ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ගන්නා ප‍්‍රයත්නයට එරෙහිව තක්කඩියෙකුගේ (කු)තර්ක ක‍්‍රමය සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි. බුද්ධිමය සාටෝපය ස්වකීය අවස්ථාවාදයේ සළුවක් වශයෙන් මොහු නිතර පාවිච්චි කරනු දක්නට ලැබේ.

උදාහරණයක් වශයෙන්, මීට වසර කිහිපයකට කලින්, මහින්ද රාජපක්ෂගේ කාලයේදී, ලංකාවේ අංක එකේ භයානක හතුරා වශයෙන් ගෝඨාභය රාජපක්ෂව හැඳින්වු මොහු, අද වන විට ඒ ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ගැලවුම්කරුවා වශයෙන් ඔසවා තැබීමට යාමේදී, අර කී පරණ කතා කෙනෙකු මතක් කර දෙන විට ඔහු කියන්නේ, ‘දැන් ගෝඨාභය වෙනස් වී ඇති’ බවයි. ගෝඨාභය පමණක් නොව, මහින්දත් ‘දැන්’ වෙනස් බව අපි දනිමු. කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ චීන ආයෝජන ගැන, පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සහ සයිටම් විශ්ව විද්‍යාලය ගැන, සාලාවේ ගිනි අවි ගබඩාව සහ මීතොටමුල්ලේ කුණු කන්ද ගැන මොවුන් ‘දැන්’ රූප විපරිණාමයකට පත්ව ඇති බව කියා දීමට මහෞෂධ පණ්ඩිතයෙකු අවශ්‍ය නැත.

මෑත කාලයේ මේ රටේ බලය හෙබැවූ රාජ්‍ය නායකයන් දෙන්නෙකුට ඔහුගේ බුද්ධිමය හෙලූව පෙනුණි. එක් කෙනෙක්, චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. අනෙක් කෙනා රනිල් වික‍්‍රමසිංහයි. එබැවින් ඒ දෙන්නාගෙන් කිසිවෙකු මොහුව අහලකට ගත්තේ නැත. එහෙත් ඔහුව මැජික් එකක් කර ගත් නායකයෝ දෙන්නෙක් වූහ. කෙනෙක් ආර්. පේ‍්‍රමදාසයි. අනෙක් කෙනා මහින්ද රාජපක්ෂයි. එනිසා ඔහුගේ ඕනෑම ලිපියක, දේශපාලන විශ්ලේෂණයක, මේ සිව් දෙනා අරභයා වන ඔහුගේ බද්ධ ආකල්පය, වර්ණනාව සහ වෛරය ඔස්සේ, අකුරක් ගානේ දිස්නය දෙයි.

‘‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමක් අවශ්‍ය කරන්නේ කාටද, ඒ මන්ද?’’ යනුවෙන් ඔහු ලිපියක් ලියයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකළ යුතු බවට තර්ක කෙරෙන එම ලිපියේ ඔහු ගොඩනගන තර්ක සහ ඊට ප‍්‍රතිචාර අනුපිළිවෙලින් ගත් විට මෙසේ ය: (ඔහුගේ තර්ක ඉදිරියෙන් අංක යොදා තිබේ).

(1) ලෝකයේ වඩාත් සාර්ථක රටවල් දෙක ඇමරිකාව සහ චීනයයි. මේ දෙකම විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත රටවල් ය.

‘සාර්ථක’ යනුවෙන් තමන් අදහස් කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද, නිදහස ද, ආර්ථික දියුණුව ද යනාදී කිසිවක් ඔහු අපට නොකියයි. කෙසේ වෙතත්, ඇමරිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බවත්, චීනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන රටක් බවත් අපි දනිමු. ඒ පදනම මත කෙනෙකු තර්ක කළොත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය මෙන්ම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන ලෝකයත් හරි හරියට විධායක ජනාධිපති ක‍්‍රමය පිළිගන්නා බව මිස වෙන කිසිවක් මේ සන්සන්දනය තුළින් අපට සංජානනය නොවේ. එයින් කියැවෙන්නේ, ‘සාර්ථකත්වයේ’ රහස විධායක ජනාධිපති ක‍්‍රමය වන බවක් නොව, ප‍්‍රජාතන්ත‍්‍රවාදියාට සේම ඒකාධිපතියාට ද එම ක‍්‍රමය ගැලපෙන බවයි. එහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදියාට වඩා නපුරට ඒකාධිපතියෙකු අතේ එම ක‍්‍රමය පාවිච්චියට ගැනෙන බව අපේ අත්දැකීමයි.

(2) ලෝකයේ වඩාත් බලගතු සහ ප‍්‍රධාන රටවල් වන්නේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අයත් රටවල් 5 ය. එයින්, ඇමරිකාව, චීනය, රුසියාව සහ ප‍්‍රංශය යන රටවල් හතරක ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමයකි. විධායක ජනාධිපති ක‍්‍රමයක් නැත්තේ බි‍්‍රතාන්‍යයේ පමණි.

නැවතත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන චීනය ඉවත් කළොත්, ඔහුගේ තර්කයට තවත් රටවල් තුනක් ඉතිරිව තිබේ. පහෙන් තුනක්… එය, යම් තරමකට ‘ශක්තිමත්’ තර්කයකි. එහෙත් අනිත් අතට, ඇමරිකාව සහ රුසියාව ෆෙඩරල් ආණ්ඩු ක‍්‍රමයක් සහිත රටවල් ය. ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍ය ඉතා පුළුල් මට්ටමකින් බලය බෙදා හැර ඇති ඒකීය රටවල් ය. දැන් ඒ ලක්ෂණය අතිනුත් අපි පාඩමක් ගමුද?

(3) ආර්ථික දියුණුව පැත්තෙන් වේගවත්ම කලාපය වන්නේ නැගෙනහිර ආසියාව ය. එයින්, චීනය, වියට්නාමය, දකුණු කොරියාව, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමයකි.

නැවතත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන චීනය සහ වියට්නාමය අපට හමු වෙයි. ඒ රටවල් දෙක ඉවත් කළ විට, ඉතිරි රටවල් තුනෙන් පිලිපීනය ගැන වචනයක් කිව යුතුය. එහි වර්තමාන ජනාධිපතිවරයා 5000 ට අධික අපරාධකරුවන් නීති විරෝධීව ඝාතනය කොට ඇති බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ චෝදනා ලැබ සිටී. තමාගේ අතින්ම මෙවැනි අපරාධකරුවන් ඝාතනය කළ බව ප‍්‍රසිද්ධියේ පිළිගන්නා ඔහු, ‘‘තමාට එසේ කළ හැකි නම්, පොලීසියට එසේ කළ නොහැක්කේ මන්දැ’’ යි වරක් පොලීසියෙන් ප‍්‍රශ්න කෙළේය. ඒ අනුව, ඔහු අවසාන වරට බලයට පත්වූ දා සිට (2016 ජුනි මාසයේ සිට) මේ වන විට පොලීසිය දියත් කළ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම තුළ 5000 කට අධික සංඛ්‍යාවක් නීතියට පිටතින් මරා දමා තිබේ. ගිය ඔක්තෝබරයේදී තමාව ඇඩොල්ෆ් හිට්ලර්ට සමාන කර ගත් මේ ජනාධිපතිවරයා, ‘මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින තම රටේ තිස් ලක්ෂයක් මරා දැමීම තමා සතුටක් කොට සළකන බව’ කීවේය. පෙනේද ජනාධිපතිවරයෙකුගේ රඟ!

කෙසේ වෙතත්, නැගෙනහිර ආසියාව යන භූගෝලීය කලාපයට පිලිපීනය අයත් නැත. එසේම ඉන්දුනීසියාවත් නැගෙනහිර ආසියාවට අයත් නැත. වේගවත් ආර්ථික සංවර්ධයන් අත්කර ගනිමින් ඇති රටවල් සහ ජනාධිපති ක‍්‍රමයක් ඇති රටවල් වශයෙන් ඒවා තමාගේ තර්කයට උපුටා ගත හැකි තාක් කල්, භූගෝලය ඔහු බාධාවක් වශයෙන් නොසළකයි. ඇත්තෙන්ම නැගෙනහිර ආසියාවට ගැනෙන, මොංගෝලියාව අර්ධ-ජනාධිපති ක‍්‍රමයකි. තායිවානය අර්ධ-ජනාධිපති ක‍්‍රමයකි. උතුරු කොරියාව ‘යාවජීව නායකතුමෙකු’ ඇති ඒකාධිපති රටකි. දකුණු කොරියාව විධායක ජනාධිපති ක‍්‍රමයකි. ජපානය, අගමැතිවරයෙකු සහිත පාර්ලිමේන්තු ක‍්‍රමයකි. එබැවින් පූර්ණ ජනාධිපති ක‍්‍රමයක ගුණාගුණ ගැන නැගෙනහිර ආසියාවෙන් යම් තක්සේරුවකට පැමිණීම පහසු නැත.

(4) කැනඩාට හැරුණු කොට, උතුරු සහ දකුණු ඇමරිකානු මහද්වීප දෙකට අයත් සියලූ රටවල් විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත රටවල් ය.

කැනඩාව පමණක් නොව, සුරිනාම් නැමැති රටත් විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇති රටක් නොවේ. කෙසේ වෙතත්, පොදුවේ ඔහු කියන කතාව ඇත්තයි. එහෙත් මෙහිදී ඔහු සඟවන තවත් ඇත්තක් තිබේ. එනම්, කැනඩාවත් ඇතුළුව, උතුරු ඇමරිකා සහ දකුණු ඇමරිකා මහද්වීප දෙකේ භූමි භාගයෙන් සියයට 80 ක්ම පාලනය කෙරෙන්නේ පූර්ණ හෝ අර්ධ ෆෙඩරල් රාජ්‍ය ක‍්‍රමයන් යටතේ බවයි. ජනාධිපති ක‍්‍රමයක ඇති අරුමය පෙන්වීමට මේ මහද්වීප දෙක ආදර්ශයක් වශයෙන් ඉදිරිපත් කරන්නේ නම්, ඒ සමගම ඈඳුණු ඔවුන්ගේ අනිත් ආදර්ශය වන ෆෙඩරල් ක‍්‍රමයත් මේ භවතා අපට නිර්දේශ කරන්නේ ද යන ප‍්‍රශ්නය නැවතත් ඔහුගෙන් ඇසිය යුතුව තිබේ.

කෙසේ වෙතත්, මේ මහද්වීප දෙකට අයත් රටවල් තුළ ඇති වෙනස්කම් සහ ඉතිහාසය අනුව, ජනාධිපති ක‍්‍රමය නැමැති තනි සාධකය සැලකිල්ලට ගෙන සාමාන්‍යකරණයක් කිරීම පහසු නැත. ඇමරිකා එක්සත් ජනපදයේ ආදර්ශය අනුව යමින්, මධ්‍යම සහ දකුණු ඇමරිකානු රටවල් ජනාධිපති ක‍්‍රමය තෝරාගෙන ඇති බව ඇත්තකි. එහෙත්, ඉතිහාසය පුරා කුරිරු ඒකාධිපතියන් බිහි වී ඇති, හමුදා කුමන්ත‍්‍රණ බහුලව සිදුව ඇති, දැඩි මර්දනකාරී පාලන තන්ත‍්‍රයන් සඳහා කුප‍්‍රකට මහද්වීපයත් දකුණු ඇමරිකාවම වන බවට ඉතිහාසය දෙස් දෙයි.

(5) දකුණු අප‍්‍රිකාව සඳහා නෙල්සන් මැන්ඬේලා තෝරා ගත්තේ ද, විධායක ජනාධිපති ක‍්‍රමයකි.

දකුණු අප‍්‍රිකානු ජනාධිපතිවරයාව තෝරා ගැනෙන්නේ වෙනම ජනාධිපතිවරණයකින් නොව, පාර්ලිමේන්තු මැතිවරණයකින් ජයග‍්‍රහණය ලබන පක්ෂයෙනි. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පදනමට අදාළ කාරණයකි. ඇත්ත වශයෙන්ම, ලංකාව වැනි අඩු දියුණු රටක විධායක ජනාධිපති ක‍්‍රමයක් වඩාත් අනර්ථකාරී වන්නේ, වෙනම ස්වෛරීත්වයක් ජනාධිපතිවරයාට පැවරෙන නිසා ය. එම ස්වෛරීත්වය ව්‍යුත්පන්න වන්නේ, වෙනම ඡුන්දයකින් (ජනාධිපතිවරණයකින) ඔහුව/ඇයව තෝරා පත් කර ගැනෙන බැවිනි. එබැවින් දැනට සාකච්ඡා කෙරෙන අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ, වෙනම ජනාධිපතිවරණයක් නොපැවැත්වීමට යෝජනා වී ඇත.

වෙනම ජනාධිපතිවරණයකදී, තෝරා පත්වෙන ජනාධිපතිවරයාට එරෙහිව පාවිච්චි කළ කිසි ඡන්දයකට වටිනාකමක් නොලැබෙයි. උදාහරණයක් වශයෙන්, 2015 ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රීපාල සිරිසේන සඳහා ලැබුණු ලක්ෂ 62 ඡන්ද ප‍්‍රමාණය මිස, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලැබුණු ඡුන්ද 58 ලක්ෂයට සංයුක්ත වටිනාකමක් නොලැබෙයි. එහෙත්, පාර්ලිමේන්තු මැතිවරණයකදී ජයග‍්‍රාහී පක්ෂයට සේම, පරාජිත සෑම පක්ෂයකම ඡුන්දදායකයාවත් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කෙරේ. එබැවින් මහජන ඡන්ද අපතේ නොයයි.

අනිත් අතට, වෙනම ජනාධිපතිවරණයකින් බලයට පත්වන තනි පුද්ගලයෙකුට ලැබෙන අති විශාල බලය සහ වරම පාර්ලිමේන්තු මැතිවරණයකින් තෝරා පත්කර ගැනෙන නායකයාට (ජනාධිපතිවරයෙකුට හෝ අගමැතිවරයෙකුට) ලැබෙන්නේ, තවත් මහජන නියෝජිතයන් රාශියක් සමග එක්ව බෙදාහදා ගැනීමටයි. වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන්නේ එවැනි ක‍්‍රමයකි. නෙල්සන් මැන්ඬේලා දකුණු අප‍්‍රිකාව සඳහා තෝරාගත්තේ එවැනි ජනාධිපති ක‍්‍රමයක් මිස, සර්ව බලධාරී නායකයෙකු රජ කරවන අපගේ වැනි ජනාධිපති ක‍්‍රමයක් නොවේ.

(6) විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත කිසි රටක් පාර්ලිමේන්තු ක‍්‍රමයක් කරා මාරු වී නැත. ඒ වෙනුවට, පාර්ලිමේන්තු ක‍්‍රමයක සිට විධායක ජනාධිපති ක‍්‍රමයට මාරු වූ රටක් තිබේ. ඒ, තුර්කියයි. එසේම, ජනාධිපති වාර ගණන ඉවත් කර ගත් රටවල් ද තිබේ: නිකරගුවාව සහ වෙනිසුවෙලාව.

ජනාධිපති වාර ගණන ඉවත් කර ගත් රටවල් අතරට ලංකාවත් ගැනෙන බව මොහු වසංගයි. හේතුව, 18 වැනි සංශෝධනයේ ගන්දස්කාරය තවම දැනෙන නිසා විය හැකිය. තුර්කියේ වර්තමාන නායකයා ගැන මෙහි විස්තර කිරීම අසීරු ය. කෙටියෙන් කිවහොත්, ඔහු මහින්ද රාජපක්ෂගේ මහප්පා කෙනෙකු වැනි ය. කෙසේ වෙතත්, අනාගත ව්‍යවස්ථාපිත ඒකාධිපතියෙකු සඳහා තමන් පාර විවෘත කර ගත් බව, (ලංකාව මීට අවුරුදු 40 කට පෙර කළා සේ) සමහර විට අප ගත කළාට වඩා කෙටි කාලයකින්, තුර්කි ජනයා අවබෝධ කර ගනු ඇති බව පමණක් මේ අවස්ථාවේ ලියා තැබීමට පිළිවන.

පාලන ක‍්‍රමයක් වශයෙන් විධායක ජනාධිපති ක‍්‍රමයේ ඇතැයි කියන සුපිරි භාවය ‘ඔප්පු’ කිරීමට ජාත්‍යන්තරයෙන් ඔහු සතුව ඇති සමස්ත තර්ක කදම්භයේ තරම එයයි. ඊළඟට ඔහු ලංකාවට හැරෙයි.

(1) ලෝකයේ බලවත්ම රට වන ඇමරිකාවට පවා, ත‍්‍රස්තවාදය හමුදාමය වශයෙන් පරාජය කිරීමට හැකි වී නැත. ජනාධිපති ක‍්‍රමය යටතේ අපට එය කර ගත හැකි විය.

දැන් මොහොතකට කලින්, ජනාධිපති ක‍්‍රමයේ සාටෝපය ගෙනහැර පෑම සඳහා ඇමරිකාව උදාහරණයට ගත් බව පවා ඒ ටිකට මොහුට අමතක වී ඇත. ඔහුගේ හැඳින්වීමට අනුව මේ ලිපිය ආරම්භයේදී අප එම රට හඳුනාගත්තේ ලෝකයේ ‘සාර්ථකම’ රටවල් දෙකෙන් එකක් වශයෙනි.

(2) පාර්ලිමේන්තු ක‍්‍රමයක් තිබුණු කාලයේ අපට තිබුණේ බාල ආර්ථික වර්ධන වේගයකි.

රටේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන්, ජනාධිපති ක‍්‍රමයට පෙර කාලය සහ පසු කාලය සැසඳීමේදී යම් සංයුක්ත වෙනසක් පෙන්නුම් කෙරේ නම්, එය ජනාධිපති ක‍්‍රමයේ කෙංගෙඩියක් නිසා ඇති වු දෙයක් නොව, විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාවේ යෙදැවූ නිසා ඇති වූ දියුණුවක් බව කිව යුතුය. අපට පසුව ඉන්දියාව එම ආර්ථික ප‍්‍රතිපත්තියම ක‍්‍රියාවේ යෙදැවූයේ ජනාධිපති ක‍්‍රමයක් යටතේ නොවේ. කෙසේ වෙතත්, ජනාධිපති ක‍්‍රමය යටතේ පවා ආර්ථික වර්ධන වේගය සෘණ අගයක් ගත් අවස්ථා ඇති බවත් අපි දනිමු. නිදහස ලැබීමෙන් පසු ප‍්‍රථම වතාවට 2001 දී අපේ ආර්ථික වර්ධන වේගය සෘණ 1.4 ට පහළ බැස්සේය. එදා තිබුණේත් ජනාධිපති ක‍්‍රමයකි.

චීනයට පමණක් දෙවැනි වන ආර්ථික වර්ධන වේගයක් රාජපක්ෂ කාලයේදී තිබූ බවක් ඔහු කියයි. අජිත් නිවාඞ් කබ්රාල්ගේ පාලනය යටතේ පැවති මහ බැංකුවේ එදා සංඛ්‍යා ලේඛනවලට අනුව එය ඇත්තකි. එහෙත් ඒ වර්ධන වේගය ගණනය කිරීම සඳහා යොදා ගත් යල්පීනූ ‘‘පාදක වර්ෂය’’ ගැන දැන් සංවාදයක් ඇතිව තිබේ. නවතමයෙන් යොදා ගත් පාදක වර්ෂය මත පදනම්ව ගණන් බැලූ විට, මොහු කියන චීනයට පමණක් දෙවැනි වූ අපේ වර්ධන වේගයේ පුස්ස හෙළි විය. ඒ ගැන වෙනම ආර්ථික විග‍්‍රහයක් කළ යුතුව තිබේ. මෙය ඊට තැන නොවේ. කෙසේ වෙතත්, ජනාධිපති ක‍්‍රමයක් නොපැවති 1970-77 කාලයේ පැවති සියයට 2.83 ක් වැනි බාල ආර්ථික වර්ධන වේගයේ හේතුව සංවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය බවත්, එය 1977-2007 කාලයේ සියයට 4.7 ක අගයක් අත්කර ගත්තේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා බවත් පොදුවේ පිළිගැනේ.

(3) විධායක ජනාධිපති ක‍්‍රමයක් වෙනුවට පාර්ලිමේන්තු ක‍්‍රමයක් පැවති කාලයේ සිදු වූ දෑ: 1956 දී ‘සිංහල පමණයි’ පනත ආවේය. 1958 දී ප‍්‍රථම ජාතිවාදි කෝලාහල ඇති වුණේය. 1959 දී අගමැතිවරයෙකුව ඝාතනය කෙරුණේය. 1962 දී කුමන්ත‍්‍රණ තැතක් දියත් වුණේය. 1971 දී කැරැුල්ලක් ඇති වුණේය. 1976 දී, දෙමළ වාර්ගික පක්ෂයක් බෙදුම්වාදයට ගියේය. 1976 දී කොටි සංවිධානය බිහි වුණේය. 70 දශකයේදී තිස් අවුරුදු යුද්ධයක් දියත් කෙරුණේය.

ඔහු කියන පරිදි, මේ සියලූ සිදුවීම්, දින දර්ශනයක් තුළට බහා බැලූවොත්, ජනාධිපති ක‍්‍රමය ඇති කර ගැනීමට කලින්, එනම්, පාර්ලිමේන්තු ක‍්‍රමය පැවති කාලයේ සටහන්ව ඇති සිදුවීම් බව ඇත්තයි. එහෙත්, එයින් අදහස් වන්නේ, එම සිදුවීම්වලට හේතුව, ජනාධිපති ක‍්‍රමයක් වෙනුවට පාර්ලිමේන්තුවාදී ක‍්‍රමයක් එදා පැවතීම ද? එය එසේ නම්, පහත සඳහන් ප‍්‍රශ්න මොහුගෙන් ඇසිය යුතුව තිබේ.

1958 ඇති වු ‘‘ප‍්‍රථම’’ ජාතිවාදී කෝලාහලයක් ගැන කතා කරන මොහුට, පාර්ලිමේන්තු ක‍්‍රමය නොපැවති 1915 දී ඇති වූ සිංහල- මුස්ලිම් ජාතිවාදී ගැටුම අමතක වීම පුදුමයකි. කෙසේ වෙතත්, 1981 දී යාපනේ පුස්තකාලය ගිනි තැබීම, 1981 දී රත්නපුර, බලංගොඩ සහ කහවත්ත වැනි ප‍්‍රදේශවල වතු දෙමළ ජනතාවට එරෙහිව දියත් කෙරුණු ජාතිවාදී කෝලාහල, 3000 කට අධික සිවිල් දෙමළ වැසියන් ඝාතනය කෙරුණු 1983 කළු ජුලිය, 1997 කළුතර හිරගෙදර දෙමළ සිරකරුවන් මරා දැමීම, 2001 මාවනැල්ල ජාතිවාදී කෝලාහල, දෙමළ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කළ 2012 වැලිකඩ බන්ධනාගාර ඝාතනය, මුස්ලිම් ජාතිකයන් ඝාතනය කෙරුණු සහ දේපළ විනාශ කෙරුණු 2014 බේරුවල සංහාරය ආදිය ඇති වුණේ ජනාධිපති ක‍්‍රමයක් යටතේ බවත් ඔහු නොකියයි.

1959 දී අගමැතිවරයෙකුව ඝාතනය කෙළේ ලූ. ඔව්, ඉතිං? තමාගේම අසහාය නායකයා වූ ආර්. පේ‍්‍රමදාස ඝාතනය වන අවස්ථාවේ ඔහු මේ රටේ ජනාධිපතිවරයා වූ බව අමතක ද? 1971 දී ඇති වූ කැරැල්ලක් ගැන කතා කරන ඔහු, 1987-90 ඇති කෙරුණු භීෂණය ශීල ව්‍යාපාරයක් යැයි සිතනවාවත්ද? 1976 දී කොටි සංවිධානය බිහි වීමක් ගැන කතා කරමින්, වසර 26 ක සමස්ත යුද්ධයම කෙරුණේ ජනාධිපති ක‍්‍රමයක් යටතේ බවත් ඒ අතරේ ඔහු වසංගයි.

තමාගේ තර්කය සනාථ කිරීම සඳහා, ළඟින් ගෑවීගෙන යන ඕනෑම පරඬැලක එල්ලීම සහ තමාගේ තර්කයේ ප‍්‍රතිරෝධය ස්ඵුට කෙරෙන වෙනත් ඕනෑම කරුණක් චේතනාන්විතව වසං කිරීම තක්කඩියෙකුට මිස විද්වතෙකුට කළ හැකි දෙයක් නොවේ. ඉතිහාසය යනු සැබවින් සිදු වූ ඉතිහාසයකට වඩා, ඉතිහාසඥයාගේ ඉතිහාසය විය හැකි බව ඇත්ත. එහෙත් එසේ ලියැවෙන ඉතිහාසය තුළ පවා, සහසම්බන්ධයක් සහ තාර්කිකත්වයක් තිබිය යුතුය.

අවසාන වශයෙන්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය කරන්නේ කාටදැ යි මොහු අපට කියා දෙයි. පුහුල් හොරා කරෙන් දැනෙන්නේ එහි දී ය.

(1) කිහිප වරක් ජනාධිපති වීමට බලා බැරි වූ රනිල් වික‍්‍රමසිංහට මේ ක‍්‍රමය අවශ්‍ය නැත. නැවත ජනාධිපතිවරියක් විය නොහැකි චන්ද්‍රිකා බණ්ඩාරනායකට මේ ක‍්‍රමය අවශ්‍ය නැත. උතුර මෙල්ල කර ගත නොහැකි තරමේ දුර්වල බල කේන්ද්‍රයක් අපේක්ෂා කරන දෙමළ ජාතික සන්ධානයට මේ ක‍්‍රමය අවශ්‍ය නැත. ජේ.ආර්. ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස සහ මහින්ද රාජපක්ෂ වැනි ජනාධිපතිවරු ගණයේ ලා සැළකිය හැකි සුපිරි ශ්‍රේණියේ සිටින ගෝඨාභය රාජපක්ෂ 2019 දී බලයට පත්වීම වළකාලීමට කැසකවන අයවළුන්ට මේ ක‍්‍රමය අවශ්‍ය නැත.

දැන් පැහැදිළි ද? තක්කඩියාට විධායක ජනාධිපති ක‍්‍රමය තබා ගැනීමට අවශ්‍ය කරන්නේ, 2019 දී ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති කැරැවීමට ය. එය පවා, චන්ද්‍රිකා බණ්ඩාරනායක හෝ මෛත‍්‍රීපාල සිරිසේන වැනි ජනාධිපතිවරයෙකු බිහි කරවීම සඳහා නොව, ජේ. ආර්, ජයවර්ධන, ආර්. පේ‍්‍රමදාස සහ මහින්ද රාජපක්ෂ වැනි ජනාධිපතිවරයෙකු සිංහාසනාරූඪ කැරැවීමට ය.

ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda