සිංහල, Colombo, Democracy, Human Rights, Human Security

මානව හිමිකම් සුරකින්නන්ට උපහාර ……


ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් දීර්ඝ කාලයක පටන් අභීතව පෙනී සිටින, ප්‍රධාන පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් ඊයේ ( නොවැම්බර් 06 වන දා) ජාත්‍යන්තර අධ්‍යයන සඳහා වූ බණ්ඩාරනායක මධ්‍යස්ථානයේදී පැවැත්විණි.


මානව හිමිකම් සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරු- යාපනය UTHR(J) සංවිධානයේ පුරෝගාමීන් වන මහාචාර්ය රාජන් හූල් සහ කෝපාලසිංගම් ශ්‍රී ධරන් යන දෙදෙනාට 2007 ඔක්තෝබර් මාසයේදී, ලෝකයේ විවිධ රටවල මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් කැප වී සිටින මානව හිමිකම් ක්‍රියාකාරිකයන් සහ ශාස්ත්‍රඳයින් වෙනුවෙන් පිරිනමන මාටින් එනල්ස් (Martin Ennals) සම්මානය හිමි විය. ඔක්තෝබර් මාසයේදීම, දශක දෙකකට වැඩි කාලයක පටන් අප රටේ යුද්ධයේ ගොදුරු බවට පත් වී ඇති දෙමළ සිංහල මුස්ලිම් ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬ නගන, ප්‍රධාන පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන සුනිලා අබේසේකර මහක්මියට Human Rights Watch ආයතනයෙන් පිරිනමන Human rights Defender Award සම්මානය හිමිවිය. ඊයේ උපහාර උළෙලේ නිමිත්ත වූයේ මේ සම්මාන ලාභීන්ට සුබ පැතුම් පිරිනැමීමයි.

මානව හිමිකම් සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරු සංගමය පසුගිය වසර 18ට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ එල් ටී ටී ය යන දෙපාර්ශවය විසින්ම කෙරෙන දරුණු මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව වාර්තා ඉදිරිපත් කිරීමේ නියැලී සිටියි. එල් ටී ටී ඊ යේ මරණ තර්ජන හමුවේ රටින් පිටත සිටිමින් රහසේ වැඩ කරන මොවුහු යුද්ධයේ ගොදුරු බවට පත්වී සිටින ළමයින්, ගැහැණුන්, සරණාගතයින් සහ සුළු ජාතීන් ගේ අයිතිවාසිකම් සුරැකීමේ අවශ්‍යතාව ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කරති. කිසිදු පදනමක් යටතේ දේශපාලන අයිතීන් දිනාගැනීම උදෙසා හිංසනය සහ ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වය යොදාගැනීම හෙළා දකින මොවුහු, යුද්ධයේ පාර්ශවකරුවන් නොවන අහංසක ජනතාව, ආණ්ඩුව සහ එල් ටී ටී ඊය විසින් ගොදුරු බවට පත් කිරීමට එරෙහිව සිය විරෝධය තම වාර්තා මගින් ඉදිරිපත් කරති. ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව අපක්ෂපාතී මූලාශ්‍රයක් හැටියට අද UTHR(J) මගින් ඉදිරිපත් කරන වාර්තා ලෝකයේ මානව හිමිකම් සංවිධාන මගින් පිළිගනු ලබයි.

සුනිලා අබේසේකර පර්යේෂිකාවක, උද්ඝෝෂණ ක්‍රියාවලියේ ක්‍රියාකාරිනියක සහ ජාත්‍යන්තර තලයේ දී හඬ නගන්නියක යන අංශ කීපයක් මගින්ම ලංකාවේ පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් තම දායකත්වය ලබා දෙන්නීය. ඇය දීර්ඝ කාලයක පටන් අප රටේ සිවිල් යුද්ධයේ දී සිදුවන දරුණු මානව හිමිකම් කඩවීම් පිළිබඳ සිදුවීම් හඹා යමින්, විමර්ශනය කරමින් ඒවා ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍ය වෙත අනාවරණය කිරීමෙහි යෙදී සිටියි. අතුරුදහන්වීම්, අහිංසක සිවිල වැසියන් ඝාතනය කිරීම්, වධහිංසා පැමිණවීම්, චෝදනා රහිතව අත්අඩංගුවට ගැනීම ආදී සෑම ආකාරයකම මානව හිමිකම් කඩකිරීම්වලට එරෙහිව නොබියව කෑගසන්නීය.

සුනිලා අබේසේකර ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉටු කර ඇති වැඩ කොටසද විශාලය. වෙසෙසින්ම යුද්ධයේ පීඩනයට වැඩිපුරම හසුවන කාන්තාවන් සහ ළමයින්ගේ මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂාකිරීම උදෙසා ඇය පෙනී සිටින්නීය. ඇය සිංහල මෙන්ම දෙමළ ප්‍රජාවන් අතර එකසේ විශ්වාසය දිනාගත් උද්යෝගිමත්, ක්‍රියාකාරිනියකි.

විකල්ප වෙනුවෙන් අපි රාජන් හූල් සහ කෝපාලසිංගම් යන මහත්වරුන්ටත්, සුනිලා අබේසේකර මහත්මියටත් ප්‍රණාමය පුද කරමු.

ඊයේ උත්සවය සම්බන්ධයෙන් සුනිලා අබේසේකර මහත්මිය විකල්ප වෙත දැක්වූ අදහස් ඉහත වීඩියෝ පටයේ දැක්වේ.