යුද්ධයෙන් වසර 8ක් ගත වුවද උතුරේ මිනිසුන්ගේ ඉඩම්වල තවමත් වාඩිලා ගෙන සිටින හමුදාව වහා ඉවත්කර සිය ඉඩම් නැවත තමන් වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතා, උපාවාස කිහිපයක් මේ දිනවල උතුරේ සිදුවෙමින් පවති.

කේප්පාපිලව්, පුදුකුඩුඉරුප්පු, පරවිපංචාන් ආදී උතුරේ ප්‍රදේශවල සිය ඉඩම් නැවත තමන් වෙත ලබා දෙන ලෙස බලකරමින් විරෝධාවයන් පැවත්වෙන අතර එම ඉල්ලීම්වලට සහයෝගය පළකරමින් දකුණේ සිවිල් සංවිධාන/පුරවැසියන් විශාල පිරිසක් ඊයේ(22) යාපනය නගරයේ විරෝධතාවයක් සහ රැළියක් පැවැත්වීය. ඉන්පසු මේ වන විට සිය ඉඩම් ඉල්ලා දින 19ක් සත්‍යග්‍රහයක නිරත වන කේප්පාපිලව් ජනතාවගේ ඉඩම් අරගලයට සහය පිණිස කේප්පාපිලව් ප්‍රදේශයට ද ගොස් සිය සහයෝගය පළ කළේය.

පහතින් දැක්වෙන්නේ එම රැලිය ‘විකල්ප‘ වෙබ් අඩවිය විසින් Twitter Live ප්‍රචාරය කළ වීඩියෝ දර්ශණයි.

එම සහයෝගීතා ව්‍යාපාරයට එක්ව සිටි ‘ඉඩම් අයිතීන් සදහා වූ ජනතා සංධානය'[PARL] විසින් පත්‍රිකාවක් බෙදා හැර තිබූ අතර පහත පළවන්නේ එම පත්‍රිකාවෙ සිංහල පරිවර්තනයයි.

##

‘භූමියට ද, ජිවිතයට ද ඇති ‘අයිතිය‘ පිළිගනිමින්…..’

‘නිදහස සහ සුරක්ෂිත භාවය එකට සම්බන්ධ කිරීම නූතන සමාජයට අතිශයින්ම වැදගත් කරුණකි‘ – ජෝන් ඇල්ඩර්සන්

වසර ගණනාවක් අයුක්ති සහගත ‘යුද්ධය‘ විසින් සහෝදර ඔබලාව ගොදුරු කර වසර 8ක් ගත වූ විට ද, ආණ්ඩුවේ ඊනියා සංවර්ධන ගෝෂාවෙන් සහ මිලිටරියේ සපත්තුවෙන් නැවතත් ඔබේ ගොවි බිම් ගොදුර කර ගනිමින්, ඔබේ අයිතීන් උදුරා ගනිමින් සිදුකරන බලහත්කාරකමේ ව්‍යසනයට අප දැඩි සේ විරුද්ධ වෙමු.

එසේම, ඔබේ සාම්ප්‍රදායික ගොවිබිම්, ඔබේ සාම්ප්‍රදායික භුමිය මත නැවත වරක් හෙළමින් ඇති ප්‍රජාතන්ත්‍රවිරෝධි ආධිපත්‍යට එරෙහිව ඔබ ගෙන යන සාමූහික මෙන්ම මනුෂ්‍යත්වය උදෙසා වූ අරගලය සමග අපද අත්වැල් බැද ගන්නෙමු.

ඒ අන් කිසිවක් නිසා නොව, කදුකරයේත්, දකුණේත්, වෙරළ තීරයේත් සිය අයිතීන් වෙනුවෙන් සටන් කරන මිනිසුන් වන අප, ජීවිතයට මෙන්ම භූමියට ද, අපට මෙන්ම ඔබට ද ඇති ‘අයිතිය‘ කොන්දේසි විරහිතව පිළිගන්නා බැවිනි. උතුරේත්, දකුණේත්, නැගෙණහිරත්, කදුකරයේත්, ඉඩම් අහිමි ජනතාව සමග අපි ඔබගේ අරගලයට එකතුවන්නේ ඔබේ අරගලය අපේ ද අරගලය වන බැවිනි.

සිය ඉඩම්, ගේ දොර අහිමිව නොනිමි අරගලයක යෙදෙන, වලිකාමම්, කේප්පාපිලව් ඇතුලු උතුරේත්, නැගෙණහිරත් ආදරණීය මිනිසුනි, ඔබේ සාමූහික අරගලය ජය ගන්නා තෙක් අපද ඔබ සමග සහෝදරත්වයේ සහ මනුෂ්‍යත්වයේ අදිටනින් එක්වෙමු.

ඉඩම්, ජලය, වනාන්තර සහ මහ මුහුද ට, ජනතාවට තිබෙන ‘අයිතිය‘ රැකගැනීම සහ එය ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉඩම් අයිතිය සදහා වූ ජනතා සංධානය -PARL (සංවිධාන එකතුව), සහෝදර ඔබ එම අයිතිය වෙනුවෙන් කරනු ලබන නොනිමි අරගලයට මෙසේ සහය දක්වන්නේ එම අයිතීන් බුක්ති විදීම සදහා සහෝදර ඔබට ද ඇති අයිතියට ගරු කරමින් සහ එය මුළික පිළිගැනීමක් සේ සලකන
නිසාවෙනි.

යාපනයේ සිට සම්පත් සමරකෝන්