සමහරු පෙර භවය අදහති. තවත් සමහරු මරණින් මතු උපතක් නැතැයි සිතන්නෝය. බුදු දහමට අනුව නම් මිනිස් ආත්ම භාවයක් ලැබීම ම දුලභ භාග්‍යයකි. එය කවර තරම් ආශ්චර්යාත්භූත ද යත් මිනිස් අත් භවක් ලැබීම ”කණ කැස්‌බෑවා විය සිදුරින් අහස බලන්නා” වැනි යැයි පැරැන්නෝ දැක්වූහ. එලෙස ලබන දිවිය ගත කළ යුත්තේ තම අභිරුචියට සමගාමී මනකල් පෙදෙසක බව විවාද රහිතය. පතිරූප දේශයක වාසය සැබෑ මංගල කරුණක් යැයි මහා කාරුණිකයානෝ වදාලේ එබැවිනි.

කරුණු එසේ වුව අප ලබා ඇති මිනිස් අත්භවය කවර තරම් දොම්නසත්, ළතැවුලත් වඩවන්නේ දැයි සිතෙන්නේ ඉරාජ් වීරරත්න නම් කච්ජපුටයාගේ කර්ණඝෝෂ සංගීතය බලහත්කාරයෙන් සවන් බිලට වැද- කන් බෙරය දෙදරවන නිමේෂයේදීය.

සංගීතය විශ්ව බසක් යැයි නොදන්නෝ කවුරුන්ද? එය එලෙසින් අප පිළිගන්නේ නම් මේ හිපාටුවා අනුදත් සංගීතය, නිශා කල ගම්මුන් භයින් තැති ගන්වන උලමෙකුගේ මූසල නදක් මිස වෙන අන් කවරක්ද?

අප සුරම්‍ය භූමිය ‘සංස්කෘතික කාන්තාරයක්’ යැයි පැවසුවෝ පේරාදෙණි සරසවිය එකලු කල මහැදුරු සර් අයිවර් ජෙනිසුන්ය. කරුණු එසේ වුව මෙරටේ ස්ථාපිතව ඇති සංගීත සම්ප්‍රදාය එලෙස අවඥාවෙන් බැහැර කල හැකි හරසුන් යමක් නොවේ. එය යුගයෙන් යුගය ඔපවත්ව ශ්‍රී ලාංකීය රසික ජන සමූහයාගේ සවන්පත් සනහන දිව ඔසුවක් ලෙසින් කලා අම්භරයේ බැබලෙන තවත් එක් උත්තුංග කලාංගයකි. එය තව දුරටත් උතුරු ඉන්දීය පියාටත් – දකුණු ඉන්දීය මවටත් ජාත වූ අවජාතකයෙක් නොව, රස නුසුන් නැණ මිහිර ලබාදුන් පරම්පරාගත දායාදයකි.

”සංගීතයෙන් තොර දිවිය අත් වැරදීමක් ”’ විය හැකි යැයි පැවසුවේ ෆ්රෙඩ්රිච් නිට්ෂේය. එය තරම් මිනිස් හදට ආමන්ත්‍රණය කළ හැකි වෙනත් මෘදු බසක් මෙලොව නැත්තේය. ”වචන අසමත් වන නිමේෂයේ සංගීතය කතා කරන්නේ” යැයි පවසන්නේ එහෙයිනි. ලොව පරසිදු සංගීතවේදීහු මතු නොව ගායකයෝද මිහිබට දෙවිවරු යැයි අදහන්නෝ එදත්, අදත්, කවදත් මෙලොව දිවි ගෙවන්නේය.

ජෝර්ජ් බ්‍රිජ්ටවර් නම් වයලීන වාදකයා වෙත පිදූ මිනිත්තු 43ක් පුරා අදියර ත්‍රිත්වයක එකතුවෙන් දිව යන බීතෝවන්ගේ කෘට්සර් සොනාටාව යැයි නම් ලද සංගීතමය අමුර්තය පිලිබඳ නොදන්නෝ කවුරුන්ද? එය සිහි ණුවනින් ප‍රිශීලනය කලවුන් ලත් බ්‍රහ්මාස්වාදයේ අසිරිය, මනු ලොව සිසාරා ගොස් බඹ ලොවට ද දැනුණා විය යුතුය.

ලොව සුවහසක් රසික රසිකාවියන් එක පැහැර මන්මත් කොට තම කර්ණ රසායන ගායනාවේ අසහාය බලයෙන් ලොවක් වසඟ කල එල්විස් ප්‍රෙස්ලි පිලිබඳ මතක මාත්‍රයකින් පවා සැලෙන – සසැලෙන යෞවන යෞවනියෝ කෙතරම්ද? සූසැට බරණින් සැරසී ආටෝප සාටෝප සපිරි දිවියක් ගෙවන්නේ වුවද ධනවාදී අර්ථ ක්‍රමයේ සැබෑව නම් එය දුෂ්කෘතය ම වඩාලන ඉච්ජා භංගත්වයෙන් පරිපීඩිත ජීවන චාරිකාවක් බවය. එකී දිවි අරඹේ ඇති ඒකායන සතුට සංගීතාදී කලාංගයක පහස ලබා සැනසීම මිස අන් කවරක්ද! එනයින් බලන කල මෙකී විශ්ව ගම්මානයේ අග්‍රතර වාණිජ කර්මාන්තය විනෝදාස්වාදය සැපයීමයි.

පිය උරුමයෙන් කිරීටය ලබන්නා සේ එහි ඔටුනු නොපළන් රජවරුන් වීමට නිකමෙකුට හැක්‌කේ නොවේ. ඊට හඬත්, වැඩත් එකසේ කලතා පෙරා ගත් විශ්මිත ප්‍රතිභාවත්, නිර්මාණශීලීත්වයත් අවැසි වන්නේය. එල්විස් ප්‍රෙස්ලි, මයිකල් ජැක්සන්, මැඩෝනා වැන්නෝ ලොව පතළ වූයේ එකී අසීමිත ප්‍රතිභාව එකලෙස පත්තියම් වූ තේජාන්විත පෞරුෂයෙනි. දුටු දුටුවන් මන බඳින මහේශාක්‍ය සෙයියාවෙන් අනූන මෙකී කලාකරුවෝ ලොව පුරා විසිර පැතිර ගිය සුවහසක් රසික රසිකාවියන්ගේ චිත්ත සන්තානයන් මුසපත් කළෝය. ශෘංගාරය සපිරි වසඟය ද අඩු නැතිව තිලිණ කොට රසික මනදොල පින වූ මෙකී සුවිශිෂ්ඨයන්ගේ ජීවන චාරිකාව අනුහස් බවින් හෙවත් කැරිෂ්මාවෙන් ආලෝලනය වූහ.

මෙලෙස උත්තම කලාංගයක්ව ලොව දිග් විජය කල සංගීතයේ ශ්‍රී ලාංකීය නියෝජනය සන්තුෂ්ටිය වඩවන්නේද? තමන් සංගීතයේ පරප්‍රාප්ත යැයි යන ස්වයං වින්දනයේ ගිලී ගිය ප්‍රවීණයෝ සිසිර නිද්‍රාවක ගිලී හත්දින්නත් තාරුකවන්ගේ දිස්නයෙන් ගිනිකන වැටී මංමුලා වී සිටින අවදියක, මෙරටට සරස්වතිය පායා ඇත්තේය. දෙන දෙයියෝ ගෙට ගෙනවිත්ම දෙන්නා සේ අපට සරස්වතිය රැගෙන ආ පිසාචයා පැමිණ ඇත්තේ එකලාව නොවේ. මිහිරැති චීස් කොත්තුවක් සාදන රෙසිපියේ සිට සොසේජ් කරලක් නිසි පිළිවෙලට ග්‍රහණය කොටගෙන මිරිකන අදියර දක්වා කියා දී ශ්‍රී ලාංකීය රසික දන මන සුවපත් කිරීමටය. මේකා වරෙක රැප් කරන්නේය. තවත් වරෙක ගණින්නාන්සේලාට ෂඩ් වර්ණ බුදු රැස් මවන්නේය. තවත් වරෙක තරුවක් සමග තොදොල් වී භාෂිනී හා සෙල්ෆිද ගන්නේය.මූ නොකරන්නේ එකම එකකි, එනම් සංගීතයයි -ගායනයයි. උතුම් මානවකයෙකුගේ දිවිය විකසිත වන්නේ නිසි පිළිවෙලට මවු කුස සැකසුනු යුක්තානුවක බල මහිමයෙනි. ඒත් මෙකී සිඟාලයා බිහිකල යුක්තානුව සම්මිශ්‍රණය වන්නට ඇත්තේ රාහු නීච වූ අසුන්දර රැයක වන්නට ඇත.

මෙවර මේ හාදයා ගිනි බිඳ ඇත්තේ තමන්ගේම රැහේ ප්‍රවීනයෙකුටය. ඔහුනම් වික්ටර් රත්නායකයන්ය. දිවියේ සැඳෑ සමයේ පැනනැඟී සැලමුතු නුගිනුරා ප්‍රේමය නොසඟවා පුදමින් උඩුගම් බලා පිහිනූ රත්නායකයන්ට ඔහුගේ දිවියේ පරමාදර්ශය හමු වී ඇත්තේ දැන්ය. තම ප්‍රාණසම මිතුරා වූ ප්‍රේමකීර්ති ඈත අහස් කුස දෙස බලා හඬ ගෑ තනි තරුව, වල්ගා තරුකාවක්ව වික්ටර් රත්නායකයන්ගේ ප්‍රේම පාරාදීසය මත කඩා වැටී ඇත්තේය. එකී ප්‍රේම නිසොල්ලාසය, හෙනහුරෙක්ව කඩා පාත්ව ඇත්තේ තම පාත්තරයටැයි වැටහුණු දරු දෙදෙනා හඩු මාධ්‍ය ඉදිරියේ තොල් සපන්නේය, ගිනි පිඹින්නේය, පියා නොමරා මරන්නේය. ඉන් සෙතක් වූයේ ලෙලුම්ට නොවේ. ජයන්තයන්ටද නොවේ. සිරුරක් දවා ගැනීමට වත්කමක් නැති නිසාවෙන්, එය ඝන වනාන්තරයට වීසිකෙරුමට පැමිණෙන නේපාලය වැනි රටක ප්‍රත්‍යන්ත ජනපදයක ගම්වැසියන් අත රැඳී මෘත කලේබරය දක්නා ගිජු ලිහිණියන් සේ කුණපයක් තම දෙපා මුල වැටෙනා තෙක් බවුන් වඩනා ඉරාජ් වීරරත්න නම් රොබෝ ටික්කාටය.

පංච තන්ත්‍රය ලියූ විෂ්ණු ශර්මන් මෙසේ කියයි.”ගිජු ලිහිණි තෙමේ පස්විසි යොදුනකින් ඈත සිට බලා අනුභව කිරීමට සුදුසු ආහාරය දකියි. එහෙත් පූර්වකෘත කර්ම බලයකින් ඊට නුදුරින් පවත්නා මල පුඩුව නොදකියි”. සංගීතය යනු පතුලක් නොපෙණෙන රන් ආකරයක් යැයි වරදවා වටහා ගත් මෙකී මං පහරන්නා ශ්‍රී ලාංකීය සංගීතය කැන්දා ගෙන යන දිශානතිය ඇඟ හීගඩු නංවනසුලුය. මෙහි පළවන්නේ මේ හාදයාගේ මනරම් ගේය පද රචනාවක කොටසකි.

”ඔන්න මචන් ඕකට මල, ඌ සෙට් වෙයි මට ගහන්න – ඇදපන් දැන් ත්‍රී වීල් එක වැල්ලවත්ත බීච් එකට
මාර වැඩේනෙ පෙට්‍රල් නෑ ෂේප් එකේ මාරු වෙන්න – අදනම් මට ඉන්න වෙන්නේ කුරුඳු වත්ත පොලීසියේ

ලක්මවගේ පෙර පවට උපන් කර්මකාරක පුත්‍රයෝ එදත් -අදත් සිය බස රිසිලෙස භක්ෂණය කෙරුවද, මෙකී හාදයා පරයා යාමට හැකි එකෙක් නම් කිසිදා පහළ නොවන්නේමය. මඩවල එස්. රත්නායකයන් ඇමිණු පහත ගී මිණි අපගේ සාරවත් ගීපද කලාවේ මහිමය හඬගා කියන්නේය.

මින්දද හී සර ‍වැදී සැලෙන හද – නංවන දුක් ගී ඔබ‍ට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට – කන්ද කපා පායන් රන් පුන්සඳ

මෙරටේ කලා සංස්කෘතියේ උන්නතිය සැදිය යුත්තෝ දෙපිලට වී ගොන්පොර අල්ලන්නේය. එකල පේරාදෙණි සරසවිය පුබුදු කල සාකච්ජා සම්මේලන කලා සංස්කෘතියේ ප්‍රගමනයට වැඩ සැලසුවෝය. සංස්කෘති ආදී සඟරා ද කල මෙහෙය අති මහත්ය. අද සංස්කෘතිය භාර ගෝකුල නෝනා පරිපාලන විභාගේ පිළිතුරු ලියනා හැටි ලියමින් පත්තර පිටු පිරවූවද කලාවට සංස්කෘතියට හෙන හත වැදෙමින් තිබෙන බව දන්නවා දැයි නොදන්නෙමු. ඒ නෝනාට නම් වගේ වගක් නැත. සාකච්ජා නැත. සම්මන්ත්‍රණ නැත.

ඉරාජ්ද අයත් නව පරපුර අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කොට සංගීතය රැක ගන්න යැයි අපි නොකියන්නෙමු. අපගේ අවිහිංසක ප්‍රාර්ථනාව නම් මෙවැනි ගොම රිටි පස් යටට ම යැවෙන විදග්ධ සංවාදයක් අරඹන ලෙසයි. කවර කලා උරුමයක වුව සදාචාරවත් ශික්ෂණයක් පැවතිය යුත්තේය. නිසි වයසට නොඑලඹුණු බැල්ලක හා කිසිදා සුනඛයෙක් එක් නොවන්නේය. කවර ක්ෂුධාවකින් පෙලුනේ වුව, දිය බොමින් සිටින තිරස්චීන සතෙකුට ගිනි බිඳින දඩයක්කරුවෙක් මෙලොව නැත්තේය. එහෙත් මේකා එය ද කළේය. තමා පය ගසා සිටින කලා කෙතේ බිම වපුරා අස්වනු නෙලන්නට මඟ පෑදු ප්‍රවීණයෙකුගේ කුටුම්භය පෙන්වා රන්මසු සොයන්නට පෙළඹුණු වීරරත්න නම් ගැටයාගේ සංගීතය රස විඳීමට නොවේ. විකිණීම සඳහාය. ගමේ ගොඩේ කසිප්පු විකුණන්නෝ බහුලය. එහෙත් ඒ එකෙක්වත් තමා විකුණන කසිප්පු නම් නොබොන්නේය.අස්ථි පන්ජරය දවා හළු කරන බොකු දිරාස් අසල්වැසියන්ට විකුණා ලැබෙන ලාභයෙන් කසිප්පු මුදලාලිලා ගල් අරක්කු බොන්නේය. ඉරාජ් ද මෙකී කසිප්පු මුදලාලී හා සමය. තමන් තබා තමන්ගේ ගෙදර බලු රාලහාමිවත් රස නොවිදින සංගීතය ඉරාජ් තොග ගණනේ විකුණන්නේය.

අපගේ සංගීත සම්ප්‍රදාය අතුඉති ලා වැඩුණු ස්වර්ණමය යුගය නියෝජනය කළෝ මහගමසේකරයන්ය. අමරදේවයන්ය. කේමදාසයන්ය. එකී යුගය ප්‍රතිනිර්මාණය කිරීමේ විභවය ඇත්තේ සංගීතය යැයි පවසා රසිකයාට කොත්තු පාඩම් කියාදෙන ගොබිලන් සතුව නොවේ. දිදුලන අපේක්ෂාවෙන් සංගීතයට ඇළුම් කරන නව පරපුර සතුවය. එකී සමූහයක් යොවුන් සංගීතවේදීන් හා ගායක ගායිකාවන් අතර දීප්තිමත් තාරුකාව උමාරියා සිංහවංශයි. සියවසක් සෙවූව ද සොයා ගත නොහෙන අමිල මිනි සිලක් වන් අනාගත ශ්‍රී ලාංකීය සංගීතයේ ස්වර්ණ මුද්‍රාව උමාරියා යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. ඇය නිරතුරු සතතාභ්‍යාසයේ නිරතව අව්‍යාජ ගමනක් යන්නේ නම් තවත් අඩ සිය වසක් ඇයගේ අසහාය හඬ මාධුර්යය අප කොදෙවුවේ රාව ප්‍රතිරාව නංවනු ඇත.

සංගීතය නම් වූ බිම, ගුවන කරා නැගී වල්පැල මැඩලා එය සාරවත් කෙතක් කිරීමේ සත්කාර්යය සුව පහසු එකක් නොවේ. භාරතයෙන් උගෙන, මෙරටට අනන්‍ය ස්වීය සංගීතයක් සොයා ගිය සුනිල් ශාන්තයන් හට මෙරටේ බලධාරීන් තම කෘතවේදීත්වය පළ කලේ ඔහු ගුවන් විදුලියෙන්ද පන්නා දමමිනි. දිවියේ යම් කලෙක ඔහු තම ජීවිකාව රැක ගත්තේ කැඩී, බිදී ගිය ගුවන් විදුලි යන්ත්‍ර පිළිසකර කිරීමෙනි. ජාතියේ සංගීත ඝාන්ධර්වයා වූ අමරදේවයන් ජාතික සම්පතක් ලෙස රැක බලා ගත්තේ ඔහු අභාවයට පත් වූ දින මිනියට කර ගැසූ හා ආදාහනාගාරයට බරපැණ දුන් එවුන් නොවේ. යකඩ ගැහැනියක සේ තම අයෝමය හස්තයෙන් අමරදේවයන් ළදරුවෙක් සේ රැකගත් ආදරබර විමලාවන්ය. ඉදින් ප්‍රවීණ සංගීතවේදී සජ්ජ්ජනයිනි, ගායක ගායිකා සුධීමතුනි, යලට හා මහට පමණක් කලඑළි රංගන තැබීමෙන් හෝ ටෙලිවිෂන් තිර මත පුයර බබුන් සේ ප්‍රාදූර්නොභූතවීමෙන් උස් සංගීතයක් බිහිකළ නොහැක්කේය. ඉරාජ් වැනි බඩගැත්තරයන්ට දැණෙන පිළිතුර උසස් නිර්මාණ මිස අන් කවරක් හෝ නොවේ.

අපගේ කථානායක කොලු ගැටයා දන්නා සංගීතයක් නැත්තේය. තඩි බෙලෙක් තැටියක් මත දිනකට කොත්තු සීයකට වඩා සෑදීමට දන්නා කොත්තු බාස්ලාට ඒකාට වඩා රසට හා හැඩට ශබ්ද කළ හැක්කේය. පරිඝනක තාක්ෂණය දත් – සදාචාරය නොදත් ලොකු කුඩා කවර උලමෙකුට වුව ඔහුගේ තැන ගැනීම අපහසු නැත. මෙරටේ සංගීත සෞන්දර්යය විකසිත වූයේ හින්ස්ථානී රාගධාරී සංගීතය ඇසුරේය. පාරම්පරික ජනගී කලාව ඇසුරේය. අමරදේව එපමණ ප්‍රාතිහාර්යයක් පෑවේ ‘ඒක රේඛීය කාල අවකාශික චලිතය’ ලෙස සැලකෙන සංගීත ප්‍රවර්ගය තුළය. ඉන් වැඩක් ගන්නා එකා දිනුම්ය. ඒත් මුදලම පතන කලාකාරයන් සමග දිගු ගමනක් යෑම උගහටය. මෑත වේදිකා ගත කල නාට්‍යයක් නම් ලද්දේ බල්ලොත් එක්ක බෑ යනුවෙනි. ඒ ගැන ඒ ඇතිය. මකුලොලුව පෑදූ ජන ගී මිනි ආරද, රන්වලයන් බොර වන තෙක්ම කැලැත්තුවේය.ඔහුගේ නික්ම යෑමෙන් එය තවත් බොර වී ඇත්තේය. කෙතරම් ද යත් එය දැන් දැන් අවුරුදු කාලෙට සහන් රන්වලයන්ට පොකට් මනි සොයා දෙන පල් වලක්ය.

”සාහිත්‍ය,සංගීත,කලාවන්ගේ රසය නොහඳුනන්නා අං තට්ටුවක් හා වලිගයක් නැති ගවයෙක් වැනිය. ඔහු තණ කොළ අනුභව නොකිරීම ගවයන්ගේ වාසනාවකි”යි පුරාතන යතිවරුන් පැවසුවේය. ඉදින් සංගීතයේ රහ දන්නෝ මේ හාදයාට අං තට්ටුවක් හා වාලධියක් පැලැන්දුවද කම් නැත. එවිට ඔහු සංගීතය වෙනුවට තණ හෝ කන්නේය. ඉරාජ්ගේ සංගීතය රෙගේද? නැත! ජෑස්ද? නැත! හිපොප්ද? නැත! ෆෝක් මියුසික්ද? නැත! ,

රොක්ද? නැත! පොප්ද? නැත! එසේනම් එය කවරක්ද? එය අන් කිසිවක් නොව හිකප්ය? ඔහුගේ ඉක්කාව අපට සාංකාවකි!!

මංජුල ගජනායක | Manjula Gajanayaka