Image By: GattyImage/ theverge.com

ජනාධිපති සිරිසේන දැන් සිය දේශපාලන ජීවිතයේ තීරණාත්මකම අභියෝගයට මුහුණ දෙයි. ජනාධිපති රාජපක්ෂ පරාජය කර මෙරට ගමන් කරමින් තිබූ දූෂණයේ සහ භීෂණයේ පවුල් ඒකාධිපතිත්වයෙන් මෙරට නිදහස් කර ගත් දේශපාලන හවුල බිදී විසිරී යෑම, එය කුමන අවස්ථාවකදී සිදු වුවත් දැන් ස්ථිරය.

එම පෙරළියට නොබා නායකත්වය දුන් මෛත්‍රීපාල සිරිසේන දැන් මුහුණ දෙන්නේ ගෙදර ගියොත් අඹු නසී ; මඟ සිටියොත් තෝ නසී! වැනි උභතෝකෝටිකයකටය. පසුගිය සති අන්ත පුවත්පත් බොහොමයකම දේශපාලන ලියුම්කරුවන් ජනාධිපති සිරිසේන විසින් අගමැති වික්රමසිංහට එල්ල කරන ලද බරපතල චෝදනා පිළිබදව වාර්තා කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂය තනිව ගමන් කිරීමට ලැහැස්ති වෙයි. 2020 ජනාධිපතිවරණයෙහිදී රනිල් වික්‍රමසිංහ එජාප අපේක්ෂකයා වශයෙන් තරඟ කිරීමට දැන්ම සිට ලැහැස්තිය. එජාප ලේකම්වරයා කියන්නේ හෙට වුවත් එජාප ආණ්ඩුවත් පිහිටුවීමට තමන් සූදානම් බවයි. ජනාධිපති සිරිසේන වෙනුවෙන් දේශපාලන අවදානම් නොසළකා ඔහු සමඟ එක්වූ මහින්ද සමරසිංහ කියන්නේ කව්රු මොනවා කීවත් 2020 ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන බවයි. රාජපක්ෂවරැන්ට තවම පෙනෙන තෙක් මානයක ජනාධිපති අපේක්ෂකයකු නැත.

වර්ධනය වන මෙම දේශපාලන තත්වයෙහි තීරණාත්මක ස්ථාවර සහ විචල්‍ය සාධක කිහිපයක් වෙයි. එජාප – ශ්‍රීලනිප සභාගයට කුමක් සිදුවිය හැකි දැයි විමසා බැලීමට එකී සාධක දෙස බැලීම අත්‍යවශ්‍යය.

මෛත්‍රීපාල සිරිසේන 2020 වන තුරු ජනාධිපති සහ ආණ්ඩුවේ නායකයාය. එමෙන්ම 2020 වන තුරුම ආණ්ඩුව විසුරුවා හැරීමට ඔහුට නොහැකිය. වත්මන් බල තුලනය යටතේ ශ්‍රීලනිපය සහ එහි හවුල්කරුවන්ට රාජපක්ෂ සමඟ එක් වුවත් පාර්ලිමේන්තු බහුතරය ලබා ගත නොහැක. එබැවින් රනිල් වික්‍රමසිංහ ඉදිරි වසර දෙක හමාර තුළද අගමැති ධුරය දරනු ඇත. මෙම සාධක ස්ථාවරය. ප්‍රායෝගික වශයෙන් අද ආණ්ඩුවේ නායකයා රනිල් වික්‍රමසිංහය.

පසුගිය දෙවසරක කාලය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ සම්මුති ආණ්ඩුව පිළිබඳ විශ්වාසය ශ්‍රීලනිප මංත්‍රීවරුන් අතර ඇති කිරීමට සමත්ව නැත. ඔහුගේ රාජ්‍ය පාලනය අධිකාරීවාදීය. ඔහුගේ අගසව්වන් එජාප බැසිල් රාජපක්ෂලාය. දේශපාලනය නව ලිබරල්වාදී උද්දච්චකමය. උපාය මාර්ගික වශයෙන් කෛරාටිකය.

මෙම තත්වය යටතේ ශ්‍රීලනිප මංත්‍රීන්ගේ පමණක් නොව බොහෝ එජාප මංත්‍රීන්ගේ සහ රජ්‍ය නිලධාරීන්ගේ විශ්වාසයවත් දිනා ගැනීමට ඔහු සමත්ව නැත. එබැවින් ආණ්ඩුවෙන් ශ්‍රීලනිපය ඉවත් විය යුතු බවට වන තෙරපුම එන්න එන්නම ඉහළ යයි. එය අද මෙරට දේශපාලනයේ ප්‍රධානතම විචල්‍ය සාධකය වේ. සිරිසේන සමඟ එක්වූ රාජපක්ෂවාදී ශ්‍රීලනිප මංත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙකු හෝ ඉක්මණින්ම යළි රාජපක්ෂ කරා යන බවට දැනටමත් තර්ජනය කරන්නට පටන් ගෙන තිබේ.

අනෙත් අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර බලයක් දිනා ගැනීමට නම් එහි සභාපතිවන මෛත්‍රීපාල සිරිසේන එජාපය සමඟ ඇති දේශපාලන දීගයෙන් ඉවත් විය යුතුය. මෙම තත්වය යටතේ ඔහුට ඇති පහසුම තෝරා ගැනීම නම් එජාපය සමඟ ඇති ආණ්ඩුකරණ සභාගයෙන් ඉවත්වීමය.

නමුත් බොහෝ විට සාමාන්‍ය ජීවිතයෙදී පවා පහසුම තෝරා ගැනීම නිවැරදිම තෝරා ගැනීම වන්නේ නැත.

මෙම අවස්ථාවෙහි එජාපය සමඟ වන සභාගය සිරිසේන විසින් අතහැරිය හොත් රට දේශපාලන වශයෙන් අස්ථාවරවීමටත් ව්‍යවස්ථා සංසෝධන ඇතුළු ප්‍රජාතන්ත්‍රීයකරණ ප්‍රතිසංස්කරණ අඩපණ වීමට ඇති ඉඩ වැඩිය.

එසේ වුවහොත් එහි අපවාදය සෘජුවම සිරිසේන මත පතිත වෙයි. ඔහු 2015 ජනවාරි අපේක්ෂා අත හරින ලද බවට මෙරට සුලුතර ප්‍රජාවන් විසින්ද තීරණය කරනු ඇත. එය දේශපාලන වශයෙන් ඔහුට මාරාන්තිකය.

අනෙත් අතට එවැනි තත්වයක් යටතේ රට පාලනය කිරීමේ තනි බලය එජාපයට ලැබෙයි. රනිල් වික්රමසිංහට සිය දේශපාලන – ආර්ථික න්‍යාය පත්‍රය පෙරට ගෙන යාමට ඉඩ ලැබෙයි. ඉදිරි දෙවසර තුල දකින්නට ඉඩ ඇතැයි පෙනෙන මහා පරිමාණ ව්‍යාපෘති යනාදියේ අයිතිය ද එජාපයටම හිමිවෙයි. එමෙන්ම ජනාධිපති වශයෙන් සිරිසේනගේ බලය ආණ්ඩුව තුළ දුර්වල වෙයි.

රාජපක්ෂගේ දේශපාලන සැළසුම හරියටම එය විය හැකිය. එනම් දේශපාලන වශයෙන් මෛත්‍රීපාල සිරිසේන අනාථ කිරීමයි. එම සැළසුමේ වක්‍ර සහායකයා ලෙස රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ලවීම අරුමයක් නොවේ.

තමන් හැර විපක්ෂය කරා යාමට සූදනම් ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් අඩුම වශයෙන් දෙසැම්බර් 31දා වන තෙක් ආණ්ඩුවේ සිටින්නැයි ආයාචනා කිරීමට සිදුවීමෙන්ම ජනපති සිරිසේන පත්ව සිටින අසරණ තත්වය පැහැදිළි වෙයි. ඔහු ඔවුන්ට කියා සිට ඇත්තේ දෙසැම්බරය වන විට වඩා සාධනීය දේශපාලන වර්ධනයන් ඇතිවනු බවයි.

වසර දෙකහමාරක් තුල ඇති කිරීමට නොහැකි වූ සාර්ථකත්වයන් ඉදිරි මාස පහ තුල දිනා ගැනීම සඳහා ආශ්චර්යන් අවශ්‍යය. එවැනි ආශ්චර්යයන් ඇති කළ හැකි විශ්වකර්මයකු ආණ්ඩුවේ නැත.

සිරිසේන – රනිල් දෙනොම එක සේ වගකිව යුතු ආණ්ඩුවේ ඉබි ගමන වාර්තා තැබිය හැකි එකකි. නිකමට බලන්න:

හම්බන්තොට වරාය නගරය පිළිබඳ චීන – ලංකා ගිවිසුමද දෙවසරක් පුරා ඇදි ඇදී යයි. දූෂණයේ සහ භීෂණයේ රාජකීයන් වූ රාජපක්ෂවරුන්ට එකදු නඩු විභාගයක්වත් ඇරඹී නැත. කුරුණෑගල ෆොක්ස්වැගන් කම්හල, ඉංගිරියේ ටයර් කම්හල, ගූගල් බැලුන් සහ උසස් පෙළ සහ සරසවි සිසු සිසුවියනට පරිගණක ලබා දීම, රැකියා දශ ලක්ෂය ගැන අහන්නටවත් ලැබෙන්නේ නැත. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ණය උගුල 2019 – 2020 වසරයන්හි දී ඉතා උග්‍රවනු ඇති බව මූඩීස් නම් එකී ක්ෂේත්‍රයේ පිළිගත් ආයතනයක් විසින් පෙන්වා දී තිබේ. දෙවසරක් ගතවීත් එයාර් ලංකා දූෂණ පිළිබඳ සකස් කරන ලද වැළිඅමුන වාර්තාව තවම පුස්කයි.

රොශාන් චානක මරණය පිළිබඳ විනිසුරු මහානාම තිලකරත්න වාර්තාව ඉල්ලා සිටි ඔහුගේ මවට ජනාධිපති කාර්යාලය කියා සිටියේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණයක් බැවින් එය නොදිය හැකි බවයි. අවසානයේදී එය ලබා දුන්නේ තොරතුරු කොමිසම විසිනි. එම වාර්තාවෙහි හෝ වැළිකඩ ඝාතන වාර්තාවෙහි හෝ නිර්දේශ ක්‍රියාවට නැගීමට ආණ්ඩුව තවම සූදානමක් නොපෙන්වයි.

පනත සම්මත වී තිබියදීත් අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට අණ්ඩුවට කිසිදු උවමනාවක් නොපෙනේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවම එහෙමමය. දේශපාලන සිරකරුවන් ආණ්ඩුවට අමතක වී තිබේ. පානම වැසියන්ගේ ඉඩම් අයිතිය දයා ගමගේ විසින් පාගාගෙන සිටී. සංක්‍රමණීය යුක්ති ක්‍රියාවළියට අදාළ යාන්ත්‍රණ හතරෙන් එකක්වත් පිහිටුවා නැත. ප්‍රගීත්, ලසන්ත, සිවරාම් සහ තාජුඩීන් යනාදී ඝාතකයින් නිදැල්ලේය.

වත්මන් තත්වයේ බරපතලම සාධකය නම් සමස්ත ආණ්ඩුව සම්බන්ධයෙන්ම වර්ධනය වන අප්‍රසාදය සහ විරෝධයයි. ආණ්ඩුවේ හොඳක් කියන අයකු සොයා ගැනීම නොමළ නිවෙසකින් අබ සෙවීමට වඩා දුෂ්කරය. ආණ්ඩුවේ අසාර්ථකත්වයේ ලාංචන බවට උමා ඔය, සයිටම්, කසළ, ඩෙංඟු, බැදුම්කර මගඩිය යනාදිය පත්ව තිබේ.

ආණ්ඩුකරන සභාගයෙන් ශ්‍රීලනිපය ඉවත් වුව ද මෙම කිසිදු ප්‍රශ්ණයකට විසඳුමක් නොලැබෙනු ඇත. ඇත්ත වශයෙන්ම නම් වත්මන් දේශපාලන අර්බූදයේ හේතුව සිරිසේන – රනිල් ආණ්ඩුකරණයේ අසාර්ථකත්වයයි.

විසඳුම සෙවිය යුත්තේ එයටය. ජනපති සිරිසේනට තෝරා ගත යුත්තේ තමා හමුවෙහි ඇති මාවත් නොව නව මාවතක් නිර්මානය කිරීමයි. එනම්,

ආණ්ඩුකරණය කාර්යක්ෂම කිරීමෙහි ලා ගැඹුරු වෙනසක් ඇති කිරීමට සම්මුතියකට යාමයි. ඔහු සභාගයෙන් ඉවත් විය යුත්තේ වැනි වෙනසකට ඉඩ නැත්නම් පමණි.


සුනන්ද දේශප්‍රිය
| Sunanda Deshapriya