එදා වැඩ ඇරී ආපසු ගෙදර එන ගමන්, ඇඹුල්දෙණිය හන්දියෙන් බසයෙන් බැස, ඉතිරි දුර පයින් ඇවිද යමින් සිටියෙමි. ඒ දිනවල මා සිටියේ දිගින් දිගටම එල්ලවූ තර්ජන හේතුවෙන් ස්ථිර පදිංචි නිවසින් බැහැරව තාවකාලික කුලී නිවසක ය. මගේ එක් අතක ලිපි ගොනුද, බිරිඳට හා දියණියට ගත් මාළුපාන් ගෙඩි දෙක සහිත කවරය අනිත් අතෙහිද විය. පටු අතුරු පාරට හැරී ඉදිරියට යන විට සුදු වෑන් රියක් එහි නතර කර තිබිණි. පාර පටු බැවින් ඉතිරිව තිබුණේ සුළු ඉඩකි. ඒ ඉඩෙන් වෑන් රිය පසු කර යන්නට පය තැබුවා පමණි. ඒ ප්‍රීතිමත්, නිරෝගී මිනිසකු ලෙස මා පොළොව මත තැබූ අවසාන පියවර කිහිපයයි. (2016 ජූනි 5වනදා ‘විකල්ප‘ වෙත ඔහු ලීවේය.)

##

2009 වසරේ ජූනියේ දී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් මාරාන්තික තුවාල සිදු කරමින් වදබන්ධනයට ලක්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා අද(20) කොළඹ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කලේය.

රාජපක්ෂ පාලන කාලයේ සිදු කළ එම අපරාධයේදී පෝද්දල ජයන්ත මහතාට පහරදී ඔහුගේ කකුල් බිද දමමින්, රැවුල සහ හිසකේ කපා, මුව තුළ දමා දරුණු ලෙස වද බන්ධනයට ලක් කර අතරමග දමා ගොස් තිබිණි. මාස ගණනාවක් ප්‍රතිකාර ගැනීමෙන් පසු පෝද්දල ජයන්ත සිය බිරිද සහ දරුවා සමග ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් පිටවීමට සිදුවිය.

නමුත් එම අපාරාධය සිදුවීමෙන් වසර 8ක් ගෙවෙන මේ මොහොත වන විටත් අපරාධකරුවන් හදුනා ගැනීමට බළධාරීන්ට නොහැකි වී තිබේ.

එසේම රාජපක්ෂ පාලනය විසින් එම අපරාධකරුවන් සෙවීම තබා සොයන බවට කිසිදු ලකුණක් වත් පෙන් වීමට සමත් වූයේ නැත. ඒ රාජපක්ෂලාගේ නීතියේ පාලනය පිළිබද තරමය. මාධ්‍ය නිදහස දෝරෙගලා ගිය සැටිය.

එම තත්ත්වය තුළ ‘යහපාලන‘ ආණ්ඩුව යටතේ එම අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව පෝද්දල ජයන්ත විසින් අද පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙවන් අදහසකි. ‘‘පහුගිය කාලේ විවිද තර්ජනයන්ට, පහරකෑම්වලට ලක්වුනු මාධ්‍යවේදීන්ට යහපාලන ආණ්ඩුව විසින් කිසියම් සහන දෙනවා යැයි දැන ගන්න ලබුනා. නමුත් සහන වලට වඩා අවශ්‍ය වන්නේ ඒ අපරාධ සිදුකල අපරාධකරුවන් නීතිය හමුවට පැමිණ වීමයි. සහන දෙන්න වෙන්නෙත් ජනතාවගේ සල්ලිවලින්. ඒ නිසා ඒකට වඩා වැදගත් යුක්තිය ඉෂ්ඨ කරන එක. ඒකයි මම අවුරුදු 8කට පස්සෙත් ඇවිල්ලා මේ වගේ පැමිණිල්ලක් කලේ.‘‘

අද දවසේ සිදුකළ පැමිණීල්ල ගැනද ඔහු මෙසේ කීවේය.

‘අද මගේ ලිඛිත ඉල්ලීම බාර ගත්තා. නමුත් ඒ අය ප්‍රකාශ කලා, පොලිස්පතිතුමාගේ නියෝගයක් නොමැතිව මගේ පරීක්ෂණය ආරම්භ කරන්න අමාරුයි කියලා‘

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා දැක්වූ අදහස් පහත වීඩියෝ සටහනෙන්…

පෝද්දල ජයන්ත මහතා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා ද වන අතර, ජයන්ත මහතා ගේ මාධ්‍ය සගයින් ද මාධ්‍ය සංවිධානවල නියෝජිතයින්ද අද පැමිණීල්ල බාර දෙන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියට පැමිණ සිටියේ ය.



සබැදි සටහන්

සත් වසරකට පෙර, ඒ බිහිසුනු මොහොත…

“මර්වින් කරන්නේ ආණ්ඩුවේ ප්‍රභලයෙකුගේ කොන්තරාත්තුවක්” – පෝද්දල ජයන්ත