සිංහල, Human Rights, Peace and reconciliation

මඩකළපුවෙන් කොළඹ ඒම

මෙත්සිරි වඩුගේ.

බෝම්බය පිපිරුණේ කැබිතිගොල්ලෑවේ ය. ඒ වෙනුවට කොළඹ දෙමල මිනිස්සු වන්දි ගෙවූයේ දවස් ගණන් පොලිස් කූඩුවල ලැගීමෙන්. කැමැත්තෙන් නොවෙයි අකමැත්තෙන්.

ආණ්ඩුවේ මානව හිමිකම් ඇමැති රටටත් ලෝකයටත් කියා සිටින්නේ ඕනෑම අයෙක් අත් අඩංගුවට ගන්නවා නම් අත් අඩංගුවට ගන්නා ආයතනය විසින් නිල ලිඛිත ලදු පතක් දෙනව කියල යි. ඒත් කොළඹ දෙමල මිනිස්සු අත් අඩංගුවට ගන්න කොට කාටද එහෙම තුණ්ඩු දුන්නෙ? මානව හිමිකම් ඇමැති ඒ ගැන කටක් ඇරල කතා කරාද? දෙමළ දේශපාලන පක්ෂයක් උසාවි යනකං කිසිම සිංහල දේශපාලන පක්ෂයක් උසාවියට වත් ගියා ද? කෝ විපක්ෂෙ ? මේ අපි දෙමළ නිසා නේද කියල දෙමල මිනිස්සු අහන එක වැරදි නැහැ.

මේ පසුගිය දා මඩකලපුවේ ඉඳල කොළඹ කෝච්චියේ ආපු ජනයාට උනේ වෙනම දෙයක්. මිනිස්සු නිදන මැදිරි ගන්නෙ කොළඹ එනකන් නිදා ගන්න. කෝච්චියට නගින කොට පරීක්ෂා කරන නිසා වෙනදා කොළඹ එනකං නිදිය ගන්න නිදහස තිබුණා. ඒත පසුගිය හත්වෙනිදා කෝච්චිය තුන් පලකදී පරීක්ෂා කරේ නිදන මැදිරිවල නිදාගෙන උන්න අතදරුවන් පවා අවදි කරළ. මහ රෑ තුන්පාරකට නැගිට්ටවන කොට මොකට ද නිදන මැදිරි.

ඒ වගේම දෙයක් තමයි නුගේගොඩ බෝම්බෙන් පස්සේ වවුනියාවෙ මිනිස්සුන්ට කරෙත්. නුගේගොඩ බෝම්බෙට පලි ගන්න ආණ්ඩුව කරේ වවුනියා කෝච්චිය මැදවච්ච්යෙන් එහාට නොයවා නතර කරපු එක. කෝච්චියේ යන එන කෙනෙක් දන්නවා මේ වවුනියා කෝච්චියේ කොයි තරම් සෙනඟක් ආව ගියා ද කියළ. දැන් එහෙම වවුනියාවට ආව ගිය ජනයා මැදවච්චිවෙන් බැහැල බස් වල යන්න ද, මැදවච්චියට කෝච්චිය යන කොට මහ රෑ. ඒ වෙලාවට කොයින් ද බස්.

දෙමල මිනිස්සු මේ රටේ මිනිස්සු නොවෙයි ද මෙහෙම අත පල්ලෙන් වැටුන විදියට සළකන්න? ඒ විතරක් නොවෙයි මේ සිද්දි ගැන ලියාපු මොනව හරි ලිපි වාර්තා ඔබ කියෙව්වද? ලියන කෙනෙකුත් නෑ. කතා කරන කෙනෙකුත් නෑ.

එතකොට දෙමල මිනිස්සු අහන ප්‍රශ්නේ තමයි මේවා කාට කියන්න ද කියළ. මහින්ද රාජපක්ෂට ද? වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ද?