රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින් ශ්‍රීලනිපය සහ රාජපක්ෂ පාර්ශවය අතර සටන තියුණු වනු ඇත. රාජපක්ෂ දූෂණ භීෂණ හෙළිදරව් කිරීමෙන් තොරව සිරිසේන නායකත්වය සහිත ශ්‍රීලනිපයට එහිදී තියුණු තරඟයක් දීමට බැරි වනවා ඇත.

රාජපක්ෂවාදී පිරිස් ද මෙම මැතිවරණයේදී සැළකිය යුතු ආසන සංඛ්‍යාවක් දිනා ගන්නා බව පැහැදිළිය. එදා සිය පාලනය කාලය තුළ මාධ්‍යවේදීන් ඝාතනය කළ රාජපක්ෂ දැන් මාධ්‍ය නිදහස ගැන කතා කරයි. එදා සයිටම් වෛද්‍ය විද්‍යාලයට අවසර දුන් රාජපක්ෂ දැන් ඊට විරුද්ධය. සියළු විරෝධතා උද්ඝෝෂණ මැඩ පැවැත්වූ රාජපක්ෂ දැන් සිසු උද්ඝෝෂනවලට පක්ෂව කතා කරයි. කොතෙක් ද යත් දැන් ඔහු‍ගේ මුද්‍රාව වූ දූෂනයටත් විරුද්ධය.

රාජපක්ෂගේ දේශපාලනය යනු තමන්ට වාසිදායක නම් ඕනෑ දෙයක් හොඳය යන්නයි. ඒ අනුව ඔහු දැන් ඉල්ලා සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසය. තෙවන වතාවටත් විධායක ජනාධිපතිවීම පිණිස 18වන සංසෝධනය ගෙන ආ පුද්ගලයෙක් දැන් තමන්ට එම ධූරයට පත් වීමට නොහැකි නිසා එය අහෝසි කරන ලෙස ඉල්ලයි. මීටත් වඩා අවස්ථාවාදයක් තිබිය හැක්කේ කොහිද?

ප්‍රශ්ණය වන්නේ මෙම සියලු ගැලවිජ්ජා මගින් විකල්ප තෙවැනි පක්ෂයක් ලෙස මතුවීමට තරම් බලයක් ලබා ගැනීමට රාජපක්ෂ සමත්වනු ඇද්ද යන්නයි. රාජපක්ෂ දේශපාලනය සමස්තයක් වශයෙන් පදනමව ඇත්තේ යුදවාදය සහ සිංහල බෞද්ධ පිරුවටයකින් එතූ අන්ත ජාතිවාදය මතය. දේශීය මෙන්ම අන්තර් ජාතිකවද රාජපක්ෂවාදය යනු පටු ජාතිකත්වය මත පදනම් වූ පසුගාමිත්වයයි.

මෑතදී රාජපක්ෂ හොරණෑකරුවකු වන ඩලස් අලහප්පෙරුම වත්මන් ඇමෙරිකාවෙහි ඩෙනල්ඩ් ට්‍රම්ප් යටතෙහි සිදුවන අන්තවාදී වෙනස්කම් උජාරුවට නන්වමින් කියා තිබුණේ ඔබාමා පාලනය යටතෙහි මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කළ තානාපතිවරුන් සහ වරියන් ඉවත් කිරීම ශ්‍රී ලංකාණ්ඩුවට දුන් කණේ පහරක් බවය. එමෙන්ම රාජපක්ෂද ඩොනල්ඩ් ට්‍රම්ප් පසසා තිබුණේ අන් රටවලට ඇඟිළි නොගසන නායකයකු ලෙසිනි. එසේ නමුත් ට්‍රම්ප් විසින් පලස්තීන ජනයාගේ අයිතීන් පාගා දමන අන්දමත් මුස්ලිම් ජනයාට එරෙහිව මුදා හැර ඇති සාමූහික දඩුවම්දීමත් මැක්සිකොාවට එරෙහිව පැනවිමට යන සියයට 20ක් බද්දත් ඇමෙරිකාව තුළම ක්‍රියාවට නංවමින් ඇති සුදුජාතිකවාදී අන්තවාදයත් රාජපක්ෂවාදයට ප්‍රශ්ණයක් නොවේ.

රාජපක්ෂ දේශපාලන වශයෙන් පරාජය කළ හැක්කේ නූතනත්වය, මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, වාර්ගික සමගිය සහ සංහිදියාව මත පදනම් වූ ඉදිරි දැක්මක් මගිනි. එසේ නමුත් සිරිසේන උත්සාහ කරන්නේ පසුගාමිත්වය, සිංහල බෞද්ධ අන්තවාදය, යුද ජයෝන්මාදවාදය වැනි රාජපක්ෂගේ ධජය තම ධජය බවට පත් කර ගැනීමටයි. ඔහු තේරුම නොගන්නා කාරණය නම් එම සටන්පාඨ රාජක්ෂගෙන් සොරකම් කරගත හැකි ඒවා නොවන බවයි. සිරිසේන විසින් කරන රණවිරු කතා, යුදවීරත්ව කතා, සම සෙනෙහස් විරෝධී කතා යනාදිය විසින් ශක්තිමත් කරන්නේ සිරිසේන නොව රාජපක්ෂ මතවාදයයි. දිනපතාම සිරිසේනගෙන් අසන්නට ලැබෙන මෙවැනි කතා අවසානයේදී සේවය කරන්නේ රාජපක්ෂ මතවාදය සහ රාජපක්ෂ ශක්තිමත් කිරීමටය.

මෙළෙස බලන විට සිරිසේන – රනිල් ආණ්ඩුවේ කැපී පෙනෙන දුර්වලකමක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය , මානව නිදහස , දූෂණ විරෝධය සහ සමානාත්මතාවය මත පදනම් වූ දේශපාලන සංවාදයක් සහ භාවිතයක් රටෙහි ඇති කිරීමට අසමත්වීමයි. රාජපක්ෂ පරාජය කළ හැකි දේශපාලන විභවතාවය ඇත්තේ එවැනි දේශපාලන මතවාදයකට සහ භාවිතයකට පමණි. නමුත් සිරිසේන උත්සාහ කරන්නේ රාජපක්ෂගේ පිට්ටනියෙහි ඔහු විසින් පිහිටුවන ලද සීමා යටතෙහි තරඟ කර ජය ගැනීමටය. දැනටමත් එම සටනින් රාජපක්ෂට ජය අත්වෙමින් ඇත්තේ එනිසාය.

දැන් පළාත් පාලන තරඟ භූමිය රනිල්, සිරිසේන සහ රාජපක්ෂ අතර තුන් කොන් සටනක් බවට පත්වීමට නියමිත බව පෙනෙන්නට තිබේ. ශ්‍රීලනිපය බෙදී තරඟ කළ හොත් යූඇන්පීය ලෙහෙසියෙන්ම වැඩිම පළාත් සභා ගණනාවක් දිනා ගැනීම වැළැක්විය නොහැක. සමහර විට වෙන්ව තරඟ කළද අවසානයේදී රාජපක්ෂවාදී අපේක්ෂකයින්ට විරුද්ධව ශ්‍රීලනිපය සහ යූඇන්පීය පළාත් පාලන ආයතන පවත්වා ගෙන යනු පිනිස සම්මුතියක් ඇතිකර ගැනීමට ඉඩ නැතිවා නොවේ. එ බවට ඉඟියක් සැපයෙන කතාවක් පසුගිය 27දා ජනපතිගේ මුවින් පිටවී තිබුණේ මොණරාගලදීය.

ඔහු එහිදී මෙසේ කීවේය:

‘’සමහර අය සැබෑ නොවන සිහින මවනවා. හෙට අනිද්ද ආණ්ඩු ගන්න පුලුවන් කියල හිතන්. ආණ්ඩු ගන්න බැහැ.

අපි පැහැදිලිවම මේ සම්මුතිවාදි ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරි අවුරුදු පහ යනව වගේම 2020 තීන්දු කරනවා, එතනින් එහාට අපි ආණ්ඩු කරන්නේ කොහොමද කියළා. ඒ බව මං බොහොම පැහැදිළිව තමුන්නාන්සේලාට කියන්නට ඕනෑ.

රට විනාශ කරපු මිනිස්සු, ප්‍රජාතන්ත්රවාදය නැති කරපු මිනිස්සු, සුදු වෑන් සංසකෘතියෙන් මේ රටේ මුළු මහත් ජනතාව භීතියට පත්කරපු මිනිස්සු, මේ රටේ කෝටි නව ලක්ෂයක ආර්ථික අර්බූදය තුල කෝටි ප්‍රකෝටි ගණනක් හොරකම් කරපු මිනිස්සු, ඉතිහාසයේ කිසි කලක නාහපු විදියට දූෂණයට හොරකමට වංචාවට නාස්තියට ඔටුනු පළදවපු මිනිස්සුන්ට මේ රටේ කිසිම දවසක ආණ්ඩුවක් කරන්න ඉඩ තියන්නේ නැහැයි කියන එක අපි තමුන්නාන්සේලාට බොහොම පැහැදිළිව කියනවා. ඒ අයට ආණ්ඩු කරන්න නෙවෙයි මේ රටේ ඇවිද ඇවිද ඉන්න අවශ්‍ය වටපිටාව මේ රටේ හදනවයි කියන එක මං බොහොම පැහැදිළිව තමුන්නාන්සේලාට කියන්න ඕන.’’

පුදුමයට කාරණය නම් සිය පාක්ෂිකයින්ට උත්තේජනයක් විය හැකිව තිබූ ඔහුගේ කතාවේ මෙම කොටස ජනාධිපති කාර්යාලය විසින්ම පවත්වා ගෙන යන වෙබ් අඩවි සහ රාජ්‍ය මාධ්‍ය මගින් පවා වාරණය කර තිබීමයි.

දැන් රාජපක්ෂ දූෂණයට සහ භීෂණයට යළි ඉඩක් නොදෙන බව සිරිසේන අපට කියයි. නමුත් එය එක කතාවකින් කළ හැකි දෙයක් නොවේ. නුගේගොඩ රැස්වීමෙන් පෙන්වූ පරිදි රාජපක්ෂ යනු නොසළකා හැරිය හැකි බලවේගයක් නොවේ. ඇත්ත වශයෙන්ම නම් දැන් සිරිසේන ගලඋඩ සටනකට මුහුණ දෙයි. ඒ සමගි සන්ධානයක් වෙනුවට සිරිසේන පරාජය කිරීමට කැස කවන රාජපක්ෂ සමඟය. මේ වනාහී රාජපක්ෂගේ පමණක් නොව සිරිසේනගේද දේශපාලන ඉරණම තීන්දුවනු ඇති සටනකි.

දැනට පෙනෙන විදිහට නම් සිය හෙංචයින් සිර ගතවීම ඇරඹුන කළ ගලින් පහලට පෙරළී යාමට වැඩි අවාසනාව ඇත්තේ රාජපක්ෂටය.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya