විසිවන සංශෝධනය හා පලාත් සභා ඡන්දය එකම දිනක පැවැත්වීම පිලිබදව මේ දිනවල කතාවෙමින් පවතී. ආණ්ඩුව සූදානම් වන නීතිමය සංශෝධනයන් හා එහි බලපෑම පිලිබද විග‍්‍රහයක් කිරීම මෙම කෙටි ලිපියේ අරමුණයි.

සංශෝධන කෙටුම්පත් දෙකක්

පලාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීමේ අරමුණින් රජය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මෙන්ම පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය යන සංශෝධන දෙකක් සිදු කිරීමට සැලසුම්කර එකී පනත් කෙටුම්පත් මේ වන විටත් ගැසට් පත‍්‍රයේ පලකර ඇත.

විසිවන සංශෝධනය

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට එක් කිරීමට නියමිත විසිවන සංශෝධනය අග‍්‍රාමාත්‍ය තුමාගේ නියෝගය පරිදී 2017 අගෝස්තු මස 03 වන දින ගැසට් පත‍්‍රයේ පලකරන ලද අතර එය අග‍්‍රාමාත්‍ය තුමන් විසින් 2017 අගෝස්තු මස 23 වන දින පාර්ලිමේන්තුවට පලමුවර කියවීම සදහා ඉදිරිපත් කරන ලදී.

මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවට සංශෝධන 4ක් සිදු කරනු ලබයි. ඒ මගින් සිදුවන වෙනස්කම් වනුයේ,

1. පළාත් සභා සියල්ලෙහි ඡන්ද විමසීම එකම දිනක පැවැත්වීම.
2. ඒ සදහා පලාත් සභා විසුරුවන දිනය (නිශ්චිත දිනය) නියම කිරීමේ බලය පාර්ලිමේන්තුවට පවරා ගැනීම.
3.එකම දිනක පලාත් සභා විසිරවීම පිණිස සමහර පළාත් සභාවල කාලය දීර්ඝ කිරීමක් සිදු කිරීම.
4.යම් හේතුවක් නිසා(නිශ්චිත දිනය නියම කිරීම හැර වෙනත් හේතුවක් නිසා) පළාත් සභාවක් විසුරුවා හැරීමක් සිදුවූ විට එකී පළාත් සභාවේ බලතල ‘‘නිශ්චිත දිනය” තෙක් පාර්ලිමේන්තුව විසින් ක‍්‍රියාත්මන කිරීම.


පලාත් සභා ඡන්ද විමිසීම පනත සංශෝධනය

මේ වන විට 1988 අංක 2 දරණ පලාත් සභා ඡන්ද විමසීමේ පනත සදහා සංශෝධන කෙටුම්පත් 2ක් අප හමුවේ ඇත. මින් මුල් සංශෝධන පනත් කෙටුම්පත 2017 ජූලි 10 දින පාලත් සභා සහ පලාත් පාලන අමාත්‍යතුමාගේ නියෝගය පරිදී ගැසට් පත‍්‍රයේ පල කරන ලද අතර එකී අමාත්‍යවරයා විසින්ම ජූලි 26 වන දින පලමුවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එම සංශෝධනය මගින් අපේක්‍ෂ කරනු ලබන්නේ පලාත් සභා මැතිවරණයක නාමයෝජනා පත‍්‍රයේ මුලූ අපේක්‍ෂක සංඛ්‍යාවෙන් සියයට තිහක් අවම වශයෙන් කාන්තා අපේක්‍ෂිකාවන් ඇතුලත් විය යුතු බවයි. මෙම සංශෝධන පතන් කෙටුම්පත තවම විවාදයට ගෙන නැත.

එසේ තිබියදී 2017 අගෝස්තු මස 03 වන දින අග‍්‍රාමාත්‍ය තුමාගේ නියමය පරිදී පලාත් සභා ඡන්ද විමිසීම් පනත සදහා වූ තවත් සංශෝධනයක් ගැසට් පත‍්‍රයේ පලකරන ලදී. මෙම පනත් කෙටුම්පත තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නැත. මෙම කෙටුම්පත මගින් 1988 අංක 2 දරණ පලාත් සභා ඡුන්ද විමසීම් පනතේ 10(1) වන වගන්තිය සංශෝධනය කිරීමට අපේක්‍ෂා කරනු ලබයි.

එකී වගන්තියේ දැනට පවතින ප‍්‍රතිපාදන අනුව පලාත් සභාවක කාලය ඉකුත් වීමෙන් හෝ යම් වෙනත් ආකාරයකින් පලාත් සභාවක් විසිරවීමෙන් සතියක කාලයක් ඇතුලත මැතිවරණ කොමසාරිස්වරයා(මැතිවරණ කොමිසම) විසින් අදාල පලාත් සභාවේ ඡන්දය පැවැත්වීම පිළිබද තම අදහස පිලිබද දැන්වීමක් පල කල යුතුය. නමුත් මෙම යෝජිත සංශෝධන පනත මගින් පලාත් සභාවක කාලය ඉකුත් වීමෙන් පසුව යන ප‍්‍රතිපාදනය වෙනුවට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ඈ.ඈ ව්‍යවස්ථාවේ පරිදී (විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිනය කිරීමට අපේක්‍ෂිත) පාර්ලිමේන්තුව විසින් නිශ්චිත දිනය(පලාත් සභා විසුරුවා හරින දිනය) සිට සතියක් ඇතුලත අදාල නිවේදනය නිකුත් කල යුතු බව දක්වයි. ඒ අනුව මැතිවරණ කොමිසම මැතිවරණය පැවැත්වීම ප‍්‍රකාශයට පත් කල යුත්තේ පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන නිශ්චිත දිනයට අනුකූලවය.

පලාත් සභාවෙන්හි මතය විමසීම

13වන ආණ්ඩු ක‍්‍රමව ව්‍යවස්ථාවෙන් සංශෝධිත ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 154උ(2) ව්‍යවස්ථාව අනුව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ පලාත් සභාවන් සම්බන්ධ කාරණයක් සම්න්ධව වන පනත් කෙටුම්පතක් සම්මත කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් එය සියලූ පලාත් සභාවලට යොමුකර පලාත් සභාවල එකගතාවය ලබාගත යුතුය. යම් හෙයකින් යම් පලාත්් සභාවක් හෝ කිහිපයක් එගක නොවුවහොත්(සියල්ලම නොවේ) එවිට එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත කල යුතුය. එය සරල බහුතරයකින් සම්මත කලහොත් එකී පනත් කෙටුම්පතට එකග නොවූ පලාත් සභා සදහා එම නීතිය අදාල නොවන්නේය.

සිදුවන්නේ කුමක්ද?

එසේම විසිවන සංශෝධනයේ ව්‍යවස්ථානුකූල භාවය පිලිබදව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්ව ඇත. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් එකී කෙටුම්පතට සංශෝධන යෝජනා කිරීමට ඉඩ ඇති අතර ඒවා පිලිනොගන්නේ නම් කෙටුම්පත ජනමත විචාරණයකට ලක් කල යුතුව ඇත. විසිවන සංශෝධනය සම්මත වීමකින් තොරව පලාත් සභා ඡන්ද විමසීමේ පනත කිරීමෙන් එහි ඇති ප‍්‍රතිපාදන ක‍්‍රියාවට නැගිය නොහැක. ඒ අනුව පලාත් සභා මැතිවරණය එකම දිනක පැවැත්වීම සදහා ආණ්ඩුව සැලසුම්කර ඇති ක‍්‍රමය ඉතා අසීරු වෑයමක් වී ඇත.

නීතීඥ ජගත් ලියන ආරච්චි | Jagath Liyanaarachchi