Image Credit: telo

හිටපු හමුදාපති ජෙනරල් ජගත් ජයසූරියට අත තැබීමට කිසිදු ජත්‍යාන්තර අධිකරකණයකට ඉඩ නොදෙන බව ජනාධිපති සිරිසේන පසුගියදා පැවැති ශ්‍රීලනිපයේ 66වන සම්මේලනයේදී ප්‍රකාශ කළේය. ඔහු කියන්නේ තමා ජයසූරිය වැනි රණ විරුවන්ට එරෙහිව කිසිම නඩුවක් පැවැරීමට ඉඩ නොදෙන බවයි.

සිරිසේනට අමතක වී ඇති දෙය නම් ඔහුම කී පරිදි 2015 ජනවාරියේදී පරාජය වී නම් අඩි හයක් යට ඔහු වළදැමෙන්ට ඉඩ තිබූ බවත්, එසේ වී නම් එම වළ කපා පස් දමන්නට සිටියේ රාජපක්ෂවාදී රණවිරු හමුදා නායකයින් හැර වෙන කව්රුවත් නොවන බවත්ය. යුද්ධය මෙහෙයවූ බවට ජයසූරියම කියන ජෙනරල් ෆොන්සේකා කුදලාගෙන ගියේත් රණ විරුවන් විසින්ම නේද?

දැන් ජෙනරල් ෆොන්සේකා, ජෙනරල් ජයසූරිය යුද සමයේ අපරාධ කළ බවට සාක්ෂි තමන් සතුව තිබෙන බව ප්‍රසිද්ධියේ කිය තිබේ. ෆොන්සේකා කියන්නේ අත්අඩංගුවට පත් දෙමළ පිරිස් සම්බන්ධයෙන් ජයසූරිය අනිසි ලෙස කටයුතු කළ බව තමාට වාර්තා වූ බවයි. තමා හමුදාපති ධූරයේ සිටියදී ජයසූරියට එරෙහිව යුද අධිකරණයක නඩු පවරන්නට කටයුතු කරමින් සිටි බව ෆොන්සේකා කියයි.

මේ අතර වත්මන් හමුදාපති මහේශ් සේනානායක(දිවයන 04.09) ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ ජෙනරල් ෆොන්සේකා කළ ප්‍රකාශයට හමුදාව විරුද්ධ බවත් හමුදාවේ 28,000ක් දිවි පිදුවේ මෙවැනි කතා අහන්නට නොවන බවත්ය. තමා හමුදාපති ධූරයෙන් ඉවත් කරන ලද අවස්ථාවෙහි ජයසූරියට එරෙහිව යුද අධිකරණයෙහි නඩු පැවැරීමට කටයුතු කරමින් සිටි බවට ෆොන්සේකා කරන ප්‍රකාශය ගැන හමුදාපති සේනානායක කියන්නේ එසේ නඩු නොපැවරිය යුතුව තිබුණේ යැයි කියාද? වරදට දඩුවම් නොකළ යුතුද?

අනෙත් අතට ජෙනරල් ජයසූරිය සති අන්ත ඉංග්‍රිසි පුවත් පතකට(Ceylon Today, 03.09) කියා තිබෙන්නේ කුප්‍රසිද්ධ ජෝෂප් කදවුරෙහිදී අත් අඩංඟුවට ගත් දෙමළ සැකකරුවන්ට වධහිංසා පැමිණවූයේද නැත්ද යන්න තමන් දන්නේ නැති බවයි. ඔහු එසේ නොවූයේ යැයි කියන්නේ නැත. එම කඳවුරෙහි බුද්ධි අංශ විසින් සැකකරුවන් රඳවා ගෙන සිටි බවත් තමා ඊට සම්බන්ධ නැති බවත් ඔහු කියා තිබේ. එපමණක් නොව ඔහු කියන්නේ එම කඳවුරෙහි එවැනි දෙයක් සිදුවී නම් ඊට වගකිව යුත්තේ එහි සිටි අනෙක් සෙන්පතියන් බවයි. (සමහර විට මහේෂ් සේනානායක ඒ ගැනත් විරෝධය පළ කරන්නට පුලුවන.)

යුද සමයේ සිදුවූ අතුරුදහන්වීම් ගැන ඔහුගේ නායකයා වූ මහින්ද රාජපක්ෂ විසින්ම පත් කරන ලද පරණගම කොමිසමේ වාර්තාව කියවා ඇත්දැයි අසන ලදුව මේ හිටපු යුද හමුදාපති කියන්නේ එම වාර්තාව ගැන තමන් දන්නේ නැති බවයි! පුදුම නමුත් ඇත්තය.

ජයසූරියගේ එම සම්මුඛ සාකච්ජාවෙන්ද ඊට පෙර බීබීසී සිංහල සේවයට දෙන ලද සම්මුඛ සාකච්ජාවෙන්ද පෙනෙන්නේ තමන්ට එල්ලවී ඇති යුද අපරාධ චෝදනාවලින් ගැලවීම ඔහුගේ එකම අරමුණ බවයි. ඒ උදෙසා අන් කවරකු බිලි වුවත් ඔහුට ප්‍රශ්ණයක් නැති පාටය‍.

තවද මෙම හිටපු හමුදපතිවරයා කොපමණ අනුවන තැනැත්තෙක්ද යන්න පෙනෙන්නේ ශ්‍රී ලංකා හමුදා යුද අපරාධ කර නැති බවට ශ්‍රී ලංකා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිල ප්‍රකාශයක් ලබා ගත යුතු බවට කර ඇති ප්‍රකාශයෙනි. එක්සත් ජාතින්ගේ සංවිධානය මෙරටට කියා ඇත්තේ ස්වාධීන සහ විශ්වසනීය අධිකරණයක් මගින් යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසයි.

එවැනි පරීක්ෂණයක් කරනු තබා සූදානමක්වත් ශ්‍රී ලංකා ආණ්ඩුව පෙන්වන්නේ නැති කළ මෙරට යුද අපරාධ සිදුව නැතැයි කිව හැක්කේ කවරකුටද? ඊටත් වඩා කිසිම රටක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය එවැනි සහතික දී නැත. මන්ද යත් වසර තිහ හතලිකට පසුව පවා එවැනි සාක්ෂි ඉස්මතු වූ අවස්ථා මැත ඉතිහාසයේ තිබෙන බැවිනි.

දැන් සිරිසේන විසින් පණට පණ දී ආරක්ෂා කරන බවට හිසේ අත් ගසා දිවුරන්නේ එවැනි ජෙනරල්වරයෙකි!

අනෙක් අතට ජයසුරියට එරෙහිව යුද අපරාධ නඩු පවරා ඇත්තේ ජත්‍යාන්තර අධිකරණයක නොවේ. දකුණූ ඇමෙරිකානු රටවල් කිහිපයක දේශීය නීති අනුවය.

රෝම ප්‍රඥප්තිය මත පිහිටුව ඇති ජත්‍යාන්තර යුද අධිකරණයට පුද්ගලයින්ට හෝ සංවි‍ධානයන්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකි නමුත් ඒවා සැළකිල්ලට ගත හැක්කේ එම පැමිණිල්ල අදාල රට රෝම ප්‍රඥාප්තියට අත්සන් කර ඇති රටක් නම් පමණි.

ශ්‍රී ලංකාව රෝම ප්‍රඥාප්තියට අත්සන් කර නැත.

එවැනි රටවල් සම්බන්ධයෙන් පුද්ගලයින්ගෙන් හෝ සංවිධානයන්ගෙන් ලැබෙන පැමිණිලි ජත්‍යාන්තර යුද අධිකරණයට පරීක්ෂා කළ හැක්කේ එක්කෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නැතනම් අදාල රට ජත්‍යාන්තර යුද අධිකරණයෙන් ඉල්ලීමක් කළ හොත් පමණි.

2006 වසරෙහිදී ශ්‍රී ලංකා දේශප්‍රෙමීන් නම් එක්සත් ජනපදයෙහි වාසය කරන ශ්‍රී ලංකිකයින් පිරිසක් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් එල්ටීටීඊ සංවිධානයට එරෙහි පැමිණිල්ලක් ජත්‍යාන්තර යුද අධිකරණයට යොමු කරන ලද බව පැවසේ.

එමෙන්ම තවත් විදේශගත ශ්‍රී ලංකික පිරිස් ශ්‍රී ලංකාණ්ඩුවට එරෙහිවද එවැනි පැමිණිලි ඉදිරිපත් කර තිබේ. නමුත් ඒවා කිසිවක් ජත්‍යාන්තර යුද අධිකරණය විසින් සැළකිල්ලට ගත්තේ නැත.

එබැවින් ජත්‍යාන්තර අධිකරණයන්ට ජයසූරිය ඉදිරිපත් නොකරන බවට ගසෙන සියලු කයිවාරු මහජනයා ගොනාට ඇන්දවීමේ ප්‍රයත්නයක් පමණි. මන්ද යත් එවැනි ප්‍රශ්ණයක් නැති නිසාය.

යස්මින් සූකා නායකත්වය දරණ දකුණු අප්‍රිකානු සංවිධානයක් විසින් ජෙනරල් ජගත් ජයසූරියට බ්‍රසීලයෙහි සහ කොලොම්බියාවෙහි පවරා ඇති නඩුව ජාත්‍යන්තර යුද අධිකරණයට අදාල නැත. බීබීසීය වාර්තා කර ඇති පරිදි එම නඩුවෙන් ඉල්ලා ඇත්තේ ජගත් ජයසූරිය බ්‍රසීලයෙන් පිටුවාහල් කරන ලෙසත් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්ය.

එවැනිම නඩු ආජන්ටීනාව, පීරු සහ විලී යන රටවලද පැවරෙනු ඇතැයි අන්තර් ජාතික මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම රටවල දේශීය නීති අනුව විදේශ රටක වුවද අන්තර් ජාතික මානුෂීය නීතිය උල්ලංඝනය කරන ලද පිරිස් අත් අඩංඟුවට ගැනීමටත් නඩු විමසීමටත් හැකිය. එසේ නමුත් තානාපති වරප්‍රසාද භුක්තිවිදින කිසිවකු අත් අඩංඟුවට ගැනීමට කිසිදු රටකට නොහැකිය.

මෙම රටවල එවැනි නීති පනවා ඇත්තේ සිය කලාපයෙහි ඒකාධිපති පාලකයින් සහ යුද සෙන්පතියන් විසින් කරන ලද මානව හිමිකම් කෙළෙසීම්වලට කවර රටකදි වුව දඩුවම් කිරීම පිණිසය‍.

බ්‍රිතාන්‍යෙය්දී 1998 ඔක් 16වන දින චිලීයේ හිටපු ඒකාධිපති ජෙනරල් පිනෝචේ අත් අඩංඟුවට ගැනුණේ යුද අපරාධ සම්බන්ධයෙන් ඊට දින 06කට පෙර ස්පාඤ්ඥ අධිකරණයක නඩුවක් පවරා තිබූ බැවිනි.

දැන් ජනාධිපති සිරිසේන කුමන කයිවාරුවක් ගැසූවද ජගත් ජයසූරිය තානාපති වරප්‍රසාද නැතිව ඔහුට විරුද්ධව නඩු පවරා ඇති එකී දකුණූ ඇමෙරිකානු රටවලට ගිය හොත් ඔහු අත් අඩංඟුවට ගෙන යුද අපරාධ සම්බන්ධයෙන් එම රටවලදී නඩු පැවරීමේ ඉඩ විශාලය. අඩුම වශයෙන් තානාපති වරප්‍රසාද නැතිව බ්‍රසීලයට නිකමට හෝ ගිය හොත් ඔහු අත් අඩංඟුවට ගැනෙනු නොඅනුමානය.

මන්ද යත් එම රටවල අධිකරණය මෙරට ජනාධිපතිට හෝ එරට පාලකයින්ට හෝ අනුව නටන්නේ නැති නිසාය. මෙම රටවල් අධිකරණ රාජ‍්‍ය පාලකයින් දූෂණ හා හිටපු යුද නායකයින් යුද අපරාධ සම්බන්දයෙන්ද සිර ගත කිරීමේ තීරණ පවා ගැනීමට තරම් බලවත්ය. ස්වාධීනය.

ශ්‍රී ලංකාව තුල විශ්වසනීය වගවීමේ ක්‍රියාවලියක් සිදු නොවන්නේ නම් දිනෙක, දස වසරකට පසු හෝ මෙවැනි තත්වයක් යුරෝපා රටවලදී වුව මෙරට හමුදා ප්‍රධානීන්ට පමණක් නොව රාජ්‍ය නායකයින්ටද ඇතිවිය හැකිය.

එල්ටීටීඊ ය මානව හිමිකම් කෙළෙසමින් යුද අපරාධ කළ බව අපි දනිමු. එය අහිංසක සිංහල සහ මුස්ලිම් ජනයාද විරුද්ධවාදී දෙමළ ජන පිරිස්ද ඝාතනය කළේ එහි දේශපාලනය ත්‍රස්තවාදි වූ නිසාය.

ශ්‍රී ලංකා යුද හමුදාව එම යුද්ධයේදී කිසිදු වරදක් නොකළ බවට කැට තියන කාගෙන් වුවත් ඇසිය යුතු ප්‍රශ්ණයක් තිබේ. එනම් 1971 සහ 1988- 1990 කාලයන්හි ඇතිවූ සිංහල තරුණ සන්නද්ධ ප්‍රහරයන් හමුවෙහි මෙරට ආරක්ෂක හමුදා කළ එළියේම මිලේච්ඡ තත්වයට ඇද නොවැටුනේද යනුය. ඊට පිළිතුර ලයිට්කණු ගානේ ලියැවී තිබේ. ඇසිය යුතු ප්‍රශ්ණය නම් දකුණේ එළෙස අත් අඩංඟුවට ගත් සිංහල තරුණ පිරිස් අමු අමුවේ ඝාතනය කළ රාජ්‍ය හමුදා දෙමළ තරුණ තරුණියන්ට කෙලෙසක සළකන්නට ඇත්ද යන්නයි.

පිළිතුර, බොබ් ඩිලන් ගයන පරදි, හමන සුළගේ ලියැවී තිබේ. ඒ සත‍්‍යය මකා දැමිය හැකි ජගතෙක් නැත.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya