හෘද සාක්ෂියේ සටහනට පෙර කිව යුතු යමක්….

අප විසින් තවමත් දිනෙන් දින ගමන් කරමින් සිටින අධම හා අශිෂ්ට සමාජය කෙරෙහි තවදුරත් වලංගු විය හැකි ශිෂ්ටත්වයක් නැති බවට යළි යළිත් ඔබ මම අත්දැකීම් ලබමින් සිටියි. ලාංකීය මිලේච්ජ සංස්කෘතික මිනිස් හදවත් තුළින් අස්ථන්ගතව ඇති මානව හිතවාදී බව, දයාව, ළතෙත් බව මා කතා නායකයාට පහර දෙමින් ඔහුගේ ඉරණම සම්පුර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් විය. තම උපන් රටේ පාදඩ පාලනය ට සහ ජාතිවාදයට එරෙහි වූ බොහෝ දෙනෙකු එක් රැයකින් මරු තුරුලට ගිය අතීතයක් අපට තිබේ. එක්කෝ මේ රට හැර යාමට ඔවුන්ට පාලකයෝ බල කොට තිබේ. නැතහොත් හදවතින් මෙරට ගැන කම්පා වෙමින් තවමත් පෑනෙන් හෝ පිටුවහළේ සිට ඔවුහු සටන් කරමින් සිටිති. එවන් මිනිසුන් නාම මාත්‍රික රජවරුන් හෝ වන්දිබට්ටයන් නොවන්නේ එහෙයිනි. මට අනුව නම් ඔවුහු නියම මිනිසුන්ය. එහෙත් ඔවුනට අදත් හෙටත් මේ මහපොළොව මත ඉතිරි වූවේ ඔවුන් වෙනුවෙන් ජිවිතය පුරාම කදුළු බිවූ ආදරණිය සමීපතමයන් පමණි.

රෙජීම් ගත පාලනයක හිරවී සිටිමින්, තම හෘදය සාක්ෂියට එකඟව යහපත් රටක් වෙනුවෙන් සිහින දැකීම නිසාම පණ ගැට ගසා ගැනීමට තිබූ අවසන් බලාපොරොත්තුවද සිදී ගිය මිනිසෙකු තවදුරත් කළ යුත්තේ කුමක්ද ? යයි මම ඔබගෙන් අසන්නේ එවන් වටපිටාවක් නැවත සිහිකැදවමිනි.

තම වැඩෙමින් හිදින ආදරණිය දරුවන් හැර කළු ගලේ තවදුරටත් ඔලුව හප්පා ගන්නවාද, නැත්තම් විකෘතියක් ව ඇති මේ සමාජ ගොහොරුව වෙනුවෙන් ඔවුන් බිළිදෙනවාද යන තීරණය ගත යුතු අවසන් නිමේෂය එළඹුණු කල්හි ඔහු තෝරාගන්නේ තම ලෙයින් මසින් හැදුණු දරුවාය.

ආත්මාර්ථකාමිත්වය ඔඩු දිව ගිය සමාජයක මම ඔහුගේ තීරණය එක හෙළා අනුමත කරමි. එයට එකඟ වෙමි. ඒ, එම මොහොතෙත් අදත් ඔහුට මරණයට එරෙහිව ජීවිතය වෙනුවෙන් තෝරාගැනීමට තිබු එකම හා සාධාරණ තෝරාගැනීම එයම පමණක් වන බැවිනි.

අද සිට අතීතය බලන්නෙකුටත්, අතීතයේ සිට අද දකින්නේකුටත් මේ හෘදය සාක්ෂියේ සටහන වටින්නේ ඒ නිසාය.

ඒ අපේ රටේ ප්‍රවීන ඡායාරූපශිල්පියෙක්ව සිටි, අද පිටුවහලේ ජීවත්වන අනුරුද්ධ ලොකුහපුආරච්චිගේ හෘද සාක්ෂියේ සටහනයි. [ඉෂාරා ධනසේකර]

අද(සැප්තැම්බර් 03) පුතාට 23ක් පිරෙනවා. එයාගෙ වයසට දැරිය නොහැකි තරම් මානසික පීඩාවන් එයාගෙ ළමා කාලය පුරා එයාට විදින්න සිද්ධවුනා.

1996 දි මම මහ බැංකු බෝම්බ ප්‍රහාරයට මැදිවෙනකොට එයා ගොඩක් පොඩියි. ඒත් ඒ සිදුවීම් රූපවාහිනියෙන් පෙන්වනකොට අම්මගෙ ප්‍රතිචාරවලින් ඒ පෙන්නන්නේ තාත්තට අනතුරක් බව තේරුම් ගන්න පුලුවන් කමක් තිබුනා. ඒකෙන් සති කිහිපයක් යනකම් එයාට කතා කරන්න බැරි වුනා.

1999දි ජනාධිපති චන්ද්‍රිකාට එල්ලකළ බෝම්බ ප්‍රහාරයෙන් මම තුවලවෙලා ඇවිදින්න බැරිව ගෙදර ගෙනා වෙලාවෙ ඒ පුංචි ඇස් දෙකෙන් මා දැක්ක බය සහ ආදරය මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මම එදා එයාට කිව්වා ආයෙ මම බෝම්බ පිපිරෙන තැන්වලට යන්නෑ කියල.

ඊට පස්සෙ මම වැඩට ගියහම ටෙලිපෝන් කරලා තත්ත කොහෙද ඉන්නෙ කියල අහන්න එයා පුරුදු වුනා. දවසක් මම ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ වැඩ කරමින් ඉන්නකොට අම්මගෙ ෆෝන් එක අරන් එයා කතා කරල තාත්තෙ කොහෙද ඉන්නෙ කියල ඇහුව. පසුබිමේ ඇහෙන වෙඩි සද්ද නිසා මට එදා එයාට බොරු කියන්න බැරිවුනා.

පංතියෙ ඔක්කොම ලමයි ඉස්සරහ හිටවල “තොගෙ අම්මයි තාත්තයි බෝම්බයකට අහුවෙලා මකබෑවෙන්න ඕන” කියල පංතියේ ගුරුවරිය දෙස් තියද්දි එයාට ඇස් දෙකේ පිරුන කදුලු වැටෙන්න නොදී තියාගත්තෙ ඒ වෙලාවෙ එයාට මොනව හිතුන නිසාද කියල මම අදත් හිතනව. පුතා ආනන්දෙ හතවසරෙදි මම පන්තිවලට ගුරුවරුන්ගේ පැමිනීම ගැන ගුරුදෙගුරු සංගමයේදී ප්‍රශ්න කිරීම නිසයි ඒ.

ලංකාවෙන් පිටවෙනකොට එයා ආනන්දෙ අට වසරෙ පංතියෙ. ඡායාරූප කලාවට එයාටත් උපන් හැකියාවක් තිබුනා. 6 වසරෙදි ආනන්දෙ ඡායාරූප සංගමයේ සාමාජිකයෙක් වුන එයා ලංකාවෙන් අපි පිටවෙනතුරු හැම අවුරුද්දෙම දිවයින පුරා තිබුන පාසැල් ඡායාරූප සංගම්වල තරග වල පලවන හෝ දෙවන ස්ථාන දිනාගත්ත. මුල් කාලෙ සමහරු හිතුවෙ එයා ඉදිරිපත් කරන්නෙ මම ගන්න ඡායාරූප කියල. ලාල් හෑගොඩ මහත්මයා පවා එහෙම හිතලා තිබුන. ආනන්දයේ පුතාගේ ඡායාරූප සංගමයේ ජේෂ්ඨ සහෝදරවරුන්ට ඒකට ගොඩක් තරහ ගියා. පසුව ඔවුන් පුතාගෙ ඡායාරූප වලට මගේ සම්බන්ධයක් නැති බව ඔප්පු කලා. මේ සහතික පත්‍ර 100 කට ආසන්න ප්‍රමාණයක් පුතා ගාව තිබුන.

2008 මුලදි ජනාධිපතිවරයා සමග යුද්ධය සම්බන්ධ වූ සාකච්ඡාවක් එතන හිටිය බැසිල් රාජපක්ෂ සමග වන මතබේදයකින් ඉවර කරලා නැගිටලා එන්න සිද්ද වුනා. ඒ ජනාධිපති මන්දීරයට යන මගෙ අවසාන ගමනයි. 2008 අවසාන කාලය වෙනවිට එතෙක් මාව මරනව කියල කෙටි පණ්විඩ එවපු ජංගම දුරකථණය මට එවපු අන්තිම පණිවිඩ වුනේ පුතා ඉස්කෝලෙ යන එන වෙලාවලුයි වාහනේ නොම්මරෙයි. එදා මගේ ජීවිතේ ඉස්සරහට යන එක නැවතුනා. එදා මම අවබෝධ කරගත්ත අපි ආදරය කල ඒ පොළොව තවදුරටත් අපට අයිති නැති බව. ඒ වෙනකොටත් ක්ෂණික හෘදයබාධයකින් තාවකාලික අංෂබාගයට ගොදුරු වුන සුජීගෙන් මේ හැමදේම හංගගෙන ඉන්න මම උත්සාහ කලා.

අපි ලංකාවෙන් පිටවෙනකොට පුතා විශ්ව ආනන්දෙ අට වසරෙ, දුව අනුදි ඉස්කෝලේ පලවන වසරෙ. පුතාගෙ ඉස්කෝලෙ සහතික මගේ සගයෙක් එන්ගලන්තෙට පාර්සල් තැපෑලෙන් එවන්න උත්සාහ කලා, ඒත් ඉහලින් ආ නියෝගයක් කියල ඒව ගුවන් තොටුපලේ ගුවන් හමුදාව රදවා ගත්ත. ඒත් පුතා ඒ ගැන මගෙන් කවදාවත් ඇහුවෙ නෑ.

මට ඕන වුනේ මගේ දරුවො සමාජය ඉස්සරහ ලොකු මිනිස්සු කරන්න නෙවේ, සමාජයට යහපත් මිනිස්සෙක් කරන්නයි. මගෙ පුතා දිහා බලනකොට මට හිතෙනවා මම ඒ අරමුණ සම්පූර්ණ කරගත්ත කියල. මම මගේ පුතා ගැන ආඩම්බරයි.

අනුරුද්ධ
ලොකුහපුආරච්චි | Anuruddha Lokuhapuarachchi[FB]