Image BY: Colombo Gazette

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඊ-පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමේ උදාර සේවාව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් භාරගෙන ඇත. ඒ අනුව මන්ත්‍රීවරුන්ට නොමිලේ ලැප්ටොප් පරිඝණක ලබා දීම වත්මන් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ බව රටේ බොහෝ මාධ්‍යයන් විසින් වාර්තා කරනු ලැබීය. සැබවින්ම මෙම කාරණයේ ඇති ආරක්ෂක අභියෝග සම්බන්ධයෙන් සැලකිය යුතු කාරණා ගැන කිසිවෙකු හෝ අවධානය යොමු කළ බවක් තවමත් ප්‍රසිද්ධ වී නොමැත. එය මෙරට ජනතා නියෝජිතයින්ට එතරම් වැදගත් නොමැති කාරණයක් ලෙස පෙනේ.

රටේ ඔත්තු සේවා හෝ වෙනත් අංශ මේ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ආකාරය හෝ එම සේවාවල සාමාජිකයින්ට අවශ්‍යය ආකාරයෙන් කටයුතු කිරීමට ලබාදී ඇති නිදහස සම්බන්ධයෙන් බරපතළ ගැටලු ඇත.

විදේශ ඔත්තු සේවයක සේවයකොට විශ්‍රාම ගිය නිලධාරියෙකු පසුගියදා කදිම කාරණයක් ඉදිරිපත් කරනු ලැබුවේ, මේවන විට කොළඹ පවැත්වෙන ආරක්ෂක සමුළුවට සහභාගී වීමට ඔහුට ආරාධනා කොට ඇත්තේද යන්න විමසනු ලැබූ අවස්ථාවකදීය. “ශ්‍රී ලංකාව විෂයානුබද්ධව සිතා කටයුතු කරනු ලබන රටක් ලෙස නොපෙනේ. රටේ හැමදේම දේශපාලනය විතරයි. එවැනි රටක ආරක්ෂක සමුළුවක් යනු හුදු අදහස් ඉදිරිපත්වීමක් සහ මුදල් වියදමක් පමණක් වුවහොත් පුදුමයක් නොවේ”, ඔහුගේ මතය විය. සැබවින්ම සිදුවූ සහ සිදුවෙමින් පවතින බොහෝ දෑ ගැන සැලකීමේදී බොහෝ දෙනෙකුට අවබෝධ වන මූලික කාරණය එයයි.

ඊ-පාර්ලිමේන්තුවෙන්, ඊ වැඩ කිරීමට බලාපොරොත්තු වන ජනතා නියෝජිතයින් සලකා බැලිය යුතු මූලික කාරණය කුමක්ද?

චීනය යනු තොරතුරු තාක්ෂණයට අදාළ නිෂ්පාදන සියල්ලම පාහේ නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන රටය. ඇපල් ඇතුළු බොහෝමයක් තොරතුරු තාක්ෂණයට අදාළ සමාගම් විසින් නිර්මාණය කරනු ලබන බොහෝ නිෂ්පාදන භෞතික වශයෙන් නිපදවනු ලබන්නේ චීනයේදීය. තම නිෂ්පාදන වල ගුණාත්මක බව පිළිබඳව අවස්ථා ගණනාවකදී සොයා බලා එවැනි සමාගම් තම නිෂ්පාදන වෙළඳපොළට ලබා දෙනු ලබයි.

මේ අතර චීනය තම වෙළඳ ප්‍රදර්ශන, මෙන්ම විවිධ මාදිලියේ “ත්‍යාග” ඔස්සේ තම දේශපාලන සහ ආර්ථික අරමුණු දිනා ගැනීම වෙනුවෙන් විවිධ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරනු ලබති. ශ්‍රී ලංකාවේ ඊ-පාර්ලිමේන්තුවට ලබාදුන් පරිඝණක සම්බන්ධයෙන් විමසා බැලිය යුත්තේ එම කාරණයට අදාළව යැයි සිතේ.

අදාළ පරිඝණක භාවිතා කිරීමට පෙර මෙරට සිටින තොරතුරු තාක්ෂණය පිළිබඳව විශේෂඥයින් මාර්ගයෙන් විමසීමට හෝ පරික්ෂාවට ලක් කළේ දැයි නොදනිමු. නමුත් එවැන්නක් සිදු වී නොමැති නම්, මෙම නිකන් දුන්න ත්‍යාග වලින් ප්‍රවේශම් විය යුතු මූලික කාරණයක් ගැන අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

එම්.අයි.5 අනතුරු ඇඟවීම

මීට වසර හතකට පමණ පෙර බ්‍රිතාන්‍යය රාජ්‍යය ඔත්තු සේවය වන එම්.අයි.5 විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ මූලික කාරණයක් විය. එනම් චීනය විසින් නොමිලේ ලබා දෙන පරිඝණක හෝ ඊට අදාළ උපාංග (යු.එස්.බි. පෙන් ආදිය) භාවිතයට ගැනීමෙන් වළකින ලෙසයි. ඊට හේතුව වූයේ, අදාළ උපාංග චීනය තමන්ට අවශ්‍යය ආකාරයෙන් මෙහෙවීමට හැකි ලෙස සකස් කොට තිබීමයි. එම්.අයි.5 විශේෂයෙන් එහිදී අවදාරණය කරනු ලැබුවේ චීනය විසින් නොමිලේ ලබාදෙන යු.එස්.බි. පෙන් සම්බන්ධයෙනි. ඒවායෙහි රහසිගතව ගබඩා කොට ඇති ඛේත (Code) විසින් තවකෙකුගේ පරිඝණකයක ඇති තොරතුරු ක්‍ෂණිකව ලබා ගැනීමට චීනයට හැකි බව එම්.අයි.5 පෙන්වා දුන්නේය. අදාළ තොරතුරු සම්බන්ධයෙන් පිටු 14කින් යුතු වාර්තාවක් “චීන ඔත්තු සේවාවෙන් ඇති තර්ජන” නමැති හිසින් එම්. අයි.5 ප්‍රසිද්ධ කරනු ලැබීය.

මේ හා සමාන පුවතක් හොංග් කොංග් හී වාර්තා වූයේ මීට වසර දෙකකට පමණ ඉහතදීය. එහි සඳහන් වූයේ, චීනය විසින් විශාල වශයෙන් හොංග් කොංග් වෙළඳපොළට සපයන ඉතාම අඩු වටිනාකමින් යුත් යු.එස්.බි. පෙන් භාවිතා කිරීමෙන් පරිඝණකවල ඇති තොරතුරු සියල්ලම චීනය විසින් උකහා ගන්නා බවයි.

චීනය සහ හොංග් කොංග් හී ජීවත් වන බහුතර ජනතාව අතර දේශපාලනික වශයෙන් විශාල විරසකයක් තිබේ. 1997 සිට එනම් චීනය, හොංග් කොංග් පරිපාලනය බ්‍රිතාන්‍යයෙන් ලබා ගත් දිනයේ සිට එම විරසකය මෝදු වෙමින් තිබෙන බව කවුරුත් දන්නා ඉතාම ප්‍රසිද්ධ කාරණයකි. මේ නිසා හැකි උපරිමයෙන් තම ඔත්තු සේවා කටයුතු පුළුල් කිරීම චීනයට අත්‍යවශ්‍යය වේ. ඒ සඳහා භාවිතා කළ හැකි ප්‍රධානතම මෙවලම තාක්ෂණික උපාංගවේ.

වත්මන් දේශපාලන සන්දර්භය තුළ පිළිගත් මූලික කාරණයක් වන්නේ, චීන සමුහාණ්ඩුව, මීට කලකට පෙර ලෝකය තම ග්‍රහණයට නතුකරගෙන සිටි රුසියානු ඔත්තු සේවය වන කේ.ජී.බී. සංවිධානයේ හැකියාවන් වලටත් වඩා ඉතාම ඉදිරියෙන් සිටින බවයි. චීනය, ඇමෙරිකාවට සහ එහි මිත්‍ර පාර්ශවය අභිමුඛව සිටින ප්‍රභලතම අභියෝගය වේ.

මෙම වටපිටාව ඔස්සේ සලකා බැලීමේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඊ-පාර්ලිමේන්තුවක් බවට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින සියලුම ආසන උරුමක්කරුවන්ට නොමිලේ ලබා දුන් පරිඝණක ගැන සඳහන් කිරීමට ඇත්තේ කුමක්ද?

යු.එස්.බි. පෙන් එකකින් කිරීමට නොහැකි බොහෝ දෑ පරිඝණකයක් මුළුමනින්ම ලබා දීමෙන් ඉටුකර ගැනීම ඉතාම පහසු කටයුත්තකි. එහිදී මන්ත්‍රී සහ ඇමතිවරුන් සිදුකරන බොහෝ දෑ නිරීක්ෂණය කිරීමට, පටිගත කිරීමට සහ ගබඩා කරගැනීමට හැකි මූලික වටපිටාව සකස් කර ගැනීමට හැකි තාක්‍ෂණය යනු චීනයට ඉතාම පහසු කටයුත්තකි.

ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවක සංයුතිය සැලකීමේදී මෙම තත්වයෙහි ඇති භයානකකම වටහා ගැනීම අපහසු කටයුත්තක් නොවේ. රටකින් හෝ තානාපති කාර්යාලයකින් ලැබෙන ඕනෑම දෙයක් බදාගෙන රටේ මූලික වශයෙන් ආරක්ෂා කරගත යුතු ප්‍රධාන රාජ්‍යය රහස් ගොන්නට යටත්වන කාරණා වෙනත් රටකට ඉතාම පහසුවෙන් ලබා ගැනීමට හැකි පිරිසක් සිටින නොසැලකිලිමත් නියෝජනයකින් සිදුවිය හැකි දිගුකාලීන හානිය සුළුපටු නොවේ.

න්‍යෂ්ඨික අවිආයුධ වලින් සිදුකරන යුද්ධයකදී සිදුවන හානිය ගැන පොදු අවබෝධයක් අපි සියල්ලටම තිබේ. නමුත්, තොරතුරු තාක්‍ෂණික උපාංග භාවිතයෙන් සිදුකරන මෙහෙයුම්වල ඇත්තේ ඉතාම දිගුකාලීන බලපෑම්ය. චීනය මෙම මූලික කාරණය තම රාජ්‍යය ප්‍රතිපත්ති වලට ඇතුළත් කොට තම මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ දශක ගණනාවකට පෙරදීය.

චීන ආධාර යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ඊ-පාර්ලිමේන්තුවෙහි නොපෙනෙන පැත්ත එයයි. එය වහාම අවධානය යොමුකළ යුතු කාරණයකි.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa