දින කිහිපයකට ඉහත දී මුහුණු පොතේ සංසරණය වූ වීඩියෝ දර්ශනයක් දැක්කෙමි. [https://www.youtube.com/watch?v=G9wu2t13dws] ඒ ‘උත්තරීතර’ පාර්ලිමේන්තු සභිකයන් දෙදෙනෙකු අතර හටගත් විවාදයකි. විදේශ කටයුතු අමාත්‍යවරයා වන මංගල සමරවීර හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අතර වාග් හරඹයයි. නිමිත්ත වූයේ විමල් වීරවංශ තමා ඇමැතිවරයකු සිටි කාලයේ රාජ්‍ය දේපල සහ ධනය අවභාවිත කළ ආකාරය මංගල සමරවීර අමාත්‍යවරයා පැහැදිලි කරමින් සිටියේය. කොළොම්බියාවේ පැවැති ලෝක නාගරික සමුළුවේ හත්වැනි සැසි වාරයට විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා සිය එකොළොස් වියැති පුතා රාජ්‍ය අනුග්‍රහයේ සෙවණින් ගෙන යාම මංගල සමරවීර විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. ඒ විශේෂ වරප්‍රසාද යටතේ ද යන්න විවාදයට ලක් වෙමින් තිබුණි. මෙම චෝදනාවට විමල් වීරවංශගේ ප්‍රතිඋත්තරය වුයේ සිය පුද්ගලික වියදමින් සිය පුතා එම සංචාරයට රැගෙන ගිය බවත්ය.
විවාදයේ හොඳම හරිය ඇරඹෙන්නේ ඉන් පසුවය. හිටපු අමාත්‍ය වීරවංශ එම පිළිතුරෙන් නොනැවතී මෙසේද පවසයි.

තමුන්නාන්සේට දරුවෝ නැහැ කියලා මං පළි නෑ” විදේශ අමාත්‍යවරයා මෙයට ප්‍රතිඋත්තර දෙන්නේ මෙය ‘තක්කඩිකම’ කියාය. ඊට පිළිතුරු වශයෙන් විපක්ෂයේ තවත් මන්ත්‍රීවරයකු කීවේ “මේ පැත්තේ ඉන්නේ තක්කඩි නම්, ඔය පැත්තේ ඉන්නේ පොන්නයෝ” කියාය.

මෙම වචන හුවමාරුව සාමාන්‍ය ව්‍යවහාරයේ එන කුණුහරුපයක් ලෙස සලකා බැහැර කර ලීම වනාහී ප්‍රඥාගෝචර නොවන්නේ, මෙහි ඇති ගැඹුරු මර්දනකාරී දේශපාලනික භාවිතය සුළුකොට තැකිය නොහැකි නිසාවෙනි. ඒ නිසාම ක්ෂණිකව හටගත් සිතුවිල්ලක් මත පහත සටහන මාගේ මුහුණු පොතේ මුදා හැරියෙමි.

“මමත් ආඩම්බර පොන්නයෙක්මි! ලංකාවේ සදාචාරයට, සංස්කෘතියට අනුව, ඕනෑම පිරිමියෙක්ට හොරෙක්, තක්කඩියෙක්, වසලයෙක්, වංචාකාරයෙක්, මිනීමරුවෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුට බැඳලා ළමයි හදන්න පුළුවන් වෙන්න ඕන. කෙටියෙන්ම කිව්වොත් ඒක හරියට “අප්පච්චිට” හොඳට හොරකම් කරන්නත්, මිනී මරන්නත් වංචා කරන්නත් ලංකාවේ සංස්කෘතියට අනුව ඉඩ ලැබෙන්නේ අප්පච්චිට ළමයි ඉන්න නිසා. ඉතින් “පොන්නයොන්ට” ළමයි හදන්න “බැහැ” නිසා, උන්ට ඔය කිසි දෙයක් කරන්න දෙන්න බැහැලූ. ඔය හොරෙක් තක්කඩියෙක් මිනිමරුවෙක් ස්ත්‍රී දුෂකයෙක් වෙනවට වඩා පොන්නයෙක් වීම කොතරම් ආඩම්බරද එහෙනම්…”

මීට ලැබුණු ප්‍රතිචාර සහ අදහස්වලට ඌණ පූරණයක් වශයෙන් මේ ලිපිය ලියමි. නොදැනුවත්ව හෝ දැනුවත්ව අද වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, මෙකී නියෝජිතයන් තිදෙනා මංගල සමරවීර, විමල් වීරවංශ සහ අනෙකුත් මන්ත්‍රීවරයා ‘පොන්නයා’ යන්නට ලිංගික නපුංසකත්වයට ඔබ්බෙන් ගිය දේශපාලනික නිර්වචනයක් ලබා දීමේ අවශ්‍යතාවය යළිත් සනාථ කර ඇත. ඒ අවශ්‍යතාවයට ක්ෂණිකව මුහුණු පොතේ මුදා හළ ඉහත සටහන ප්‍රමාණවත් නොවේ.

“පොන්නයා” දේශපාලනිකව තේරුම් ගැනීම.

ඉහත විවාදය තේරුම් ගත හැකි එක් ආකාරයක් නම්, පුරුෂාධිපත්‍ය සමාජයක් විසින් ලිංගික සුළුතර ප්‍රජාව (LGBTIQ- Lesbian, Gay, Bisexual, Transsexual, Intersexual, Questioning) මත පවත්වා ගෙන යන පීඩනයේ හා ඔවුන් අමනුෂ්‍යයන් ලෙස පත්කොට සැලකීමේ ක්‍රියාවලියේ ප්‍රකාශනයක් ලෙසටය. මේ ප්‍රකාශය කළ අදාළ මන්ත්‍රීවරයා සහ ඊට ප්‍රවේශය ලබා දුන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ යන දෙපළම ලංකාවේ ලිංගික සුළුතරයන් වෙතින් සමාව භජනය කළ යුතුය. (බහුතරය විසින් මේ ලිංගික සුළුතරය පොන්නයින් ලෙස හංවඩු ගැසීම පුරුෂ මූලික අධිපති කතිකාවේ සංස්කෘතික ප්‍රචණ්ඩත්වය මුදාහරින මූලික ක්‍රමවේදයක් වේ.) මීට අමතරව අවශ්‍ය නම් දේශපාලනයෙන් මිදුණු තාක්ෂණික භාෂාවක් භාවිත කරමින් ලිංගික සුළුතරයින් සමාජයේ ‘පොන්නයින්’ කොට සැලකීමේ කාරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් හා වාද විවාද ඉදිරිපත් කළ හැක. එම පැහැදිලි කිරීම්වල වටිනාකම මා විසින් ප්‍රතික්ෂේප නොකරන නමුත් ඉන් දේශපාලනික වශයෙන් පුරුෂ මූලික මර්දනකාරී අධිපති කතිකාවතට දේශපාලන ප්‍රතිසුළුතරයක් සපයන්නේ නැති බව මාගේ අදහසයි.

පොන්නයා යන්න යළි මානුෂිකකරණය/ යළි කියවීමට අවශ්‍ය ප්‍රතිකතිකාවත දේශපාලනික හර පද්ධතියක් මත පදනම් විය යුතුය. පොන්නයා අවමානුෂිකකරණය කරන ලද, පුරුෂාධිපත්‍ය හා විරුද්ධලිංගිකභ්‍යාස හර පද්ධති මත පදනම් වූ දේශපාලන කතිකාවතක් තුළින් එය කළ නොහැක. එහෙයින් මෙම අර්ථදැක්වීම දැකිය හැකි උචිත ආකාරයක් වන්නේ “පොන්නයා” යන්නෙහි දේශපාලනික භාවිතය තේරුම් ගැනීමයි.

මීට හේතුව හුදෙක් කායික/ ජීව විද්‍යාත්මක හා තාක්ෂණික වියුක්ත තේරුම් ගැනීමකට වඩා දේශපාලන තේරුම් ගැනීමක් තුළින්, පොන්නයා යන්නට දැනට පුරුෂ මූලික අධිපති කතිකාවතෙන් දී තිබෙන අදහසට ප්‍රතිවිරුද්ධ දේශපාලනික අදහසක් ජනිත කළ හැකි නිසාවෙනි. මෙය අධිපති කතිකාව විසංයෝජනය කිරීමෙන් ප්‍රතිකතිකාවතක් ගොඩ නැගීමෙන් කළ හැකිය. එය විමුක්තිකාමී විභවයකින් යුක්ත වන්නේ මෙම කතිකාව තුළින් ස්වයං ලැජ්ජාවට පත් කරන පොන්නයින්ට අභිමානයෙන් ආඩම්බරයෙන් ඒ ගැන කතා කිරීමට දෘෂ්ඨිවාදීමය පදනම සැලසෙන නිසාය.

සදාචාරයෙන් තඩි බෑම

පාර්ලිමේන්තුවේ විවාදයට යොමු වුවහොත් විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා මන්ත්‍රීවරයාගේ අපහාසය එක්ව ගත් කල මංගල සමරවීර ප්‍රමුඛ පෙරමුණ /නඩය ළමයි හදා ගන්න බැරි “පොන්නයින්” පිරිසක් ලෙස අඟවයි. එසේ නම් ඕනෑම හොරෙකු, තක්කඩියෙකු, වංචාකාරයෙකු, මිනීමරුවෙකු, ස්ත්‍රී දූෂකයෙකු, බොරුකාරයෙකු වීමට වඩා පොන්නයකු වීම වඩා යහපත්ද? ඒ අර්ථයෙන් ගත් කල සමාජයේ යමෙකු මිනීමරුවෙකු වුවත් කම් නැත. එහෙත් ඔහු පොන්නයකු නොවිය යුතුය. පොන්නයකු වීම වනාහී ඊටත් වඩා පහත් තත්වයක් යන්නද? සමාජයේ පහත් හෝ අසම්මත යයි සලකන මිනිස් චර්යාවලින් පහත්ම එක ලෙස පොන්නයා ලේබලය විමල් වීරවංශ සහ අනෙක් විපක්ෂ මන්ත්‍රීවරයා විසින් පෙන්වා දීමට උත්සාහ කරන්නේ නොවේද?

මෙය ඉතා උනන්දු සහගත අර්ථදැක්වීමක් බවට පත් වෙන්නේ සමාජ යහපත පිලිබඳ පුරුෂ මූලික කතිකාවත තුළ හිංසනයට, වංචාවට, සොරකමට, ඝාතනවලට, ස්ත්‍රී දූෂණවලට, මුසාවට ඉඩ ඇතත්, පොන්නයකු වීමට ඉඩ නැති බවයි. සරලව කිවහොත්, වංචාවට, හිංසනයට, සොරකමට, ඝාතනවලට, ස්ත්‍රී දූෂණවලට, මුසාවට විරුද්ධ වන්නෝ ළමයි නැති හෝ හදාගන්න “බැරි පොන්නයෝ” වෙති. ඒ නිසාවෙනි, විමල් වීරවංශ මන්ත්‍රීවරයා මංගල සමරවීර ඇමතිවරයාගේ චෝදනාව තමුන්ට ළමයි නැති නිසා කරන්නක් බවට පවසන්නේ.

වීරවංශ නියෝජනය කරන සදාචාරවාදී කතිකාව තුළ නරක පිලිබඳ ධුරාවලියක් ඇත. එම ධුරාවලියේ මිනීමැරීමටත් පහලින් සිටිනුයේ පොන්නයන්ය. මෙය හුදෙක් ලිංගික සුළුතරයක් ලේබල් කිරීමට හෝ ලිංගික සුළුතරයාගේ පීඩිත හඬ නිහඬ කිරීමටත් එහා ගිය විපාක සහිතය. මන්ද, මෙම කතිකාවේ තාර්කික අන්තයට ගියහොත්, මිනිමරුවෙකුට මනුස්සකමින් සැලකිය හැකි වුවත්, පොන්නයෙකුට මනුෂ්‍යයෙකු ලෙස සැලකිය නොහැක. සමලිංගිකයන්ට තඩිබාන, ඔවුන් මරා දමන සමහර මූලධර්මවාදී සංස්කෘතිවල පදනම් කතිකාව සමග සදචාරවාදී කතිකාව මැනවින් සමපාත වේ.

සදාචාරයේ ගිලි ගිලී මංගල

මේ විවාදයේ මංගලගේ ප්‍රතිචාරය සිහි කළ හොත්, පොන්නයා ලෙස හංවඩු ගැසීමට පිළිතුරු ලෙස මංගල සමරවීර තමා “තක්කඩියෙකු නොවී පොන්නයකු වීම ගෞරවනීය” බව පවසයි. බැලු බැල්මට මෙය ප්‍රගතිශීලී පිළිතුරක් වුවද, මංගලටද පුරුෂමුලික මර්ධනකාරී සදාචාරවාදී කතිකාවෙන් මිදිය නොහැක. ඔහුගේ පිළිතුර වනාහි මගේ මිත්‍ර දමිත් චන්දිමාල් වරක් පැවසු පරිදි “හිට්ලර්ට වඩා ප්‍රභාකරන් හොඳය” ලෙස කීමක්ය. සදාචාරවාදී කතිකාවේ සමාජ නපුර පිලිබඳ ධුරාවලියෙන් මිදීමට මෙම පිළිතුර සමත් නොවේ. ඒ වෙනුවට මංගලගේ පිළිතුර “පොන්නයා” එම ධුරවලින් තරමක් ඉදිරියට ගෙනවිත් තිබේ. සරලව කිවහොත්, මංගලගේ පිළිතුරට අනුවද “පොන්නයා” යන්න තවමත් අපරාධයකි.

මෙය කිසිසේත්ම පොන්නයා කෙරෙහි විමුක්තිකාමී අදහසක් ගොඩ නගන්නේ නැත. ඒ වෙනුවට සදාචාරවාදී කතිකාවම ප්‍රතිනිෂ්පාදනය කරයි. සමලිංගික ප්‍රජාවගේ මානව අයතිවාසිකම් කෙරෙහි යහපාලන රජයෙන් යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂා කළවුන්ගේ බලාපොරොත්තු බිඳී ගිය පළමු අවස්ථාව මෙය නොවේ. එක පසකින් ජනාධිපතිවරයා ජනවාරි මස සමලිංගිකත්වය අපරාධ වරදක් යන්න ඉවත් කිරීමට විරුද්ධ වූ අතර, අනික් පසකින් යුරෝපා සංගමය ආණ්ඩුවට GSP+ සහනය ලබා දීමෙන් සිවිල් සමාජයේ ඇතැමුන්ගේ බලපොරෝත්තුවලට නුදුරින්ම පයින් ගැසීමට නියමිතය. අවසාන වශයෙන් මංගල සමරවීර යහපාලන ආණ්ඩුවේ සමලිංගික ප්‍රජාවගේ අයතිවාසිකම් කෙරෙහි දක්වන මතවාදීමය දරිද්‍රතාවය නිරුවත් කොට පෙන්නුවේය.

සදාචාරවදීන්ගෙන් පොන්නයා බේරා ගැනීම.

විමල් වීරවංශ ප්‍රමුඛ සදාචාරවදීන්ගෙන් අදහසේ තාර්කික අන්තයට ගියහොත්, පොන්නයා බේරාගැනීමට අවශ්‍ය ප්‍රති කතිකාවට අවශ්‍ය මුලිකාංග ගොනු කර ගත හැක. සදාචාරවාදීන්ට අනුව පොන්නයෙකු වීමට වඩා හොරෙක්, මිනීමරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක්, වංචාකාරයෙක් වීම හොඳය. පොන්නයෝ මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයන්ට, වංචාකාරයන්ට විරුද්ධව චෝදනා කරති. ඉහත සමාජ තත්ත්ව තුලින් ඉස්මතු කරන ප්‍රචණ්ඩත්වය පුරුෂමුලික ලක්ෂණයක් ලෙස භාරගැනීමක් මින් සිදුවේ. එනම්, පිරිමියාට පමණි මෙවැනි ක්‍රියා කළ හැක්කේ. පිරිමි නොවන පොන්නයන්ට මේවා අදාළ නොවන බව මින් අදහස් වේ. මෙහි විරුද්ධ පැතිකඩ කෙරෙහි අවධානය යොමු කළ විට, ප්‍රගතිශීලී හර පද්ධති වෙනුවෙන් පෙනී සිටීම පොන්නයකු ලෙස නිර්වචනය කිරීමට අවශ්‍ය මූලිකාංග සපයයි. එනම් මෙහි ප්‍රති අර්ථය වනාහී, දූෂණයට, වංචාවට, ප්‍රචණ්ඩත්වයට, මැරකමට එරෙහි සංයුක්තයක් ලෙස පොන්නයා යළි අර්ථ ගැන්වීමක් මෙහිදී සිදු කළ හැක. එහි අඩංගුව දෙස විමසා බලමු.

සමාජයක අති බහුතරයක් නොකිරීමට අපේක්ෂා කරන සොරකම, වංචාව, ඝාතන, ප්‍රචණ්ඩත්වය, වාචාලකම යනාදියට ප්‍රතිවිරුද්ධව ‘පොන්නයා’ ස්ථානගත කිරීම තුළින් සමාජයේ සොරකමට, වංචාවට, හිංසනයට, ප්‍රෝඩාවට, අසාධාරණයට විරුද්ධව බහුතරයක් පොන්නයින් බවට පත්වේ. එසේනම්, එවැනි හර පද්ධතී ප්‍රගුණ කරන, අපේක්ෂා කරන ආයතන විශේෂයෙන් පොන්නයින් බිහිකරන ආයතන බවට පත්විය යුතුය.

නිදසුනක් ලෙස තම සහකාරියගේ කැමැත්තට පරිබාහිරව ඇය සමග කාමයෙහි හැසිරෙන පුරුෂයකුට වඩා ඇගේ කැමැත්ත විමසන තැනැත්තා පොන්නයෙකි. දේශපාලනඥයින්ගේ හොරකම් ගෙන සොයන කෙනා පොන්නයෙකි. ස්ත්‍රී දුඋෂණයට විරුද්ධ වන පිරිමියා පොන්නයකි. රිය පදවන කාන්තාවකට බැන වදින පුරුෂයෙකු මෙන් නොව, ඇයට රිය පැදවීම ඇති අයිතිය පිළි ගන්නා තැනැත්තා පොන්නයෙකි. එසේ නම් අල්ලසට, දූෂණයට විරුද්ධව වැඩ කරන ආයතන ද පොන්නයින් වෙනුවෙන් වැඩ කරන ආයතන බවට පත්වේ. මෙහි තාර්කිත අන්තය බවට පත්වෙන්නේ නරක පුරුෂාධිපත්‍යය සමග සමපාතවීමත්, යහපත පොන්නයා සමග සමපාත වීමත්ය.

එම නිසා මංගල සමරවීර දැනුවත්ව හෝ නොදැනුවත්ව තමා පොන්නයකු වීම ගෞරවාන්විත යැයි කීම හුදෙක් ඔහුගේ ලිංගික නැමියාව සම්බන්ධ කාරණයකට වඩා සමාජ හර පද්ධති පිළිබඳ ඇති කතිකාවත විසංයෝජනය කිරීමට අවස්ථාවක් කර ගත යුතුය. අනෙක් අතට පොන්නයා ප්‍රතිනිර්වචනය කිරීමට වෙහෙසීමක් යහපාලන රජයෙන් හෝ සිදුවෙතැයි මම කිසි ලෙසකින් හෝ යෝජනා නොකරමි. ඒ වෙනුවට මේ යහපාලන රජය ප්‍රතිගාමී ප්‍රතිපත්තියක් ලිංගික සුළුතරය වෙනුවෙන් අනුගමනය කරන බව මනාව පැහැදිලි වූ අවස්ථාවන් එමටය.

පොන්නයා ප්‍රතිනිර්වචනය කිරීමට මීට පෙර සිවිල් සමාජයේ මතුවූ හඬක් ලෙස දමිත් චන්දිමාල්ගේ ‘සිංහලකම අතහැරීම සහ බෞද්ධ පොන්නයකු වීම” යන ලිපිය ඉතා අගනා උත්සාහයකි. කතුවරයා සිංහලයකු වීම, හිංසනය හා මර්දනය සමග සමපාත කරන අතර, ඊට විරුද්ධාභාෂයක් වශයෙන් තමුන් පොන්නකම තෝරා ගන්නා බවත්, එය බෞද්ධත්වයෙන් නොමිදෙන දෙයක් බවත් තර්ක කරයි. චන්දිමාල් ගේ උත්සාහතයත් පොන්නයා යළි මානුෂිකකරණය වූ හර පද්ධතියක් ලෙස සමාජගත කිරීම බව මනාව පැහැදිලි වේ. එහෙයින් පොන්නයා සමාජ යහපත සමග සංයුක්තව විග්‍රහ කෙරෙන කතිකාවකට කාලයයි මේ. එබැවින් පොන්නයා යන්න ආඩම්බරයෙන් අර්ථ ගැන්විය යුතු පදයක් බවට පත් කිරීම ලිංගික අයතිවාසිකම් ගැන හඬ නගන අයගෙත් සමලිංගික ප්‍රජාවගේත් කාර්යභාරයකි. මේ ලිපිය මගින් එම උත්සාහය පෝෂණය වේ නම්, මාගේ වෑයම අර්ථාන්විත ය.

ත්‍යාගරාජා වරදාස් | Thiyagaraja Waradas