දී. මු. ජයරත්න නමට අගමැතිව සිටි කාලයේ දී, පේරාදෙණිය ගන්නොරුව පාරේ ජනතාව අනවසර පදිංචි කරුවන් ලෙස නම් කර බලහත්කාරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් කටයූතු කරණ ලදී. මුල්‍ය අක්‍රමිකතා චූදිත මහින්දානන්ද අලුත්ගමගේ එකී ජනතාව ඉවත් කිරීමේ ක්‍රියාවලියේ සක්‍රිය වූ දේශපාලන චරිතයක් විය. එතුමා කොතරම් උනන්දුවෙන් ජනතාව ඉවත් කිරීම සදහා දායක වුයේ ද යත්, බැකෝ යන්ත්‍ර මගින් ඉවත් නොවන ජනතාවගේ නිවාස සහ දේපළ කුඩුකරන බවට තර්ජනය කළේය. නමට අගමැති වූ දී. මු. ජයරත්නයන් ලුම්පන් දේශපාලනයේ නිරත වු මහින්දානන්දට විරුද්ධ නොවී නිහඩ පිළිවෙතක් අනුගමනය කළ අතර බොහෝ ජනමාධ්‍ය සිදුවූ අයුක්තිය වාර්තා කිරීමෙන් ද වැලකි සිටියේය.

එවැනි පීඩනයක් වෙත විෂය වු ජනයා 2017 මැයි දිනයේදී දී. මු. ජයරත්න සහ ඔහුගේ පුත් අනුරාධ ජයරත්න උණුසුමින් පිළිගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින පෙළපාලිය සමග එක් විය. ජනප්‍රිය දේශපාලනයේ ගොදුරක් වු මෙකී ජනයා, දී.මු සහ අනුරාධ ජයරත්න සමග මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති මැයි රැලිය වෙත ඇදුනේ වාර්තමාන ජනාධිපති අපේ මිනිසෙකි යන මිත්‍යාවෙන් වේලීලා ය.

මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝ ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන් කිසිදු දිනක ‘ජනතාවගේ ’ මිනිසුන් නොවේ. ඔවුන්ගේ දේශපාලන ජීවිතය ජනතාව තුල ආරම්භ වූවා ද ඔවුන් සැමදා නියෝජනය කරනුයේ පිඩක කණ්ඩායම පමණි. මෛත්‍රීපාල සිරිසේනයනගේ මැයි දින කතාවට අනුව, මෙරට යුද්ධයක් නිර්මාණය වුයේ බලය ලබාගැනීම සදහා විවිධ දේශපාලන පක්ෂ ගොඩනැගීමත් සමග, ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයන් පසුපසට ගමන්කිරීමත් හේතුවෙනි (http://www.president.gov.lk/speech-of-president-maithripala-sirisena-at-the-may-day-rally-in-kandy-on-may-1-2017/).

එකී යුද්ධයෙන් රට මුදවා ගැනු ලැබුවේ යුධ විරුවන් බව හෙතම අවධාරණය කරනු ලබයි. ඒ කතාව තුලදීම, ඔහු සාමය සහ සංහිදියාව ගොඩනැගීම පිලිබද අවශ්‍යතාව මතුකරනු ලබයි. ජනාධිපති මෛත්‍රීපාල ද නියෝජනය වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂය විසින් සිංහල භාෂා පනත සම්මත ක‍ර, රාජ්‍ය සේවකයන්ගේ භාෂා අයිතිය කප්පාදු කරණ ලදී. තම ශ්‍රමය මත යැපී දහස් ගණන් වූ වතුකර ජනයා, ස්වභාෂා පනත සමග උද්ගත වූ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්විය. එකී බහුතරය, දකුණේ දී අවතැන්ව උතුර වෙත පලා ගිය අතර 2009 වෙල්ලමුල්ලිවයික්කාල්හිදී සියල්ල අහිමිව මැණික් ෆාම් කදවුරු වෙත නැවත පැමිණුනි.

යුද්ධයෙන් අවතැන් වු ජනතාවක් බිහිකිරීමේ වගකිම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාරගත යුතුය. එවැනි ජනතා වගවීම් නොසලකා, මෛත්‍රීපාල සිරිසේන සාමය ගොඩනැගීම, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක ඇරඹුම සහ ජනතා අයිතීන් සුරක්ෂණය සදහා කැපවන බවට පොරොන්දු ලබා දෙයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂ මැයි රැළි සුදානම මම දුටුමි. රෑ- එළි වනතුරු flash light අධාරයෙන් මාවත් පිරිසිදු කරණ කම්කරුවන් දුටු වෙමි. කම්කරු ස්ත්‍රීන්, දැඩි දූවිල්ලෙන් සහ හිරු රැසින් පිඩා විදිමින් පරණ ගන්නෝරු පාර, මැයි දින පෙළපාලි යාම වෙනුවෙන් සකස් කරණ ලදී. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ෆැන්ටසියේ වන ‘නිපුණතා සහිත ශ්‍රමිකයා’ වෙනුවට ‘කම්කරුවා’ තවදුරටත් ජීවමාන වන්නේ, සිරිසේන, වික්‍රමසිංහ සහ රාජපක්ෂ ප්‍රමුඛ එක් කණ්ඩායමක රාජ්‍ය පාලනයේ ප්‍රථිපලයක් ලෙසය. සාප්පු ශ්‍රමිකයන්ගේ අයිතීන් පිලිබද ජනාධිපතිවරයාට මතක්වීම සුභ දායක වේ. එහෙත්, මැයි දිනය ද තවත් එක් වැඩ දිනක් ව ‘ගෙදර යන ගමන්’ හෝ වෙනත් තේමා යටතේ වන සාප්පු වීවෘතව, කම්කරුවන් මැයි පළමු වෙනිදා ද සේවයේ නිරත බව, උඩින් ගමන් යන ජනාධිපතිවරයාට නොපෙනේ.

මැයි පළවෙනිදා කොළඹ පැමිණි මා දුටුවේ පංචිකාවත්තේ පදික වේදිකාවක් මත තබා තම දිවා ආහාරය බුදින, පාලිත රංගේ බණ්ඩාරගේ නම සදහන් T- කමිසයෙන් සැරසී සිටින ජනතාවය. ස්ත්‍රී සහ පුරුෂයන්ගේ තෙහෙට්ටු වූ මුහුණු, දුටු මා, මගෙන් විමසූ පැණය නම්, එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශිත ‘දිනන ජනතාව’ කවුරුන්ද? රනිල් වික්‍රමසිංහ අගමැතිට අනුව වැදගත් වන්නේ අපනයන වෙළදපොළ සොයා ගැනීම ය. ආරථික සංවර්ධනය මගින් යුද්ධය නිමා කිරීමට උරදුන් ජනතාවගේ ජිවිත සැපවත් කිරීම වෙනුවෙන් තම ආණ්ඩුව ක්‍රියාකරණ බව හෙතෙම ප්‍රසිද්ධියේ කියා සිටි. එහෙත් හෙතෙම, අතුරුදහන් වූ දරුවන්ගේ ජිවිත සහ හමුදා බලහත්කාරය යටතේ වන උතුරේ ඉඩම් සහ හමුදාව විසින් අවභාවිතා කරණ ලද ජනතාවගේ දේපළ පිලිබද කිසිදු සදහනක් මැයි දින කතාවේදී සිදු නොකරයි. උතුරේ ද වන්නේ තම ශ්‍රමය මත ජීවිතය ගොඩනගාගත් කම්කරුවන්ය. ඔවුන්ගේ භූමියට වන අයිතිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු විසින් විවිධ අවස්ථාවලදී අහිමි කර ඇත. උතුරේ ජනයාගේ ශ්‍රමය සහ පරිත්‍යාග මත ගොඩනැගුනු යාපනය පුස්තකාලය ගිනිබත් කිරීම, දෙමළ ජනයා අවතැන්කර ප්‍රචන්ඩත්වය සමාජය වෙලා සිටි අවධියේ, නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් වු ආයතන අකර්මන්‍ය කළ ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට හිමිය. එවැනි ඉතිහාසයක් සහිත පක්ෂයක් දිනවීමට වෑයම් කරණ ජනතාව කවුරුන්ද?

පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින තේමාව වුයේ, වැඩබිම, ගොවිබිම සහ මව්බිම රැකීමය. එහි කිසිදු ආකාරයක ජානතා රැකීමක් පිලිබද සදහනක් නොවිණි. උතුරේ ජනයාගේ ගෙවල් පමණක් නොව දකුණේ ජනයාගේ ද ගෙවල් බුල්ඩෝසර් කර, තමාට පමණක් මෙම භුමිය හිමි බවට සංඛේතව හැසිරුණු මහින්ද සහ කණ්ඩායමට ජනතාව කිසි දිනක වැදගත් නොවිය. ඒකාබද්ධ විපක්ෂය විසින් මෙවර සිදුකරනු ලබුවේ, ගෝල්ෆේස් පිරවීමේ අභියෝගය බාරගෙන, එය තමන් ජයගත් බවට පාරම් බෑම පමණි. මහින්ද මන්ත්‍රීතුමාගේ අනුග්‍රහයෙන් හක්මන සිට පැමිණි අධාරකරුවන් (දෛනික ජිවිතයේ කම්කරුවන්) ගේ උද්‍යෝග පාඨ තුළ වුයේ අපහාසය පමණි. මහින්ද රාජපක්‍ෂ යනු, කම්කරැ ඇමතිවරයාව සිටි අවධියේ සම්පාදිත කම්කරු ප්‍රඥප්තිය පෙට්ටගමේ දමා සගවා, තම වෘත්තීය අයිතීන් ඉල්ලා සිටි කම්කරුවන් වෙත වෙඩි තැබීමට අණ කළ ජනාධිපතිවරයෙක් විය. එවැනි නායකත්වයක් යටතේ වන ආධාරකරුවන් ද ප්‍රතිබිම්බනය කරනු ලබන්නේ අනෙකාට එරෙහි පිඩාව පමණි.

ඉහතකී මැයි දින සැමරුම් බලාහාත්කාරයෙන්, ජනතාව වෙත පැට වූ අංගයක් විය. එහි කිසි තැනක ජනතා නියෝජනයක් නොවිය. මාතෘ භූමියේ අයිතිය මිස ජනතා අයිතීන් නොවිය. පසමිතුරැ බව සහ බලය පෙන්වීම හැර කිසිදු දේශපාලනික වැදගත් බවක් මෙකී මැයි දින සැමරුම් හී දැක ගත නොහැකි විය. මැයි දිනට පසුදින සේවාවන් වෙත වාර්තා කළ යුතු කම්කරුවන් හෝ නිපුණතා සහිත ශ්‍රමිකයන් මැයි දින සැමරුම හේතුවෙන් ප්‍රවාහනය ඇණ හිටිමෙන් දැඩි පිඩාවට පත්විය. එසේ වූ රටක, මැයි දිනය යනු බල දේශපාලන අරගලයේ තවත් එක් මෙවලමක් පමණි. Karl Kautsky ප්‍රකාශ කළ ආකාරයට “සමාජ පරිවර්තනයක් සිදුවිය යුත්තේ කම්කරු පන්තිය තුල පමණක් නොවේ. එකී පරිවර්තනය සමස්ත මිනිස් සංහතියේම විමුක්තිය විය යුතුය.” කම්කරුවාට විමුක්තිය ලබා දීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන තිබෙන සිංහල බෞද්ධ දේශපාලකයා, අවසානයේ අවධානය යොමුකර තිබෙනුයේ මව්බිමට විමුක්තිය ලබාදීමටය. ඒ සදහා හෙතෙම සිංහලයාගේ අනෙකා උපක්‍රමශීලිව පිඩාවට පත්කරයි. මේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ මෙන් අමුවෙන් නොව වෙස් මුහුණු පැළද නටයි. එකී වෙස් මුහුණ ගැලවීම මෙරට පුරවැසියන් වෙත වන ප්‍රබල අහියෝගයකි. මෙකී අභියෝගය තවත් දැඩිවන්නේ යුද්ධයෙන් අවතැන් කරන ලද උතුරු සමාජය තුලය.

මැයි 18???

වර්තමාන ආණ්ඩුව ලිබරල් සාමයක් වෙනුවෙන් සංහිදියා යාන්ත්‍රනයක් ඇති කර ඇත. රාජ්‍ය අනුග්‍රහය යටතේ ජනතා බදු මුදලින් නඩත්තු වන, ජනතාව වෙනුවෙන් පිහිට වූ මෙකී සාමය සහ සංහිදියාව සදහා වන කාර්යාල, මැයි දින පිළිවෙත් ලෙසම ජනතාවගේ සැබෑ අවශ්‍යතා නොසලකා ක්‍රියා කරයි. දින 80ක් ඉක්මවා අදටත් උතුරේ මව්වරු තම අතුරුදහන් වු දරුවන් සොයා දෙන ලෙස නිරාහාරව විරෝධයපාමින් ඉල්ලා සිටි. තම ආදරණීයන් හමුදාවට බාර කළ පසු මරා දැමුවේ ද, නැතිනම් ඔවුන් ජිවත් වන්නේ ද යන උබතෝකොටිකයෙන් මෙකී ජනතාව පිඩා විඳී. ඔවුන්ගේ දරුවන් විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයන් වීම හෝ නොවීම හේතුවේන් අතුරුදහන් කිරීමට කිසිදු ආණ්ඩුවක් වෙත බලයක් නොවේ. එකී ජනතාව වෙනුවෙන් යෝජිත අතුරුදහන් වුවන් සදහා වන කාර්යාලය අකර්මන්‍ය වී ඇත. දරුවන් හෝ ආදරණියයන් හමුදාව වෙත බාර දී අතුරුදහන් වු පසු, මේකී ජනයා පවසන ආකාරයට, ඔවුන් වෙත විවිධ පුද්ගලයන්ගෙන් දුරකථන ඇමතුම් පැමිණ තිබේ. එකී ඇමතුම් මගින් ප්‍රකාශ වුයේ අතුරුදහන් කළ සිය ආදරණීයයා ලබා දීමට ගෙවිය යුතු මිල පිළබදව ගනු දෙනුවකි. කිලි සහ මුල්ලි වැසියන් පැවසුවේ ‘මුදල් නැතත් මිනිස්සු නැති කරගන්න බැහැ. සල්ලි පොලියට හරි හොයාගෙන දීලා මිනිස්සු ගෙදර ආවනම් ඇති.’

අතුරුදහන් වුවන් පිළිබද කතිකාව ජනප්‍රිය දේශපාලනය තුල සිර්ගත නොවිය යුතුය. රාජ්‍ය සේම රාජ්‍ය නොවන අංශයද (සිවිල් සහ පෞද්ගලික ) මෙය මානුෂිය ගැටලුවක් ලෙස සලකා, ඒ සදහා කඩිනම් මැදිහත් වීමක් සිදු කළ යුතුය. අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හට ඔවුන්ගේ කතාව නැවත නැවත විවිධ පුද්ගලයන් සමග බෙදා ගැනීමට සිදුවීම මානසික වදයකි. කිසිදා සුව නොවන ඔවුන්ගේ තුවාලය පහුරු ගසමින්, තම දේශපාලන අරමුණු ඉටුකර ගැනීම මනුෂ්‍යත්වයට නිගාවකි. මෙකී ඥාතීන්, රාජ්‍යයේ හෝ සිවිල් සමාජයේ යම් දේශපාලන ව්‍යාපාරයක්, මතයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් වන ප්‍රාග්ධනයක් නොවිය යුතුය. ඔවුන් අසන පැනයට සෘජු පිළිතුරක් ආණ්ඩුව සැපයිය යුතුය. අතුරුදහන් වූවන් මරා දමූවේ නම්, එය වූයේ කෙසේද?, ඒ වැනි මරා දැමීම් සදහා වූ පදනම කුමක් ද? යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතුය. සිවිල් සමාජය සහ පෞද්ගලික අංශය මෙකී වගවීම වෙනුවෙන් ආණ්ඩුවට බලකර සිටිය යුතුය.

හමුදාව විසින් බලහත්කරණයෙන් රදවා තබා ගත් ඉඩම්, අදාළ ජනයා වෙත මුදා හැරියද, එකී ජනයාගේ නිවෙස් බුල්ඩෝසර් කර තිබුණු අතර, නිවෙස් හි වටිනා දෑ හමුදාව විසින් කොල්ලකා තිබුණි. නිවසක් යනු මතකයක් පිරි මතකබිමකි. එය හුදෙක් වහලක් සහ බිත්ති බැදී ගොඩනැගිල්ලක් නොවේ. දකුණේ සාමාන්‍ය ජීවිතයේදී ද , නිවසක් ගොඩනාගා ගැනීම සදහා කරණ අරගලය මෙන් දෙගුණයක් වු අරගලයක් උතුරේ මෙකී ජනයා නිවෙස් ගොඩ නගා ගැනීම සදහා කරන්නට ඇත. අදටත් බොහෝ නිවෙස් වල ඇත්තේ Plastic පුටු සහ ගෘහ භාණ්ඩය. වරක් කිළිනොච්චි හි මගේ යෙහෙළියක් පැවසුවේ, ‘අපිට තවමත් හිතෙනවා එක පාරටම උඩින් ඇවිත් බෝම්බ දායි කියලා. කොයි මොහොතේ හෝ දුවලා බංකරේක හැංගෙන්න වෙයි කියලා. ඉතින් අපි කොහොමද හොද පුටු ගේන්නේ?’ දකුණේ සිංහල බෞද්ධ ආණ්ඩු සිමෙන්ති සහ වෙනත් ගොඩනැගිලි ද්‍රව්‍ය උතුරට තහනම් කර තිබෙන අවධියක මෙම ජනයා කියා නිමකළ නොහැකි දුක් විද නිවෙස් තනාගන්නා ලදී. එසේ ගොඩනාගාගත් නිවෙස්ද ‘ආරක්ෂාව තහවුරු කිරීමේ පදනම මත’ හමුදා ශ්‍රමිකයන් විසින් බුල්ඩෝසර් කරණ ලදී.

වාර්තාවූ සිදුවීම් අනුව, මෙකී නිවෙස් හි වු භාණ්ඩ හමුදාව විසින් තම පෞද්ගලික පරිභෝජනය උදෙසා විලිසන්ගයක් නොමැතිව ගෙන ගොස් ඇත. මෙකී ගැටළු වෙනුවෙන් නිශ්චිතව මැදිහත් නොවන ආණ්ඩුවක් මවුබිම, දිනු දේශය, පුරවැසි අයිතීන් පෙන්වා දෙමින් ආණ්ඩුකරනයේ යෙදෙයි. තම බුල්ඩෝසර් කළ නිවෙස සහ වැසිකිලිය පෙන්වාදෙන මුලතිව් හී ඊශ්වරී පවසන්නේ ‘වවටේට හමුදාව. අපි මැද. කන්න නැතත් , අපේ ඉඩම් ලැබුනා. අපිට බලාපොරොත්තුවක් නෑ.’ යනුවෙනි (http://www.vikalpa.org/?p=30258)

ආණ්ඩුවේ උපදෙස් සහිත හමුදාව, උතුරේ දී ඉඩම් මත පමණක් නොව ජනතා ජිවිත තුළ ද බලහත්කාරයෙන් පදිංචි වී ඇත. හමුදා බලඇණි ගම්මාන අසල පිහිටුවා තිබීම හේතුවෙන්, උතුරේ ස්ත්‍රීන්ට නිදහසේ පොදු අවකාශ වෙත ප්‍රවේශවීම අහිමි වී ඇත. ඊශ්වරී හා සමවන බොහෝ ස්ත්‍රීන් හට හමුදාවෙන් ආරක්ෂාවීම ගැටලුකාරී වී ඇත. කේපාපිලව් හිදී මවක් පැවසුවේ, ‘කුලියක් කරගැනීම සදහා මුල්ලි ගියද රෑ බෝ නොවී ගෙදර පැමිණිය යුත්තේ ගමේ පිහිටි Air- Force කැම්ප් එක භායානක’ හෙයිනි. උතුරේ බහුතරයක් වැන්ඳඹු ස්ත්‍රින් වන අතර ඔවුන්ගේ නිවේස් හි සවිමත් දොරවල් තවමත් නොමැත. වටේ සිටින හමුදා ශ්‍රමිකයන්ගෙන් මෙකී ස්ත්‍රීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නොවෙයැයි කිසිවෙකුට සහතික විය නොහැකිය. මැයි දිනයේ දී මෛත්‍රී, රනිල් සහ මහින්ද ට මෙම ශ්‍රමික ස්ත්‍රීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිලිබද කතාකිරීම එතරම් වැදගත් නොවුනේ, මෙම ස්ත්‍රීන්, හමුදා ශ්‍රමිකයන්ගේ අශ්ලීල ආසාවන් සදහා භාවිතය වරදක් නොවෙයි පිළිගත් සිංහල – බෞද්ධ මානය හේතුවෙන් ද? කොළඹ ලෝරිස් පටුමගේ දී මාගේ මිතුරියක් පොලිසියේ පිඩනයට විෂය වුයේ නොබෝදා ය. එහි දී ඇයගේ සැරී සැරීමේ නිදහසට බාධා කරමින්, පොලිස් නිලධාරින් විසින් වාචික හිංසනයක් මුදා හරින ලදී. වෘත්තීයෙන් නීතිඥවරියක් වූ ඇයගේ නිදහසට බාධාකරමින්, පොලිසිය හැසිරීම සිදුවන්නේ කොළඹ, ඇයගේ නිවස අසලදී ය. ඇයගේ කතාව අැසූ සැනකින් මගේ මතකයට පැමිණියේ, කොළඹ දී ස්ත්‍රීන්ට මෙසේ පීඩාවන් වන්නේ නම් උතුරේ ස්ත්‍රීන්ට කොතරම් පීඩාවන් වේ ද? ලක්මව බේරා ගැනීමට ඉදිරිපත් වන පුතුන් තමා ජිවත්වන සමාජයේ වන ස්ත්‍රී පිඩනයට විරුද්ධ නොවන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ පැවති සහ පවතින ආණ්ඩු මැයි දිනයේදී සහ මැයි 18, දකුණේ සිංහල- බෞද්ධයා ලුම්පන්කරණයකර තම දේශපාලන අවශ්‍යතා සාධනය සදහා යොදා ගනී. දකුණේ සිංහල- බෞද්ධයා තමා ලුම්පන් මිස ආණ්ඩුවේ හිමිකරුවෙකු නොවන බව අවබෝධ කරගත යුතුය. උතුරේ දන්සල් පැවැත්වීම නොව, තමන් බුල්ඩෝසර් කළ ජිවිත සහ නිවාස නාගා සිටුවීමට ආණ්ඩුව සහ හමුදා ශ්‍රමිකයන් වගබලා ගත යුතුය. නමුත්, විදේශාධාර මත, හමුදා ශ්‍රමිකයන් විසින් ගොඩනැගිය යුතු යැයි ආණ්ඩුව උපදෙස් දුන් උතුරේ නිවෙස් තුළ හෝ පොදු අවකාශ තුළ මැරකමින් හෝ බැගෑපත්වීමෙන් හමුදාවේ හෝ ජනාධිපතිවරයාගේ පිංතුර ප්‍රදර්ශණය කිරීමෙන් වැළකිය යුතුය. මුල්ලිකුලම් දෙව්මැදුරේ පිවිසුම් බිත්තියේ නාවික හමුදාවේ පින්තුරයක් කැටයම් කර තිබේ. සේදීගිය තම ගරුත්වය පිංතුර එල්ලීමෙන් සිගමන් යැදීමට සිදුවීම පිලිබදව නාවික හමුදාව මෙන්ම ආණ්ඩුව ද ලජජා විය යුතුය. උතුරේ බොහෝ නිවාස ව්‍යපෘති විදේශාධාර මත සැලසුම්ව ක්‍රියාත්මක වේ. එවැනි ව්‍යපෘති සදහා කම්කරුවන් ලෙස හමුදාව යොදාගෙන ඇත. එකී කම්කරුවන්, අනුන්ගේ ආධාර මත ඉදිකළ නිවාස, තමාගේ කරුණාව යටතේ වූ බව ප්‍රදර්ශනය සදහා ජයාරූප එකී නිවෙස් හි බිත්තිමත එල්ලා තැබීම අපරාධයකි. එහෙව් අපරාධ සිදුවන උතුරක් සහිතව අප සාමය සහ සහජීවනය වෙනුවෙන් බෝධි පුජා කරයි, දන්සල් පවත්වයි, ‘ප්‍රීති වෙසක්‘ සමරයි.

ප්‍රීති වෙසගින් පසුව අපට මැයි 18ක් වේ සැමරීමට. දකණේ සිංහල බෞද්ධයා විසින්, ප්‍රභාකරන් මරාදැමීමෙන් පසුව තමාවෙත විමුක්තිය වූ බව උපකල්පනය කර තිබේ. එහෙත් සිදුව ඇත්තේ, දකුණේ සිංහල- බෞද්ධයා මැයි 1වෙනිදා මෙන්ම මැයි 18 වැනිදා ද තමා නියෝජනය නොකරණ දේශපාලකයන්ගේ ප්‍රීතිය සහ බල අරගලය වෙනුවෙන් ණයට පෙනී සිටීමකි.

අරුණි සමරකෝන් | Aruni Samarakoon