ශ්‍රී ලංකාවට තේ වගාව හදුන්වා දී වසර 150ක් පිරෙන මේ කාලය තුළ ඒ පිළිබද වත්මන් වතුකරයේ ඇත්ත ජීවිත සොයා පසුගිය කාලය පුරාම අප ඇවිද්දෙමු. එහිදී විවිද අදහස්, කතා, රූප, කදුලු අපට මුණ ගැසුණි. ඒ කිසිදු දෙයක් තුළ අවම වශයෙන් ජීවිතය තිබුණේ නැත. මේ කාලය තුළ අහම්බෙන් මෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහෘදයා සමග කිසියම් දේවල් ගොන්නක් කතා කරමින් සිටින විට, වතුකරය පිළිබද අප සිදු කරමින් සිටින දේවල් ද හුවමාරු විය. ඉන් පසු උපුල් පහත පළවන ඇත්ත කතාව අප හමුවේ තබන්නේ වේදනාත්මක චිත්තරූප ද සමගය. ඒ කතාවේ ඛේදවාචකය අප මොහොතකට ගොළු කළා මතකය. මේ උපුල් කුමාරප්පෙරුම ලියූ ඒ කතාවයි. ඒ ඇත්ත කතාවයි. (May 14)

##

මේ සටහනට හේතුපාදක වන්නේ කපිල එම් ගමගේ සහෘදයා විසින් වතුකරයේ ජනතාවගේ ජීවන තත්වය සම්බන්ධයෙන් ඊයේ පලකල සටහනකි.ඒ සටහනට මා කමෙන්ටුවක් සටහන් කලද එය ඈ සම්බන්ධයෙන් සවිස්තරාත්මක සටහනක් වූයේ නැත. එනිසා මෙම සටහන මෙසේ තබමි.

ඈ අප නිවසට පැමිණෙන්නේ මෙහෙකාරියක ලෙසයි. ඈ වයස අවුරැදු විසි හතරක විසි පහක තරුණියෙකි. ඒ දෙදහස් නවය වර්ෂයේය. ඈ වැඩිපුර කතා බහක් කලේ නැත. ඈ කුලෑටි ගතියක් නිතර පෙන්නුවාය. ඈගේ ගම තලවාකැලේ ප්‍රදේශයයි. ඈගේ නිවසට එක් දිනක් ගොස් ඇති නමුදු පසුව ඈ සෑම අවස්ථාවකම අප හා එකතු වූයේ හැටන්, නුවරඑලිය මාර්ගයේ කෝවිලක් අසලිනි. එ නිසා ඈගේ නිවස ගැන අද මතකයක් නැත.

එකල අපගේ දරුවන් ප්‍රාථමික අධ්‍යපනය ලැබුවේය. කෑම පිලියෙල කිරීම හෝ තේ කෝප්පයක් සාදා දීම නොදත් ඈ කල එකම රාජකාරිය වූයේ දරුවන් සමග දරුවන්ගේ පාසලෙන් පසු කාලය ගත කිරීමය. ඈ දරුවන් සමග සෙල්ලම් කලාය. දරුවන් සමග පාඩම් කලාය. දරුවන්ගේ පොතපත ඈ ද කි‍යෙවුවාය.

සමහර දිනයන් හී ඈ මාගේ පොතපතද රැගෙන ගොස් කියවූවාය. ඒ අතර සිංහල මෙන්ම ඉංග්‍රීසි පොතපතද විය. ටින්ටින් ඇසටරික්ස් කොමික් පොත් ද ඈ ගෙන ගිය පොත් අතර විය. ඇයගේ කාමරයේ ඈගේ සයනය මත බොහෝ වේලාවට මේ පොතපත තිබෙනු දැකීම සාමාන්‍ය දෙයක් වූයේය.

දිනෙක මම ඈ කියවූ පොතක් දැක ඇයට සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් කියවිය හැකි දැයි ඇසුවෙමි. ඈයට හැකි බව ඇය කීවාය. ඈ කොතෙක් දුරට අධ්‍යපනය ලබා ඇත්දැයි යන්න ඊලඟ ප්‍රශ්ණය විය. ඈගේ උත්තරය වූයේ උසස් පෙළය. අවසන් වරට සමත් පන්තිය ගැන ඇසුවෙමි. ඇය කීවේ උසස් පෙළ සමත් බවයි. එසේ කියූ ඈ කාමරයට ගොස් ලිපි ගොණුවක් ගෙනැවිත් මා අත තැබුවාය. ඇයගේ උසස් පෙල ප්‍රතිඵලය මා හට අද අමතක නමුත් ඒ ලිපි ගොණුවෙහි තිබූ ලිපි අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් එවූ ලිපි දෙකක් තිබිණි. ඈගේ උසස් පෙල විභාග ප්‍රතිඵල අනුව ඈ පේරාදෙනිය සරසවියට තේරී ඇත. ඈ ඒ සම්බන්ධයෙන් වූ ප්‍රථම පියවරයන් ගෙන ඇත. එහෙත් ඈ සියල්ල අත්හැර දැමූ තැනක් විය. ඒ දෙමාපියන්ගේ වත්තේ රස්සාව නිසාය. සරලව කිවහොත් දලු කැඩීමය. ඈ සරසවියට ගියහොත් ඔවුන්ගේ රැකියාව අහිමි වේයෑයි වත්තේ කංකානම ඔවුනට කියා ඇත. එසේ වුවහොත් සියල්ල අහිමි වන්නේය. ලයින් කාමරය, නංගිලා මල්ලිලාගේ පාසල, සහ වත්තෙන් දෙනු ලැබූ ඈ සුඛ විහරණයන් ලෙස සිතූ අනෙක් සියලු දෑය. ඈ මේ සියල්ල වෙනුවෙන් තීරණයක් ගත්තීය. ඈගේ සරසවි දිවිය ඈ අනෙක් සියල්ලන් වෙනුවෙන් කැප කලාය.

කතාව අසා සිටි මා ඇයගෙන් සරසවියට යන්නට ඈ කැමතිදැයි ඇසුවෙම්. පවුලට හානියක් නොවේනම් ඈ කැමති බව කීවාය.

සියල්ල සිදුවී වසර තුනකට පසුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ එවකට උපකුලපතිව සිටි මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබේගුණවරධන මහතාට ඇගේ කතාව කිව්වෙමි. ඔහු ඒ ගැන කම්පා වුවද ඒ ඈ සරසවියට ඇතුලු කර ගැනීමට නීතියෙන් හිඩසක් තිබුණේ නැත.

ඈ අප නිවසේ තව දුරටත් මෙහෙකාරියෙකු වූවාය. කාලය ගෙවෙද්දී ඈගේ නිවසින් ඈගේ සහකාරයා තෝරා ගත්තේය. ඈ ඇය නොදත් සහකාරයා සොයා යන්නට දිනෙක අපෙන් සමු ගත්තීය.

ඇය අප නිවසේ සිටිද්දී ලියු කවි පන්තියක් ඉතිරි කොට ඈ යන්නට ගියාය. පසුව මා සමග සේවය කරන දර්ශිකා උඩුගම මෙනවිය සහ මගේ මව එය සිංහලයට පෙරලුවෝය. ඒ කවි පන්තිය හඬ අහිමි කෙවිලිය විය.

සියල්ල ඇසූ ඇගේ කවි දුටූ කපිල සහෘදයාගේ සටහනකි මේ;

අදත් ඇය කොතැන හෝ
පිණි අනින ලේ මිදෙන සීතලේ
පරණ තේ පඳුරු ලඟ
ජීවිතය දලු දමන තුරු
ගෙවුනු නියගින්
කහට පෑ ඇඟිලි තුඩගින්
අනුන් ලඟ කඹුරනවා ඇති.

උපුල් කුමාරප්පෙරුම | Upul Kumarapperuma
|
|
|
|

සබැදි සටහන්

#GlobalCeylonTeaParty | හැම ‘තේ’ කෝප්පයකම යට ‘කඳුළු කතාවක්’ තියනවා

#GlobalCeylonTeaParty | ‘අපි මේ රටේ පුරවැසියෝ නෙමෙයිද?’ [Video]

#GlobalCeylonTeaParty | ‘තේ’ දල්ලේ නොදකින කඳුළු [Video]

සම්පූර්ණ සටහන්(දෙමළ, ඉංග්‍රීසි සහ සිංහල)