Image by: huffingtonpost

අලුත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡාව ඇරඹුනේ 2015 වසරේදීය. ඉන්පසු ඒ සදහා මහජන අදහස් විමසමින් නීතිඥ ලාල් විජේනායක මහතාගේ සභාපතීත්වයෙන් වූ කමිටුව රට වටා ගොස් ඒ මහජන අදහස් එකතු කළේය. ඒ එකතුකල අදහස් වාර්තාවක් බවට පත් කරමින් සමාජය තුළට මුදා හැරියේය. එහි අන්තර්ගතයේ බොහෝ තැන්වල අගනා යෝජනා ඇතුලත්ය. නමුත් ඒ පිළිබද ආණ්ඩුවේ හෝ සිවිල් සමාජයේ වර්ධනීය මට්ටමේ සාකච්ඡාවන් ඒතරම් ප්‍රභල අන්දමින් මතු වූයේ නැත.

ඒ අතර තුර ත්‍රෛයිනිකායික මහානායක හිමිවරුන් එ් පිළිබද සිය අදහස් ඉදිරිපත් කළේ මහා විනාශයක් වෙන්න යනවා යැයි කියමිනි. ඒ පිළිබද යෝජනා ද ජනාධිපතිවරයා වෙත බාර දුන්න බව වාර්තා විය.

ඒ හාංදුරුවන්ගේ මූලික අදහස වූයේ 1978 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හදුන්වාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් නොකල යුතු බවත් සහ කොහෙත්ම ‘අලුත් ව්‍යවස්ථාවක් එපා‘ යැයි කියමිනි.

එසේ කියු හාංදුරුවන්ට පවතින 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම වැදගත්ම කරුණු කිහිපයක් මතු කර පෙන්වමි.

ජීවිතයට ඇති අයිතිය.

හාංදුරුවනේ, පවතින ව්‍යවස්ථාවෙන් ලංකාවේ මිනිසුන්ට ‘ජීවිතයට ඇති අයිතිය‘ පිළිගන්නේ නැත. ඒ නිසා ඉදිරියේදී නිර්මාණය කර ගන්නා ‘අලුත් ව්‍යවස්ථාවක්‘ තුලින් ඔබට ද දානය සපයන, සිවුරු සපයන මිනිසුන්ට සේම අනිකුත් මිනිසුන්ගේ ද ‘ජීවිතයට ඇති අයිතිය‘ තහවරු කරන අලුත් ව්‍යවස්ථාවක් බුද්ධ පුත්‍රයන් වූ ඔබ වහන්සේලාට ප්‍රතික්ෂේප කළ හැකිද? ඔබ වහන්සේලා එය ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔබ නියෝජනය කරන්නේ බුදුන් වහන්සේ නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

හාංදුරුවනේ අනෙක නම්, අලුත් ව්‍යවස්ථාවක් තුළින්, අධ්‍යාපනයට, සෞඛ්‍යට
වැනි වැදගත්ම දේවල්වලට ඇති අයිතිය තහවරු කරන්නේ නම් ඔබ වහන්සේලාට පුලුවන්ද එය ප්‍රතික්ෂේප කරන්න? ඔබ වහන්සේලා ඔය දෙසාබාන ‘අලුත් ව්‍යවස්ථාවක් එපා‘ කියන එකත් පරණ එක හොදා කියන එකෙත් තර්කය කුමක් දැයි වහාම ඔබේ දායකයන්ට පැහැදිලි කරන්න. ඒ කුමක් නිසාය යත් ඉහතින් සදහන් කළ ජීවිතයට ඇති අයිතියත්, අධ්‍යාපනයට ඇති අයිතියත්, සෞඛ්‍යට ඇති අයිතියත්, රැක ගන්නවා යැයි කියන ඔය 1978 ව්‍යවස්ථාවෙන් පිළිඅරගන නැත. දන්නේ නැති නම් කරුණාකර දායකයෙකුට කියා එම ව්‍යවස්ථාව ගෙන්වා කියවා බලන ලෙස ගෞරවයෙන් ඉල්ලමි.

එසේ ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අන් කිසිවක් නිසා නොව, අඩුම තරමේ ඇති වී ඇති මේ ‘අවස්ථාවේ’ අවම වශයෙන් ජීවිතයට ඇති අයිතිය ව්‍යවස්ථාවෙන් පිළිගන්නා අලුත් ව්‍යවස්ථාවක් ඔබලාට අවශ්‍ය වුනේ නැති උනාට මේ රටේ පුරවැසියන්ට අවශ්‍යව ඇති බැවිනි. එැබැවින් රාජපක්ෂලාගේ බණ අසා ඔබ වහන්සේලා මේ සිදුකරන ව්‍යාකූලතාවයෙන් අරබුදයට ලක්වන්නේ ඒ ‘පුරවැසි’ අවශ්‍යතාවයයි.

ඒ නිසා අඩුම තරමින් ව්‍යවස්ථාව කියවා ගැනීමට හෝ එයට වෙලාවක් නැතිනම් කරුණාකර බණ ටිකක් කියාගෙන, පංසලට වී සිටීමෙන් මතු බවයේ හෝ ඔබ වහන්සේලා බුදුන් දැක නිවන් දකින්නට ඒ පිනම හේතු වාසනා වනවා ඇත.

(නමුත් යහපාලන ආණඩුවත් කොලේ වහලා පවතින ව්‍යවස්ථාවටත් වඩා අගතිගාමී ව්‍යවස්ථාවක් යෝජනා කළහොත් එයට විරුද්ධව ද මේ රටේ පුරවැසියන් වීදි බසින බවද පසක් කල යුතුය)