Image BY: Colombo Gazette

සිවුරු හොරා කියනනේ ලස්සන කුරුල්ලකුටය. අප කුඩා කාලයේ නම් ඉඳ හිට හෝ සිවුරු හොරා අත්තක වසා ඉන්නවා දක්නට ලැබුණි. අද සිවුරු හොරා දැකීම දුලභය‍. සිවුරු හොරාට ඒ නම දෙන්නට ඇත්තේ සිංහල බෞද්ධ ගැමියන් විසින් විය යුතුය. ඒ අනාදිමත් කාලයකට පෙරය‍. එ් ගැමියන්ට එරෙහිව කවරකු හෝ පුවත්පත් සාකච්ජාවක් පැවැත්වු බව වාර්තා වී නැත.

අද එවැනි නමක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ හොත් හෙට රාජපක්ෂ, සංඝ සේනාවක් ද කැටිව අවුත් පුවත් පත් සාකච්ජාවක් පවත්වා, සිවුරු හොරා යන නම ගත් අහිංසක කුරුල්ලන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්නට ඉඩ තිබේ. මන්ද යත් සිවුර වරදකට ඈදිය නොහැකි නිසාය. හරියට සිල් රෙද්ද වරදක් නොවන ලෙසිනි!

සිවුරට කොටස් තුනකි. එනම් අඳනය, තනිපට සිවුර සහ දෙපට සිවුරය. සිල් රෙද්දට ද කොටස් දෙකකි. එනම් සිල් රෙද්ද සහ උතුරු සළුවය. රාජපක්ෂ 2015 ජනාධිපතිවීම පිණිස බෙදූ සිල් රෙදි පාර්සලයේ මේ කොටස් දෙකම තිබුණාද නැත් ද කියා ලලිත් වීරතුංග උසාවියට කිව්වේ නැත. නොතිබුනා නම් රජපක්ෂ තර්කයට අනුව වරදක් විය හැකිව තිබුණේ බෙදීම නොව උතුරු සළුව නොදීමයි.

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට හිරේ ගියේ රෙද්දක් බෙදූ නිසාය. නමුත් ප්‍රශ්ණය එය සිල් රෙද්දක් වීමයි. සිල් රෙද්දක් බෙදීම වරදක් වන්නේ කොහොමදැයි දැන් රාජපක්ෂ අපෙන් අසයි. හොදයි මේ රෙද්ද සිල් රෙද්දක් නොවී චිත්ත රෙද්දක් හෝ සරොම් රෙද්දක් වී නම් එය වරදක් විය හැකිව තිබුණේ ද? එමෙන්ම බෙදූ සිල් රෙදි, සිල් රෙදි හැර අන් රෙදි ලෙස පාවිච්චි කළේ නම් එය වරදක් විය හැකිව තිබුණේද?

රෙද්ද බෙදූවේ නීති විරෝධී ලෙස ලබා ගත් රාජ්‍ය මුදල්වලිනි. එමෙන්ම රෙද්ද බෙදුවේ ජනාධිපතිවරණය සමයේ රාජපක්ෂ අල්ලසක් ලෙසය. රෙද්ද බෙදුවේ රාජපක්ෂ අත් ඔරලෝසු සහ දින දර්ශන යනාදිය ද සමඟය. ඒ වනාහී ජන්ද අල්ලස් කට්ටලයකි.

රෙද්ද සිල් ද නැත්ද යන්න නොව ප්‍රශ්ණය එය බෙදීම සඳහා රජයේ මුදල් නීති විරෝධීව ලබා ගැනීමයි. රාජපක්ෂ පිළිතුරු දිය යුත්තේ එම ප්‍රශ්ණයටය.

රාජපක්ෂගේ ප්‍රචාරකයින් ලෙස වඩම්මන ලද සංඝයා කියන්නේ බෙදුවේ සිල් රෙදි නිසා එහි වරදක් නැති බවයි. ඒ අනුව මැතිවරණ කාලයක සිවුරු බෙදුවා නම් එයත් ඒ අනුව හරිය. මේ සංඝයාගේ දේශනාව නිවැරදි නම් මැතිවරණ සමයකදී රාජ්‍ය අරමුදල් නීති විරෝධීව ලබා ගෙන ඕනෑම ආගමික වැඩක් ජන්ද අල්ලස් ලෙස ක්‍රියාවට නැගීමේ වරදක් නැත.

ආගමට රටේ නීතිය අදාළ නැත්ද? සිවුරකින් ගෙල සිරකර මරා දැමුවහොත් එය වරදක් නොවෙන්නත් මේ අනුව ඉඩ තිබේ. මන්ද යත් සිවුර සහ සිල් රෙද්ද වරදකට සම්බන්ධ කළ නොහැකි යැයි උන්නාන්සේලා වදාරණ නිසාය.

2015 ජනාධිපතිවරණ සමයෙහි රාජපක්ෂගේ ලොකු පුතා ලෙස අභිශේක කරන ලද වීරවංශ කියන අන්දමට ප්‍රශ්ණය ලලිත් විරතුංග හා අනුෂ පැල්පිට වරදකරුවන්ද නැත්ද යන්නම නොවේ. වීරවංශට අනුව ‘වැරැදිකරුවන්ට දඬුවම් දෙන්න ඕන වැරැදි නොකරන ආණ්ඩුවක්‘ විසින් පමණය.(ලංකාදීප)

වීරවංශගේ තර්කය අනුව දකුණූ කොරියාවේ හිටපු ජනාධිපති සිරගත කිරීම වැරදිය. මන්දයත් බලයේ සිටි ආණ්ඩුවත් වැරදි කළ නිසාය. මේ තර්කයට අනුව ලොව කිසිම තැනක දූෂකයින්ට සහ භීෂකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම වැරදිය.

වීරවංශගේ ටිකිරි මොළයට නොතේරෙන දේ මෙයයි. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයකදී අධිකරණය යනු පාර්ලිමේන්තුවේ කොටසක් නොවන බවයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක වැදගත්ම අංගයක් වනුයේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණය යන ආයතන තුන අතර වන බල විභේදනයයි. ආණ්ඩුව දූෂිත නම් අධිකරණය දූෂිතයන් හිරේ නොයැවිය යුතුය යන රාජපක්ෂ ලොකු පුතාගේ තර්කය පෙන්වන්නේ ගොන්කමය‍.

පසුගියදා පකිස්ථානයේ අගමැති නවාශ් ශරීෆ් වරදකරුවකු බවට එරට අධිකරණය විසින් තීරණය කරන ලද්දේ ඔහු එවකටත් අගමැති වශයෙන් සිටියදීම ය. දැන් ඊශ්‍රායලයේ අගමැති බෙන්ජෙමින් නෙතන්යාහුට මුල්‍ය වංචාවක් පරික්ෂණයට ගෙන ඇත්තේ ඔහු අගමැති වශයෙන් සිටියදීමය‍. ඒ එරට නොනිමි යුද්ධයකට පැටලී සිටින අතරවාරයේ බවත් මතක තබා ගත යුතුය‍. බ්‍රසීලයේ ජනාධිපතිනිය දිල්මා රූසෙෆ් රජයේ ගිණුම් තොරතුරු තමන්ට වාසිදායක ලෙස වෙනස් කළ බවට වූ පරීක්ෂා කිරීම ආරම්භ වූයේ ඇය ජනාධිපතිනිය ලෙස සිටියදීමය. අවසානයේදී ඇයට ජනාධිපති තනතුරු අහිමි විය.

ආණ්ඩුව දූෂිත වුවත් අධිකරණය ඊට සම්බන්ධ නැත. එය ස්වාධීන ආයතනයකි.

ලොකු පුතා සිය දේශපාලන තාත්තා බේරා ගැනීම සඳහා තවත් තර්කයක් ගෙන එයි. ඒ මෙසේය:

‘කවුරු මොනව කිව්වත් මින් එහාට නීතියට රූලට තියෙන දෙයක් හැරෙන්න වෙන දෙයක් කරන්න බැරි තත්ත්වයකුත් ඇතිවෙනවා. මේකෙන් වෙන්නේ වැඩක් කෙරෙන එක නතර වීමයි. නීති පොතට අනුව කාලය ගත කරන්න රාජ්‍ය සේවය කැමතියි. ඒකට මේක ලොකු තල්ලුවක්.’(ලංකාදීප)

බළලා මල්ලෙන් එළියට පනින්නේ මෙතැනය. රාජපක්ෂ හවුලට අවශ්‍ය වන්නේ ව්‍යවහාරයේ කියැවෙන පරිදි නීතිය බල්ලාට දැමීමයි. (ඇත්ත බල්ලන්ට අපහාසයක් නොවේ) රාජ්‍ය සේවකයින් ලවා නීතිය තමන්ට අවශ්‍ය පරදි කෙලෙසීමයි. එමගින්ම ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට නීතිය කෙළෙසා ඇති බවද වීරවංශ පිළිගනී.

ඊළගට වීරවංශ මෙසේ කියනු ඇත. ‘නීතියට පිටින් නෑයින්ට ගෙයක් දෙකක් දුන්නාම ඒක වරදක්ද?’ ( එහෙම නොදීපු කෙනෙක් ඉන්නවද?)

දැන් රාජපක්ෂ කිය කියා යන්නේ නීති විරෝධී ලෙස රාජ්‍ය මුදල් ලබා ගෙන සිල් රෙදි බෙදීම වරදක් නොවන බවත් එම නියෝගය දුන්නේ තමා බවත්ය.

දේශපාලන තාත්තයි පුතයි දෙන්නාම නටන්නේ එකම සිංදුවටය.

රාජපක්ෂවරු පමණක් නොවේ. මහින්ද රාජපක්ෂට අනුව රනිල් වික්‍රමසිංහත් ඒ සිංදුවටම පාද තබා පාද තබා අඩව් අල්ලයි. ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට සිරගත කරන ලද තීන්දුව සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහද තමා මෙන්ම පුදමයට පත් වූ බව රාජපක්ෂ කියා දැනට දින ගණනාවකි. වික්‍රමසිංහ තමා එසේ නොකීවේ යැයි කියා නැත.

රාජපක්ෂ මෙන්ම වික්‍රමසිංහද මෙම තීන්දුවෙන් සලිත වී ඇති බවට සැකයක් නැත. මන්ද යත් මෙම ආණ්ඩුවෙහි වික්‍රමසිංහ තරම් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට තමන් කියන දේ කරන්නට බැරි නම් ඉවත් වී යෑමට සූදානම් වන ලෙස බැන වදින වෙනත් දේශපාලනඥයකු නැති නිසාය. රනිල් වික්‍රමසිංහට විධායක ජනාධිපති ධූරය නොලැබුණේ රටේ වාසනාවටය. එසේ වී නම් අපට අත්දකින්ට තිබුණේ ජයවර්ධන – රාජපක්ෂ දෙමුහුම් භයානක ජනාධිපති පාලනයටය‍.

ඒ අතින් ලොකු පුතා හරිය. ලොකු පුතා කියන්නේ ‘අපි දෙගොල්ලොම දූෂිතයෝ. ඒ නිසා වැඩේ අවුල් කර ගන්නේ නැතිව හොරු රැකගනිමින් ගේම දෙමු’ කියාය.

ඊට හූ මිටි තැබීමට පෙළ සැදෙන මැති ඇමැතිවරුන් අඩුවක් නොවනු ඇත.

ඒ කෙසේ වෙතත් මෙතැන් සිට ශ්‍රී ලංකාවේ දේශපාලන ගමන් මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් කිරීමේ හැකියාව දැන් අධිකරණය සතුවෙයි. අධිකරණය සිය ස්වාධීනත්වය ඉහළින්ම රැක ගැනීමට සමත් වුවහොත් නව පාරදෘශ්‍ය දේශපාලන සංස්කෘතියක් සඳහා දායකත්වයක් ලබා දීමට එය සමත්වනවා ඇත.

දේශපාලන වශයෙන් වික්‍රමසිංහ නොව මෙහිලා තීරණාත්මක සාධකය වනු ඇත්තේ ජනාධිපති සිරිසේනය. සිල් රෙදි හොරු, බැදුම්කර හොරු යනාදී කී නොකී හොරු බේරා ගැනීම පිණිස අධිකරණය බිය වැද්දවීමට දැරෙන සියලූ විවෘත අවිවෘත උත්සාහයන් පරාජය කළ හැක්කේ අධිකරණ ස්වාධීනත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීම මගින් පමණි. ජනපති සිරිසේන, ඔබ ඊට සූදනම්ද?

කාලෝ අයංතේ. අප්පමාදෝ අමත පදං!

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya