Image by: Vikalpa @2017SS

සිකුරාදා කොළඹ, කොටුවෙන් පිටත් වූ හවස හතරේ දුම්රියේ වවුනියාව වෙත පැමිණි ගමනේදී, සුබ්‍රමානියම් සිවකමි ගේ, ‘අලුයම් සිහින‘ කියවා ඉවර කර, දුම්රිය කවුළුවෙන් නෙත් යොමා අහස දෙස බැලු මා දුටුවේ දහසකුත් වූ තාරකාය. සිවකමි හෙවත් තමිලිනි ද, ඉසිප්‍රියා සහ තවත් අරගලයේ දී මියගිය සටන් සගයන් එම තාරකා අතර සැරිසරනු ඇතැයි මට සිතුනි. තාරකා අතරවත් ඔබ සෙවූ සහ පැතු විමුක්තිය වේදැයි මම සිතින් ඇසූවෙමි. සිවකමි, අරගල, අවි ගෙන සිදුවීම පිලිබද පසුතැවෙන අතර, එහි විපාක ලෙස තම අහිමි වීමේ වේදනාවන් සහ එකී වේදනාවන් තවත් උරුම නොවේවා ලෙස පතන පැතුම්, අලුයම් සිහින තුළ විස්තර කරයි. අතුරුදහන් වූ තම දරුවා එනතුරු උතුරේ මෙන්ම දකුණේ මව්වරුන් ද තවමත් බලා සිටී. සිංහයා රැදී, මතුපිට සීල් කළ මිණී පෙට්ටියේ තම දරුවා, ආදරවන්තයා, සැමියා නිසැක ලෙසම වූයේ දැයි සදාතනික කුකුසෙන් වේදනා විදින දකුණේ ජනතාවක් යුද්දයෙන් බිහි කළේය. අවසන් මිනිත්තුවේ දී, කලපුව හරහා ගිය ගමනේදී අතුරුදහන් වූ දරුවන්, හමුදාව වෙත බාරදුන් පසු අතුරුදහන් කරණ ලද දරුවන්, සැමියන් සොයන උතුරක් යුද්ධය හේතුවෙන් බිහිවුණි. යුද්ධය සියලුම මිනිසුන්‍ගේ ජීවත් වීමේ බලාපොරොත්තු විනාශ කළ අතර, යුධ මතක, ජීවත්වන්නන් ද ජීවිතයක් නැති මිනිසුන් බවට පත්කරමින් සිටින සේයකි. එනයින් යුද්ධය අත්පුඩි ගසා සතුටින්, තේජවන්තව සැමරිය යුත්තක් නොවේ. සිවකමි, යුද්ධයේ කෘරත්වය තම කෘතීන් වන, ‘තියනු අසිපතක සෙවන යට‘ සහ ‘අලුයම් සිහින‘ මගින් මතක් කර දෙයි. එවැනි කෘෘරතර යුද්ධයක, මනුෂ්‍යත්වයක් කිසි දිනක තිබිය නොහැක. මනුෂ්‍යත්වයේ පිරිහීම යුද්ධයේ ආරම්භය වේ.

කෙසේ නමුත් එවැනි කෘෘරතර යුද්ධයක් අවසන්ව, ශ්‍රී ලංකාව දැන් පශ්චාත් යුධ අවදිය පසුකරමින් සිටී. එම අවධියේ දී, උතුර මෙන්ම දකුණ ද යුද්ධය හේතුවෙන් මග හැරීගිය ජීවිතය සහ ජීවත්වීම නැවත බිදෙන් බිද එකතු කරගැනීමට වෙහෙසෙමින් සිටී. ජනතාව එලෙස වෙහෙසන විට, ජනතා මුදලින් නඩත්තු වන ආණ්ඩුවේ, කැබිනට් ඇමතිවරයකු වන මහින්ද සමරසිංහට අනුව, ආණ්ඩුවට ප්‍රමාණවත් කාලයක් සංහිදියාව සදහා ලැබී නොමැත. අවුරුදු 08ක් යනු ඉතා කුඩා කාලයකි. තවත් අවුරුදු 02ක් ලබාදීම සාධාරණය කරමින්, ඇමතිවරයා පැවසුවේ, එයද සංහිදියාව ගොඩ නැගීම සඳහා ප්‍රමාණවත් නොවන බවයි. ඇමතිවරයාට මෙන්ම, ආණ්ඩුවට මා මතක් කරදීමට කැමති කරුණු කිහිපයකි.

ප්‍රථමයෙන්, සංහිදියාව යනු, ජිනීවා හෝ වෙනත් බටහිර හෝ අධිරාජ්‍යවාදී අවශ්‍යතාවක් නොවේ. එය, ශ්‍රී ලාංකික දෛනික ජීවිතය සඳහා වන මුලික කොන්දේසියකි. ප්‍රචණ්ඩත්වයෙන් සහ බලහත්කාර යටත් කිරීමෙන් තොරව, ඕනෑම පුරවසියකු හට, තම ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය මුලික පසුබිම සැකසීම සංහිදියා ක්‍රියාවලිය තුළ දී සිදු කළ යුතුය. එසේම, යුක්තිය ඉටුකිරීම සංහිදියා වේ ප්‍රධාන අභිලාෂයකි. තිස් අවුරුදු යුද්දයක් තුළ, තමාගේ පවුල, නිවස සහ ජිවිතයම අහිමි වූ, දෙමළ ජනතාව සහ යුධයෙන් වින්දිත වු අනිකුත් ජනතාව, සංහිදියාව මගින් බලාපොරොත්තු වන්නේ වැඩමුළු පැවැත්වීම සහ කොමිසන් සභා වාර්තා ප්‍රකාශනය කිරීම පමණක් නොවේ. හමුදාව වෙත බාර කිරීමෙන් පසු අතුරුදහන් කරණ ලද දරුවන් පිලිබද සෙවීම, සහ ඔවුන්ගේ ජිවිත්වීම හෝ නොවීම සහතික කිරීම, තම පෞද්ගලික ඉඩම්, හමුදා බලහත්කාර යටත්කර ගැනීමෙන් නිදහස්‌ කරගැනීම සහ හමුදා විසින් අවබාවිතා කර අපයෝජනය කරණු ලැබූ තම නිවාස සදහා, වන්දි ලබාගැනීම සහ අවම ලෙස තමාට, පුරවැසියකු ලෙස තම ජීවිතය පවත්වා ගැනීමේ නිදහස තහවුරු කරණ පරිසරයක් ගොඩනැගීමය.

දෙවනුව, හමුදාවෙන් නිදහස්‌ වු පසුව, තම පාරම්පරික ඉඩම් වෙත පැමිණි ජනයාගේ මුලික අවශ්‍යතා ඉටුකිරීම ය. සංහිදියාව සදහා වන රාජ්‍ය ආයතන, මෙතුවක් සිදුකල ආත්ම වංචාවෙන් මිදී, වන්නියවරු ප්‍රමුඛ සියලුම යුද්ධයෙන් පීඩිත ජනයාගේ සැබෑ අවශ්‍යතා වන, කුසට අහාර, පානයට පිරිසිදු ජලය, හිසට සෙවන සපයා ගැනීමට මාර්ග සැකසීම සහ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය සහ යුද්ධයකින් අවිනිශ්චිත කරණ ලද ජිවිත සදහා නිශ්චිතභාවයක් ලබාදීමට අවධානය යොමුකල යුතුය. එහෙත් ගෙවී ගිය වසර 08 තුළ සිදු වූයේ, විශාල පරිමාණ සංවර්ධනය ව්‍යපෘති හෝ වැඩමුළු මගින් සංහිදියාව සෙවීමය. “වැඩමුළු සංහිදියාව” අද වනවිට, අධිපතිව, යම් කණ්ඩායමක් සදහා මුල්‍ය සහ සාමාජික ප්‍රග්ධණය උපයා දෙනු ලබන ක්‍රියාමාර්ගයක් වී තිබේ. යුද්ධයෙන් පීඩිත ජනයාගේ සැබෑ අවශ්‍යතා ආමන්ත්‍රණය නොවී, සංහිදියාව සහ ජනතාව කිසිදු සම්බන්ධයක් නොමැති අංගයක් දෙකක්ව ධ්‍රැවීකරණයවී ඇත. එවැනි සංදර්භයක, සංහිදියාව අවුරුදු 100කින් හෝ ගොඩනැගිය හැකි දැයි ගැටලුවකි.

අවසාන වශයෙන්, සංවේදය අහිමි ඇමතිවරයාට මෙන්ම ආණ්ඩුවට ද මතක් කළ දිය යුතු කරුණ නම් මිනීමරුවන්, ස්ත්‍රී දුෂකයන්, ‘රණවිරුවන්‘ කර රැක ගැනීමෙන්, කිසිදිනක සංහිදියාව ස්ථාපිත කළ නොහැකි බවය. හමුදා ශ්‍රමිකයන් විසින් කරණ ලද අපරාධ විමර්ශනය කර, වින්දිතයන් සදහා යුක්තිය ඉටුවිය යුතුය.

එසේම හමුදා ශ්‍රමිකයන් යොදවා උතුර සහ නැගෙණහිර මානව අයිතිවාසිකම් ක්‍රියාදරයින්ට සිදුකරණ මානසික බලහත්කාරයන් නැවැත් විය යුතුය. ක්‍රියාදරයින්ගේ නිවෙස් වෙත, පැමිණ ඔවුන්ගේ දෛනික ක්‍රියාකාරම් වෙත හමුදා ශ්‍රමිකයන් ඇසගසා සිටින බව ප්‍රකාශ කරමින් කරන මර්ධනය කිරීම් සහ හමුදා ශ්‍රමිකයන්ගෙන් ක්‍රියාදරයින්ගේ ක්‍රියාකාරම් සදහා වන මැදිහත් වීම් සහමුලින්ම නැවැත්විය යුතුය. එවැනි පියවරවලින් තොරව, සංහිදියාව ගොඩ නැගීම යනු පය බරවාට පිටිකර බෙහෙත් බැදීමකි.

දකුණේ සමාජයට ද තමාගේ අනෙකා වෙනුවෙන් විශාල වගකීමක් වේ. හිරු මාධ්‍ය වෙත මන්නාරම මුල්ලිකුලම් හි ජනතාව, තමන්ගේ පාරම්පාරික ඉඩම් ලබා ගැනීමට කරණ අරගලය වාර්තා කිරීම, ශ්‍රී ලංකික විහිලුකරු වූ විමල් වීරවංශගේ, ලෙමන්පෆ් උපවාසයේ දෙවැනි අදියර වාර්තා කිරීමට වඩා වැදගත් විය යුතුය. ඕමන්තේ මුරපොලේදී හමුදවේ උපදෙස් මත, පිරිමි සහ ගැහැනු ලෙස වෙන්කරණ ලද අවස්ථාවේදී වෙන්ව පසුව අද වනතුරු ම අතුරුදහන් වූ, තම දරුවා සොයන මව්වරුන්ගේ වවුනියා උපවාසය පිලිබද දකුණේ මාධ්‍ය, දකුණේ ජනයා දැනුවත් කළ යුතුය. නාවර පෙරාගෙන, දූවිලි නගන බිමේ, පරිප්පු සමග බත් කමින්, තමාගේ ඉඩම් හමුදාවෙන් නිදහස්‌ කරණ ලෙස ඉල්ලා අරගල කරණ කේපාපුලව් ජනයාගේ කතාව පිලිබදව දකුනේ මාධ්‍ය අවධානය යොමු කල යුතුය.

තිස් අවුරුදු යුද්ධය කිසිවෙකුට යහපතක් සිදු නොකළේය. මරදානේ මෙන්ම කිලිනොච්චියේ ද බෝම්බ පිපිරිණි. දකුණේ මෙන්න උතුරේ ජනයා ද නිවසින් බැහැර ගොස් නැවත නිවස වෙත පණ පිටින් පැමිණේ ද යන්න පිළිබද සියලු මිනිසුන්ගේ තුළ ඇති කලේ නිශ්චිතභායක් නොවේ. තම දෘෂ්ඨිවාදය සමග එකග නොවන්නන් ‘ජාති ද්‍රෝහීන් හෝ දේශද්‍රෝහීන්’ ලෙස නම් කර උතුරේ අවි ගත් කණ්ඩායම් සහ දකුණේ ආණ්ඩුවේ නියමයෙන් හමුදාව විසින් මරා දමන ලදී. හමුදා බලයෙන් දිනූ යුද්ධයකින් පසුව, උතුර පිඩාවට පත්කිරීමට, ආණ්ඩුවට දකුණ සහයෝගය දීම, කිසිදිනක අනුමත කළ නොහැක. එදා ඇඹිලිපිටියේදී අතුරුදහන්කර මරා දැමු තරුණ ජිවිත සදහා වගකිව යුතු වන ඇමතිවරයකු වු අද සිටින අගමැතිවරයාත් සහ වෙල්ලමුල්ලිවයික්කාල්හිදී සිවිල් ජනතාව මරා දමන අවස්ථාවේදී මුනිවත රැකි ඇමතිවරයකු වු, අද සිටින ජනාධිපතිවරයාත් සහිත ආණ්ඩුවකින්, වන්නිවරුන්ට හෝ යුද්ධයෙන් පිඩිත ජනතාවෙත යුක්තිය ඉටු වේ යැයි කිසිදිනක බලාපොරොත්තු විය නොහැක. එහෙත්, දකුණ- උතුර සමග එක් වී යුක්තිය ඉටුකිරීමට බල කිරීම මගින්, වන්නියවරුන්ට සහ යුද්ධයේ වින්දිතයනට සාධාරණක් ලබාගත හැක. කරුමයකට හෝ උරුමයකට උතුර- දකුණ යා කිරීමට පැමිණෙන බොහෝ විකල්ප ධාරාවන්ගේ දෛවය, සිංහල- බෞද්ධ පුරුෂෝත්තම බාවය මත ලියවී ඇත. නව ව්‍යවස්ථාවක් සම්පාදනය සදහා වන ව්‍යාපාරය, උතුර- දකුණ එක් කිරීම උදෙසා වන ව්‍යාපාරයක් ලෙස හදුනාගනු ලැබූවද , සිංහල පුරුෂයන් පමණක් එහි ප්‍රධානත්වය ගෙන ඇත. ස්ත්‍රීන් සහ වෙනත් ජනවර්ග නියෝජනයක් නොමැතිව, නව ව්‍යවස්ථාවක් සම්පාදන සාකච්ඡාවක් අරඹා ඇත.

එනයින්, සිදුව අත්තේ, දකුණේ සිංහල හොද පුරුෂයන් විසින් දෙනු ලබන, ඔවුන්ට සාපේක්ෂව යහපත් වන දෑ , උතුරට බාර ගැනීමට බලකර සිටීමය. මෙම ව්‍යපාරයේ ප්‍රධාන චරිතයක් වන, දඹර අමිල හිමි, ප්‍රසිද්ධ වේදිකාවේ මෙසේ පැවසිය “දේශමාමක බලවේග විසින් අපි මහින්ද රාජපක්ෂගෙන් වැඩක් ගත්තා. එක හරි අමාරුවෙන් ගත්තේ. හරියට, බල්ලෙක්ව නාවන්න ගෙනියනවා වගේ වැඩක්… අපිට ඒ මොහොතේ Target එකක් තිබුණා. යුද්ධෙන් කොටි ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි. එත් කලේ පරණ සෙල්ලමයි. ජිනීවා ගියා. කොෆි අනන්ට අතට අත දුන්නා. අපි කැගැහැව්වා. අපිට ඕනේ වුනේ කොටියට ගහන්න. මානෙල් මල් ව්‍යාපාරය තුලින් අරමුණු කලේ හමුදාවේ චිත්ත ශක්තිය වඩන්න. අපි හැමතැනම ගිහින් දේශන කලා හමුදාවට” (https://www.youtube.com/watch?v=7U6CcjOSlTo). කතාවේ සාරාංශ නම්, දඹර හිමි සහ මානෙල් මල් ව්‍යපාරයේ දායකයන් විසින්, රට තුළ බලවත් යුද්ධයක් ගෙනයාමට මහින්ද රාජපක්ෂ එවකට සිටි ජනාධිපතිවරයා සහ හමුදාව පොළඹවන ලදී. එකී යුද්ධය දහස් ගාණක් වු ජනතාවගේ ජිවිත උදුරා, හිමිකම් අහිමි කල බව උන්වහන්සේ ඇතුළු නව ව්‍යවස්ථාවක් සම්පාදන කන්ඩයාමට අමතක වී තිබේ. තමාගේ අනුවණ, ප්‍රවේගකාරී කතා සහ හැසිරීම්, සිංහල නොවෙන අනෙකා පිඩාවට පත්කරණ ලද බව කිසිදිනෙක පිළිගෙන නොමැති මෙතුමන් වහන්සේ වැනි කණ්ඩායමක්, වන්නියවරුන්ගේ හෝ යුද්ධයෙන් පිඩිත ජනයාගේ ගැටළු නිසි අයුරින් වටහා ගනීද?

වන්නියේ සිට ලිවීම අවසන් කිරීමට මා සිවකාමිගේ, අලුයම් සිහින හි සදහන් වදන් කිහිපයක් සටහන් කිරීමට කැමැත්තෙමි; “නැවතිල්ලක් නොමැති සේ සවන් පත්පාසාරු කරවමින් යුද හමුදාවේ කාල තුවක්කු යලිත් සිය ගර්ජනාව පටන් ගත්තේය. මස් වැදලිත්, ලේත් කට කොණකින් වගුරුවන, සාගිනි නො නිවුණු රාක්ෂයකු සේ යුද්ධය යලිත් භයානක ලෙස කට බලියා ගත්තේය” (පිටුව 77). කොටියට හෝ කාට හෝ විරුද්ධ වු ඕනෑම යුද්ධයක්, මානවයාට සහ මාණූෂියත්වයට විරුද්ධ වේ. එවනි යුද්ධ යළි ඇති නොවීමට, අප උතුර සමග අවංක විය යුතුය.

අරුණි සමරකෝන්
| Aruni Samarakoon