වත්මන් ඉන්දීය අගමැතිවරයා තම පරිපාලනයේ වසර තුනක් සම්පූර්ණ කරනු ලැබුවේ පසුගිදාය. ගෙවීගිය වසර තුනක කාලය තුළදී මෝදී පරිපාලනය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ලබාගත් දෑ බොහෝ වේ. ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ යහපාලන ආණ්ඩුව කළයුතු කටයුතු රාශියක් ක්‍රමිකව අත්හැර දමා ජනතාව අතර ක්‍රමිකව ප්‍රතික්ෂේප වීමට ලක්වී තිබේ. එය අවාසනාවන්ත කාරණයකි. මෝදීගේ වසර තුන තුළදී ඉන්දීය දේශපාලනය මෙරට සිදුකළ දේශපාලන මැදිහත්වීම සුළුපටු නොවේ.

වරක් නරේන්ද්‍ර මෝදී මෙසේ කිව්වේය. “ඇමෙරිකානුවන් මෙහෙට එන්න වීසා ගන්න පෝලිමේ ඉන්න තත්වයට මම ඉන්දියාව ආශ්චර්යමත් කරන්නෙමි”. දකුණු ආසියාවේ දේශපාලන ප්‍රවණතාවය තුළ ව්‍යාකූල කොට අර්ථ ශූන්‍ය කරනු ලැබූ භාෂාවට විශාල බලපෑමක් කළහැකි බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. ආශ්චර්යමත් ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආසියාවේ ආශ්චර්යය ආදී “හීන” හෙවත් රටේ ජනතාව රැවටීම සඳහා ලබා දෙනු ලැබූ කැරට් අල ප්‍රමාණය විශාල බව කවුරුත් දන්නා කාරණයකි. මෝදී යනු මනුෂ්‍යය ඝාතන වලට වගකිව යුත්තෙකු ලෙස නම්කරමින් ඇමෙරිකාවට යෑම තහනම් කරතිබූ දේශපාලනඥයෙකි.

ඉන්දීය අග්‍රාමාත්‍යය මෝදී තුළ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නමැති දේශපාලන “සංසිද්ධිය” සිටින්නේ වඩාත් ගැඹුරු සහ ශක්ත්මති ස්වභාවයකිනි. රාජපක්ෂ මහතාගේ අත්වැරදී වලින් මනා ලෙස ඉගෙන ගැනීමට මෙන්ම ඇතැම් ගුණාංග වඩාත් සූක්‍ෂම ලෙස භාවිතා කිරීමට මෝදී වඩාත් යුහුසුළුව කටයුතු කළ ආකාරය පසුගිය කාලය පුරාම දකන්ට ලැබුණු කාරණයකි.

මෝදීගේ සිහිනය වඩාත් සංකීරණ සිහිනයක් සේම එය දකණු ආසියාවේ දේශපාලනයට නව කියවීමක් ලබා දී තිබේ. පළමුව ගුජරාට් ප්‍රාන්තයේ මහඇමති ලෙස හඳුන්වා දෙනු ලැබූ “ගුජරාට් මොඩලය” පසුව තම ප්‍රචාරණ කලාව ඔස්සේ රටේම බලය ඇල්ලීම සඳහා භාවිතා කළේය. මෝදී භාරතීය ජනතා පක්ෂයේ බලය අල්ලා ගන්නා තෙක් කිසිවෙකු ඔහුගේ ගමන මෙතරම් දීර්ඝ වනු ඇතැයි සිතුවේ නැත. ඇතැම් සාම්ප්‍රදායික බලකඳවුරු මෝදී දකින සිහින දවල් හීන වලට බැර කරමින් පක්ෂය තුළ ඔහුගේ නැගීම අඩු තක්සේරුවෙන් මනිනු ලැබූ අවස්ථා අවම නැත. මෙහි එක්තරා මූලික නිදසුනක් ලෙස, මෝදීගේ නැගීම හමුවේ ලාල් ක්‍රිෂ්ණ අද්වානි මුහුණ දුන් තත්වය ගත හැකිය.

මෝදී යනු අති දක්‍ෂ කථිකයෙකි. ඔහු එය වඩාත් ක්‍රමෝපායිකව තම අභිමතය වෙනුවෙන් භාවිතා කිරීමට දන්නා අයෙකි. එසේම, භාරතීය ජනතා පක්ෂය මෝදී යටතේ වෙනස් වී ඇති ආකාරය සහ රටේ සුළු ජාතීන් අනාරක්ෂිත කොට ඇති ආකාරය අතිශය භායනක තැනකට තල්ලු වී තිබේ.

අනූව දශකයේදී ගුජරාට් හී සිදු වූ මනුෂ්‍යය සංහාරයේ දේශපාලනික අනුග්‍රාහකයා වන මෝදී වසර ගණනාවකට පසු තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කිරීම සඳහා මුස්ලිම් ජනතාව පවා භාවිතා කළ ආකාරය හැදෑරිය යුතු ප්‍රධාන කාරණා වලින් එකකි. මෙය එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂය තුළ ට්‍රම්ප්ගේ නැගීම හෝ පිලිපීනයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ ධූත්‍රේගේ නැගීම වැනි මූලික සිදුවීම සමඟ සංසන්ධනය කිරීමෙන් වඩාත් පෘථුල ලෙස අවබෝධ කරගත හැකිය.

මෝදී පරිපාලනය තුළ ඉන්දු-ලංකා සම්බන්ධතා වලට අදාළව, එක්තරා වැදගත් අවස්ථාවක් ලෙස හින්දු භක්තිකයෙකු වූ අගමැති මෝදී, ජාත්‍යන්තර වෙසක් උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා මෙරටට පැමිණීම සහ එහිදී ඔහු වතුකරයේ දේශපාලන බලයේ ඉන්දීය භූමිකාව ගැන කළ චිත්‍රණය හැඳින්විය හැකිය. ඔහුට වතුකරයේ වෙසෙන මෙරට ජනතාව ඇමතීම සඳහා අවස්ථාව ලබාදීම නොකළ යුතුව තිබූ කාරණයකි. එසේම එම සමස්ථ සිදුවීම හමුවේ වත්මන් ආණ්ඩුව සිදුකළ මැදිහත්වීම ඉතාම කනගාටුදායකය. ඔහුගේ ගමනට සමාන්තරව චීනය විසින් ලංකා ආණ්ඩුවෙන් කළ ඉල්ලීම එනම් චීන සබ්මැරීන මෙරට මුහුදේ බහාලීම සඳහා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. මෙම දේශපාලන ප්‍රවණතාවය තුළ වතුකරයේ දේශපාලනය ගැන ඉතා කෙටි විමසීමක් වැදගත් යැයි සිතේ.

මොදීගේ සංචාරයෙන් පසු දින කිහිපයක් ගත වී ඇත. එසේම, රට ඉතිහාසය තුළ මුහුණ දුන් තවත් එක් ඛේදවාචකයකට මුහුණ දී ඇත. මෙවැනි තත්වයක් හමුවේ මොදීගේ සංචාරය ගැන කෙටියෙන් හෝ කතාකිරීම වැදගත් වන්නේ මොදීගේ දේශපාලනය එපමණකට බරපතළ කාරණයක් වන හෙයිණි. ඒ මෝදී ගැන විමසීමට වඩා වත්මන් ආණ්ඩුව, පෙර ආණ්ඩු මෙන්ම වතුකරයේ දෙමළ ජනතාවගේ දේශපාලන බලය සම්බන්ධයෙන් දරණ දුර්වල කියවීම හේතුවෙනි. ඉන්දීය ආණ්ඩු සහ ඉන්දියාවේ “බුද්ධිමතුන්” විසින් හුවා දක්වන වතුකරයේ ගැටලුව සම්බන්ධයෙන් සිරිමාවෝ ඩයස්-බණඩාරනායක ආණ්ඩුවට මූලික දේශපාලන සහ තුළනාත්මක අවබෝධයක් තිබුණු බව පෙනේ. නමුත් එය අවසානයේදී රටට වාසිවන ආකාරයෙන් විසඳාගැනීමට නොහැකි විය. ඊට විවිධ හේතූ තිබුණි. ඒ හැරෙන්නට මෙම ගැටලුව ඉන්දීය දේශපාලන අභිලාෂයන්ට අනුකූලව හැඩගැසීම සඳහා මෙරට ආණ්ඩුකරණයේ නියැලුණු පිරිස් මූලික වගකීම් වලින් නිදහස් වී කටයුතු කළෝය.

මෙහිදී මතක් කළයුතු මූලික කාරණයක් තිබේ. එනම්, වතුකරයේ ජනතාව යනු රටේ ශ්‍රම සම්පතක් වන අතර එය නිවැරදිව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යය කාරණයකි. එය වෙනත් භාහිර බලවේගයක බූදලයක් නොවන බවයි.

වතුකරයේ දේශපාලනය කොළඹ ආණ්ඩුව ( මධ්‍යයම ආණ්ඩුව) ඉතාම දුර්වල කියවීමක් ලබාදී ඇති කාරණයක් වන්නා සේම කාලාන්තරයක් තිස්සේ අත්හැර දමා ඇති කාරණයකි. මීට එකම හේතුව එහි වෙසෙන “ඉන්දීය සම්බවයක්” සහිත දෙමළ ජනතාව දෙස ආණ්ඩුව දක්වන නියාලු ප්‍රතිපත්තිය හැඳින්විය හැකිය. නමුත්, ආර්ථිකමය වශයෙන් ඉතාම වැදගත් වන තේ නිෂ්පාදනය මූලික කරගනිමින්, කොළඹ ආණ්ඩුව සහ එහි කොටස්කරුවන් කිහිපදෙනෙකු වතුකරයේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් බැල්ම හෙලා කටයුතු කළ බව ඉතිහාසය විසින් හෙළිකරන කාරණයකි.

ඊට සාපේක්ෂව, ඉන්දීය ආණ්ඩු විසින් මෙම ගැටලුවට දේශපාලනික මුහුණුවරක් ලබා දුන්නද; සැබෑව තුළ ඇත්තේ ආර්ථිකමය කාරණයක් බව හැඟෙයි. විශේෂයෙන් මෙරට තේ වෙළඳපොළේ නැගීම සහ බිඳවැටීම පරීක්ෂා කර බැලීමෙන් මෙය අවබෝධකර ගත හැකි එක් ක්‍රමයකි. මෙරට තේ නිෂ්පාදනය යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ශක්තිමත් වෙළඳ භාණ්ඩයකි. එය ඉන්දීය වතුකරුවන්ට ප්‍රභල තරගයක් මෙන්ම පීඩනයක් ලබා දුන් කාරණයක් විය. එම කාරණය මූලික කරගෙන බොහෝ දෑ තිරය පිටුපස සිදුවිය.මෙරට, තේ නිෂ්පාදනයට ඇති වටිනකාම පමණක් නොව ඊට ජනතාවගේ ඇති කැමැත්ත ක්‍රමයෙන් හීන වීම අහම්බෙන් සිදු වූ දෑ නොවේ. ඒ ඔස්සේ එහි ඇති දේශපාලනික වටිනාකමද මධ්‍යම ආණ්ඩුවට ක්‍රමිකව අහිමි වීම ඉතාම බරපතළ කාරණයකි.

මෙම කාරණා වලින් යළි යළිත් ඒත්තු ගන්වනු ලැබූ කාරණය වූයේ ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයට රාජ්‍යය ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍යය වූ බවයි. නිෂ්පාදන භාණ්ඩය වන තේ වලට පමණක් නොව එහි මූලික අවයවය වන කම්කරුවාට අවශ්‍යය මූලික දෑ මෙන්ම ඔවුහු රටේ සම්පතක් ලෙස ගැනීම ඉතාම වැදගත් වේ. ඔවුන්ගේ ජීවිතවල සුරක්ෂිතභාවය සලසාදීම සහ එසේ කොට එහි දේශපාලන බලය තමන්වෙත රඳවාගැනීම ඉතාම වැදගත් වේ.

ඉන්දීය අගමැති මෝදීගේ වතුකරයේ මෙහෙයුම තුළ මතුපිටට නොපෙනෙන කාරණා රාශියක් ඇතිබව අවිවාදිතය. ඉන්දීය නැඹුරුවක් මෙන්ම අධිපත්‍යයක් සහිතව කාලාන්තරයක් තිස්සේ හැඩගැසුණු මෙම මූලික කාරණය තවත් ප්‍රධාන සංදිස්ථානයකට පැමිණ තිබේ. එනම්, මධ්‍යම ආණ්ඩුව මෙවැනි කාරණා ගැන පුළුල් දැක්මකින් කටයුතු කළයුතු කාලය එළඹ තිබේ.

බලයේ සිටින ආණ්ඩුවකට මෙම ජනතාව මූලික කර ගනිමින් ඔවුන්ගේ දේශපාලන බලය සහ ආශිර්වාදය තමන් වෙත රඳවා තබා ගැනීම සඳහා කළ යුතු කුඩා පරිමාණයේ ව්‍යාපෘති හෝ කළ යුතුව ඇත. එය මඟ හරිමින් ඒවායෙහි ඇති වැදගත්කම වෙනත් රටකට හෝ වෙනත් දේශපාලන බලවේගයකට ලබාදීම එතරම් යහපත් කාරණයක් නොවේ. එහි, බරපතළ අවදානම සිතනාවට වඩා බිහිසුණුය.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa