ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙහි සරලම අර්ථය වන්නේ ප්‍රජාවක් විසින්, ප්‍රජාවෙහි සුභසිද්ධිය තකා, එහි බහුතර කැමැත්තට අනුව පත්කරගනු ලබන පාලන තන්ත්‍රය යන්නයි. මේ නිසා, ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ තමන් බලයට පත් කිරීමේදී බහුතර පුරවැසි පිරිස තැබූ විශ්වාසය සහ බලාපොරොත්තු වෙනුවෙන් වගවීමේ බැඳීමක් නියත වශයෙන්ම පාලක කණ්ඩායමට තිබේ. නමුත් ලංකාවේ තත්ත්වය මීට ඉඳුරාම වෙනස්ය. මේ තත්ත්වයෙහි කණගාටුදායකම ප්‍රවණතා ඉස්මතු වන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ නව යුගයක් ආරම්භ කළ හැකි වනු ඇති බවට අප බහුතරය පිළිගත් ජනවාරි 08 (දැනටමත් පුස් කා අවසන්) ගැන සිතන විටය. නිහීන මර්ධක රෙජීමයක් ගැන ඇති වූ නොනිමි කළකිරීම හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ පොදු විපක්ෂ කණ්ඩායම වටා බොහෝ පිරිස් රොද බැන්දේ යහපාලනය ආණ්ඩුව බලයට ගෙන ඒමටත් වඩා මහින්ද රෙජීමය පරාජය කිරීම එවක කාලීන අවශ්‍යතාව බව අපට වැටහුණු හෙයිනි. මේ අතරම, වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පොදු විපක්ෂ කණ්ඩායමද මහින්ද රෙජීමයේ දූෂිතකම හුවා දක්වමින් ඊට වඩා සහමුලින්ම වෙනස්, සංහිඳියාව අගයන සමාජයක් නිර්මාණය කරන බවට නොනවත්වාම පොරොන්දු දුන්නේය. නමුත් මහින්ද රෙජීමයේ නිසග අංගයක් වූ ආගමික ආන්තවාදය මත පදනම් වූ ම්ලේච්ඡ ජාතිවාදය මුලිනුපුටා දැමීම කෙසේ වෙතත්, අඩුම තරමින් එය සැලකිය යුතු මට්ටමින් පාලනය කරන්නටවත් වත්මන් පාලකයන් සමත් වූයේ නැත. සිදුව ඇත්තේ ඒ වෙනුවට ඔවුන්ට ඍජුව හා වක්‍රව අනුබල දීමය. මහින්ද රෙජීමයෙන් අනේක වාරයක් බැට කා හෙම්බත්ව සිටි සුළුතර කණ්ඩායම් තුළ පවතින ඉච්ඡාභංගත්වය තවදුරටත් වැඩි කිරීමට මෙම ක්‍රියාකලාපය හේතු වී ඇත.

ගලගොඩ අත්තේ ඥානසාර, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස වැනි සිවුරු පොරවාගත් මදාවියන්ගේ කැරැට්ටුව රටම දනී. ඔවුන්ගේ හක්කේ බුදුරැස් වුණාට බොක්කේ දඩමස් බවත් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. මේ අය තම අවිචාරවත් අන්ධ අනුගාමික රැළ දක්කාගෙන පාරට බසින්නේ බුද්ධාගම රැක ගැනීම වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වැදීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව මවා පෙන්වමිනි. ලොව අවිහිංසාවාදීම දුලභ දර්ශනයක් වන බුදුදහම හඳුන්වා දුන් ගෞතම බුදුන් ජීවත් වූ භාරතයේ එකිනෙකට වෙනස් ආගමික දර්ශන රැසක් පැවැතියද තම පැවැත්ම වෙනුවෙන් අන් ආගම් විනාශ කර දැමිය යුතු බවට බුදුන්වහන්සේ දායකයන් කුලප්පු කළේ නැත. එසේම, අහවල් ආගමෙන් බුද්ධාගමට තර්ජන ඇති බවටත්, එහෙයින් එය හෙළා දැකිය යුතු බවටත් කිසිදු මැසිවිල්ලක් උන්වහන්සේ නැගූ බවක් අප අසාද නැත. එහෙත් මේ සිවුරු හොරුන්ට ඒ ඇඟේ අමාරුව රතු කට්ට පනින තුරුම තිබේ. ඔවුන් ඒ සඳහා තෝරා ගන්නා මග අන්‍ය ආගමික හා වාර්ගික කණ්ඩායම් බරපතල නින්දා අපහාසවලටත්, තර්ජනවලටත් ලක් කිරීමයි. කණගාටුවට කාරණය නම් ඥානසාරලාගේ මේ අශිෂ්ටාචාරවත් හැසිරීම බුදු දහමේ මූලික ඉගැන්වීම්වලට පවා පටහැනි, බුදු දහම නිග්‍රහයට ලක් කරන සුළු එකක් බව හොඳින්ම දන්නා බෞද්ධ සමාජය පවා “හැසිරෙන විදිහ වැරැදියි, නමුත් බුද්ධාගම වෙනුවෙන් කතා කරන්නත් කවුරු හරි ඉන්න එපායැ” යන අමණ සාමාන්‍යකරණයට එළැඹීමයි. අප පිළිගන්නා පරිදි බුද්ධාගම ගැන අමුතුවෙන් කතා කරන්නට දෙයක් බුදුන්වහන්සේ ඉතුරු කොට නොමැත. කියන්නට ඕනෑ හරිය උන්වහන්සේ බෞද්ධයාට කියා දී ඇත. කළ යුත්තේ බුද්ධාගම මොඩිෆයි කිරීම හෝ රීමික්ස් කිරීම නොව අනුගමනය කිරීමය. ජාතිවාදී සුනඛයන් වහාම බැඳ නොතබා එසේ කළ හැකිද?

සුළුතර කණ්ඩායම් පාගා දැමිය යුතු බවට මරහඬ තරමින් ඥානසාරලා ඇතුළු බොරු සෝබනකාරයින් ඉභවටක් සිවුරු ඔසවාගෙන කඩා පනින්නේ නිකම් නොව පොලීසියද බලා සිටියදීම වීම මේ කළකිරීම දෙගුණ තෙගුණ කරවයි. මෑතකදී තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමේ වරදට මඩකලපුවේ දමිළ ග්‍රාම නිලධාරීවරයෙකු මරා දමන බවට ප්‍රසිද්ධියේම තර්ජනය කරමින් තවත් චීවරධාරියෙකු යකා නැටුවේ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඉදිරිපිට වුවද, සිවිල් පුරවැසියන්ගේ ඔළු පලන නල්ලමලේ පොලීසිය මීක් කීවේ නැති බවට වීඩියෝ සාක්ෂි අප සතුව ඇත. ඥානසාරද මීට පෙර වතාවක මහියංගනය ප්‍රදේශයේදී තවත් අලුත්ගමක් ඇති කිරීමට තමන් සූදානම් බවට පාරම්බෑ නමුදු එවැනි සිදුවීම් මේ ඊනියා “ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී” කොදෙව්වේ යට යන්නේ මුහුදු රළ පරිද්දෙනි. ආණ්ඩුවත්, පොලීසියත් ප්‍රකට කරන මේ දේශපාලනික බෙලහීනතාවයෙහි ප්‍රතිඵලයක් ලෙස නුදුරේම පාතාල ලෝකයේ නිල ඇදුමක් බවට බුද්ධ චීවරය පත් වීමට ඉඩ ඇති බව මේ සැදැහැති උප්පැන්නසහතික බෞද්ධයන්ට කල්පනා නොවන්නේ මන්ද?

මෑත දිනෙක ඥානසාර අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක් වට කරගත් ඔහු ප්‍රමුඛ මැරයින් රැළ හැසිරුණු ආකාරයම නීතිය ගැන ඔවුන් දක්වන සැලකිල්ල තේරුම් ගැනීමට ප්‍රමාණවත් ය. සමාජ මාධ්‍යවල ජනපතිගේ හා අගමැතිගේ ඡායාරූප සංස්කරණය කරමින් පළ කිරීම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් වරදක් ලෙස තකන අයට අදාළ සිදුවීමේදී ඥානසාර රටේ අගමැතිට “පො…යා” යැයි අපහාස කිරීම නෑසී ඇති සෙයකි. නීතිය හා සාමය ආරක්ෂා කිරීම පැත්තකින් තබා පොලීසිය දැනටමත් එකම භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කරන්නට සමත් වූ පූජිත් ජයසුන්දරගේ බෞද්ධකම බරපතල ලෙස අභියෝගයට ලක් වන්නේ මෙවැනි තැන්වල බවද නොකියාම බැරිය.

මේ වන විට රටේ අපදා තත්ත්වයක් හටගෙන තිබීමද ඥානසාරලාගේ පැත්තෙන් වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයද? කියා අපට අසන්නට හිතෙන්නේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන සැටි හොඳින්ම දන්නා හෙයිනි. මේ ගංවතුර ව්‍යසන අස්සේ ඥානසාර හොයාගෙන අත්අඩංගුවට ගැනීම පොලීසියට අමතක වන්නටද බැරි නැත. අනෙක් අතට, අත්අඩංගුවට ගන්නවා නම් එසේ කළ යුතුව තිබුණේද අදක ඊයෙක නොවේ. මේ නිසා පූජිත්ගේ පොලීසියට අපට කියන්නට ඇත්තේ ගහ දන්නා අපට කොළ කඩාපාන්නට එපා කියා පමණි. මීට පෙර ඔහුව අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායම නැවත හරවා යැවූයේද පොලිස්පතිම බවට ඇතැම් පුවත් මගින් වාර්තා වේ. ඥානසාරගේ හැංගීම යනු පිදුරු ගොඩට ඉඳිකටුවක් වැටීමට සමාන වන්නක්ද? ගංවතුර ව්‍යසනයට අප සියලු දෙනා මුහුණ දිය යුතුය. මේ තත්ත්වයෙන් ගොඩ ඒමටත්, විපතට පත් සහෝදර ජනයා වෙනුවෙන් සහන සැලසීමටත් යුහුසුළුව කටයුතු කල යුතුය. එහෙත්, දීර්ඝ කාලීන ප්‍රතිඵල දෙස බලන විට නිසැක වශයෙන්ම පෙනී යන්නේ ඥානසාරලා වැනි ජාතිවාදී සූචි කඳු මීතොටමුල්ල වැනි කුණු කඳු සහ ගංවතුර වැනි ස්වභාවික ආපදාවන්ට වඩා භයානක බවයි. මේ නිසා, ඔහුට ගංවතුරෙන් ගොඩ යාමට ඉඩ නොදීම පොලීසියේ දැඩි වගකීමක් බව අවධාරණය විය යුතුය.

අශාන් වීරසිංහ | Aashan Weerasinghe