ප්‍රිය මිත්‍රවරුණි,

ශ්‍රී ලඞ්කාවේ දේශපාලනය නැවතත් ඉතා නපුරු තැනකට තල්ලු වෙමින් පවතින බව සිහිමත්ව බලන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ යැයි මම විශ්වාස කරමි. නීතිය ක්‍රියාත්මක නොකිරීමත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ අවම කොටසත්, දේශපාලන අවශ්‍යතාවයන් මත බලය ලබාගැනීමේ සහ බලය පවත්වාගැනීමේ අරමුණින්ම පමණක් ක්‍රියාත්මක වීම පසුගිය පත් වූ සෑම ආණ්ඩුවක්ම සිදුකල අයුරු අපි දැක ඇත්තෙමු. වර්ථමාන යහපාලන ආණ්ඩුවද නින්දිත අයුරින් එම මාර්ගයේම ගමන් කරන්නේ, බැටළු හම පොරවාගත් වෘකයන්ම මිස ඔවුන් සැබෑ යහපාලකයන් නොවන බවට සනාථ කරමිනි.

ශ්‍රී ලඞ්කාවේ සිවිල් සමාජය සෑම විටම අසාර්ථක වීම පිලිබද සංවාදයක් මේ වනතුරුත් අප විසින් ගොඩ නඟාගෙන නැත. මේ ඒ පිළිබඳ සාකච්ඡා කරන්නට මොහොතක් නොවේ. ඒ එසේ වුවත් සිවිල් සමාජයක් ගොඩ නැඟෙන්නේ අවම විචාරශීලීත්වයක් හෝ සහිත මිනිසුන්ගේ එක් වීමෙනි. හෝ හඬ අවධි කිරීම තුලය. ඒ අවම අවශ්‍යතාව සපිරූ මිනිසුන් අවශ්‍යතරම් ප්‍රමාණයක් තවමත් අප සතු බව මාගේ විශ්වාසයයි. මේ ලිපිය පෙළගැසෙන්නේ එම පූර්ව නිගමනය තුල සිටය.

ඉතිහාසය පුරා දේශපාලන අසාර්ථකත්වයන්, ආර්ථික අසාර්ථකත්වයන් වසාගැනීමට ඉතිහාසයේ බලයේ සිටි පක්ෂ විසින් ආගමික හෝ ජාතිවාදී ගැටුම් ඇතිකළ බව අපි හොඳාකාරවම දනිමු. එසේම එම අසාර්ථකත්වයට විරුද්ධව ගොඩ නැඟුණු මහජන පීඩනය, තරුණ/තරුණියන්ගේ ආයුධ අතට ගැනීම් දක්වා දුරදිග ගොස් කැරලි සහ සිවිල් යුද්ධයන් බවට පත්වී සිදුවූ විනාශයන් ගේ පුළුටු ගඳ පවා අපේ නාසය පසුකරන්නට තවමත් අපොහොසත් වී තිබේ. ඒ එසේ තිබියදී මේ ගොඩනැඟෙන්නට ඉඩ හැර තිබෙන සිංහල මුස්ලිම් දෙමල ජාතිවාදී බලවේගත්, සයිටම් ප්‍රශ්ණය මුල් කරගත් ශිෂ්‍ය අරගලත් දෙස පුළුල්ව දැකීම අප ආරම්භ කලයුතු වේ. එසේම එම ප්‍රශ්ණ ඉස්මතු කරමින් රටේ ආර්ථික අර්බුධය සහ දූෂණ අක්‍රමිකතා පිලිබඳ නීතිය ක්‍රියාත්මක කිරීම අතපසු කරණ සංවිධානාත්මක වැඩපිළිවෙලක පාලකයන් යෙදී සිටින්නේ ද යන්න පිළිබඳවත් අප සිතා බැලිය යුතුය.

සිවිල් සමාජය

සිවිල් සමාජයට මේ මොහොතේද බාර ධූර කටයුත්තක් පැවරී තිබේ. ඒ ඉදිරියේ පෙනෙන ලේ ගැලීම් නවතාදැමීමට ක්‍රියාකිරීමයි. පවතින ප්‍රශ්ණය පිළිබඳව, අපේ දහස් ගණනක් ක්ෂුද්‍ර විග්‍රහයන් තිබිය හැක. දේශපාලන න්‍යායන්, මානවහිමිකම්, ලිංගිකත්වය, දර්ශනය, ආගම්, සාහිත්‍ය මෙකී නොකී දහසකුත් එකක් ප්‍රවේශයන්ගෙන්, රටේ අර්බුධ දකින මිනිසුන්ගේ හඬ, පළමු අවශ්‍යතාවය ලෙස මිනිසුන්ට ජීවත් වීමට ඉඩදීමට පෙළගැස්විය යුතුව ඇත. එවිට අප නියෝජනය කරන විෂයයට හෝ එම ක්ෂේත්‍රයට අදාළ අරමුණු කුමක් හෝ ජය ජයගෙන එය එක්ව විඳීමට හෝ භාරදීමට, මිනිස් සමාජයක් අපට ඉතිරි වනු ඇත.

දේශපාලඥයන්

දේශපාලනඥයින්යින් මේ මොහොතේ ඇති වගකීම ඔබේ ඊළඟ ඡන්දය ලෙස සිතා සිටී නම් එය ඔබටත් ජනතාවටත් කළහැකි විශාලම හානිය එය බව වටහාගත යුතුවේ. අප සිටින්නේ ශ්‍රී ලඞ්කාව නම් වූ කුඩා දිවයින සතු අවසාන අවස්ථාවේය. ඒ අවස්ථාව අවසාන අවස්ථාව බවට පත්කිරීමට සමත් වූවේත් ඔබමය. ඔබේ අර්බුධය මිනිසුන් දනී. පවත්නා ඡන්ද ක්‍රමය තුල ඔබව මෙතැනට ගෙනාවේ ලෝකය පිළිබඳ පටු දැක්මක් ඇති අවස්ථාවාදීන් සමූහයකි. ඔබ දැන් ඔවුන්ගේ පහනෙහි සිරවූ භූතයන් බවට පත්වී ඇත. ඔබලාගේ ඉරණම පිළිබඳ මා කුඩා කල කියවූ පොතක තිබුනා මතකය. සයිමන් නවගත්තේගම ශූරීන් ලියූ හිමාල කන්ද තරණය කල අර්ජුන කුමාරයාගේ කථාව නම් පොත ඔබද කියවන්නේ නම් ඔබ ඉන්නා තත්ත්වයේ බරපතලකම; ඛේදණීය හාස්‍යජනක බව තේරුම්ගත හැකිවනු ඇත. එසේම, බහුතරයක් ඔබලාගේ උත්කෘෂ්ඨ අරමුණු, ඉතා ඕලාරික වූ, වසර කිහිපයකින් දිරායන වාහනවල සිර වී තිබීම කණගාටුදායකය. ඔබට පුරාවෘත බවට පත්වියහැක. මහත්මාගන්ධි, නෙල්සන් මැන්ඩෙලා ලොව පුරා කථාකරණ ගරු කරණ මිනිසුන්ය. ඒ, ඔවුන් පුද්ගලික පටු අරමුණු ඉක්මවා සිතීමට තරම් පෞර්ෂයකින්, ආත්ම අභිමානයකින්, ආත්මගරුත්වයකින් යුතු වූවන් නිසාවෙනි. ඔබලා කෙරෙහි අපට ඇත්තේ අනුකම්පාවකි. ඔබලා ගිරාපෝතක ජාතකයේ සොරුන්ගේ ගොඩට වැටුණු ගිරාපැටියාට සිදුවූ දේ, සිදුවූ අහිංසක මිනිස් රැලකි. එහෙත් පාදඩ අදහස් ඇති මිනිසුන්ගේ පහන් වල භූතයන් නොවී අභිමානවත්, ආත්මගරුත්වයකින් සහ පෞර්ෂයකින් යුතු ජාතික ජාත්‍යන්තර දේශපාලන චරිතයක් වීමේ අවස්ථාව ඔබේ දොරකඩ පෙරමඟ සෑම උදෑසනකම බලාසිටින බව අමතක නොකළ යුතුය. එහි අරුත ඔවුන් අනුකරණය කිරීම නොව ඔවුන් ඒ සඳහා යොදාගත් වටිනාකම් ගැන දැණුවත්ව, අපට අනන්‍ය වන වටිනාකම්, ප්‍රතිපත්ති සහ චර්යාවන් ගොඩනඟා ගැනීම විනා එම ක්‍රමවේදයන් අනුකරණය කිරීම හදිස්සි නොවීම බව තේරුම් ගැනීමද වැදගත් වේ. ඔවුන් මහාපුරුෂයන් බවට පත්වී තිබෙන්නේ තම ප්‍රජාව කුමක්දැයි ඔවුන් දැනසිටි බැවිනි. ඔවුන් සිටින්නේ කොතැනද, ඔවුන්ට අවශ්‍ය කුමක්ද නොව ඔවුන් ගෙනයායුත්තේ කොහි සිට කොතැනටදැයි දකින්නට තරම් බුද්ධිමත් බවකින් ඔවුන් යුක්ත වීමයි. ඔබව ඉක්මවා සිතන්නට ඔබ සූදානම් විය යුතුය.

මාධ්‍ය විජ්ජා

මා කුඩාකල අම්මා ඉතිරි බත් අව්වෙහි වේලා ඉඳහිට සවසට තේ බොන්නට අග්ගලා හැදුවා මතකය. අප මේසයේ වාඩි වී අපේ පිඟන් මත තැබූ අග්ගලා කන විට ලොකු අයියා අර බලන්න අර! කියා වෙන අතකට ඇඟිලි දික්කරයි. ඔහුගේ මුහුණේ තිබෙන කුතුහලය, බිය මිශ්‍ර ස්වභාවය විසින් අපේ අවධානය ඔහු ඇඟිල්ල දිගු කරණ දිශාවට යොමුවන්නේ නිතැතිනි. එහෙත් ඒ අපේ අග්ගලා අතුරුදහන් කිරීමට සිදුකල උපායක් බව තේරෙන විට අපිට බොහෝ අග්ගලා අහිමි වී අවසානය.

පසුව අප එය අවබෝධ කරගත් පසුව අයියාට අපේ අග්ගලා සොරකම් කරන්නට නොහැකිවිය. ඔහු ඒ වෙනුවට අපට ක්‍රීඩාවක් හඳුන්වා දුන්නේය. ඒ ලයිට් ගියා-ලයිට් ආවා නමැති ක්‍රීඩාවයි. ඔහු ලයිට් ගියා යැයි කියනවිට අපි ඇස් වසා ගතයුතුය. ලයිට් ආවා යැයි කියනවිට අපි ඇස් ඇරිය යුතුවේ. මෙයින් අපි අතිමහත් විනෝදයක් ලැබුවෙමු. එහෙත් එම විනෝදය බොහෝකල් විඳීමට අපට නොහැකිවූයේ අපට නැවත අග්ගලා අහිමිවන බව අවබෝධ වුන පසුයි.

ජනතාවට කිසිම හිමිකමක් නැති, මුදලාලිලාට සහ දේශපාලකයන්ට පමණක් අයිති, අපේ රටේ ජන මාධ්‍ය භාවිතාවත් කුඩාකල අපේ ලොකු අයියා සිහි කරයි. විටින් විට අපේ අවධානය වෙනාතකට යොමුකරමින් රටේ ප්‍රධාන ප්‍රශ්ණ අපේ සංවාද වලින් ඉවත් කරන අපේ ජනමාධ්‍ය ආයතන ප්‍රජාවගේ ආවේග නිල මිරිකමින් ඔවුන්ගේ ප්‍රධාන ගැටළු අමතක කිරීමට කටයුතු කරයි. රටේ වැදගත් තීරණ කල් දැමීම්, ඩීල් දැමීම් ඈ මෙකී නොකී ජනතාවට අයහපත් වන තීරණ ගැනීම් සඳහා ඔවුන් භාවිතා කරණ ළමා සූත්‍රය එයයි.

පෝය දවසට බාර් අරින්න කථා කිරීම වැනි කථා කියන මුදල් සහ ජනමාධ්‍ය ඇමතිද මේ දවස් වල රඟපාන්නේ එහෙම භූමිකාවක්දැයි එතුමාගෙන් මම අසමි.

මෙය අපේ සිවිල් සමාජයටද නොතේරෙන්නේ ඔවුන් අපේ අධ්‍යාපනයේ අග්‍රඵල බැවිනි.

තමන් ඉගෙනගන්නා තොරතුරු වල නිරවද්‍යතාව සෙවීම, ප්‍රශ්ණ කිරීම වක්‍රාකාරව තහනම් කල අධ්‍යාපන ක්‍රමයක, ඉගැන්වූ දැනුමෙන් ඕනෑම ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීම අධ්‍යාපනයේ පරමෝත්කෘෂ්ඨය කරගත් හපන්නුන් අපේ උගතුන්ගේ කණ්ඩායමේ බහුලය. ඔවුන්ට ලබාදෙන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දිය හැකිය. එසේම මුලින් “පහසු” පැනයන්ට පිළිතුරු සැපයීමේ ප්‍රමුඛතාව අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ඔවුහු ලද දායාදයෝය. සමහර විට සියුම් නුමුත් මහා ප්‍රවාදයන්ද ඔවුන් දනී.

දන්නා ප්‍රවාද මොනවා උනත් වැරදියට අසන ප්‍රශ්නයකට උවත් උත්තර එම ප්‍රවාදයන් හරහා සොයාගැනීමේ අරුම පුදුම හැකියාවක් ඔවුන් සතුය. ඔවුන් ඔබලාගේ ප්‍රශ්ණය වැරදියි, නැත්නම් ඔබේ තොරතුර වැරදියි කීමට වඩා ඒ සමඟ තමන්ගේ ප්‍රවාදයන් ගලපමින් කපටි පාදඩ අදහස් ඇති මිනිසුන්ගේ උපායන්ට හසුවී, වෙනත් ලොවක ජීවත්වේ. රටේ සැබෑ අර්බුධ හඳුනා ගැනීම සහ රටට හෙලිකිරීමට ඔබත් ඔබේ ශිෂ්‍ය ප්‍රජාවත් ක්‍රියාකල යුතුය.

ඒවා කෙසේ හෝ වේවා, අප හැමදෙනා “අපේ ලොකු අයියලාගේ” ගැට හඳුනාගන්නාතෙක්, අග්ගලා පමණක් නොව ඔබේත් අපේත් ශරීර මධ්‍යයේ තිබෙන වෙනත් වටකුරු ශරීර කොටස්ද ඔවුන් ගලවාගන්නාතුරුත්, නොදැණුවත්කමින් ලයිට් එන තෙක් බලා සිටි ළදරුවන් මෙන්, හඬ හඬා, ලෙයෙහි කඳුළෙහි ගිලෙමින් සිටින්නට සිදුවන කාලයක් ඉක්මණින්ම උදාවන බව කණගාටුවෙන් වුවද සිතීමට අපට සිදුවී තිබේ.

මේඝවණ්ණ ගුරුගේ