“ඇයි මේක 28 වුනේ, 38 නොවී?” මම ප්‍රසන්න ජයකොඩිගේන් ඇසුවේ වැල්ලවත්තේ කාන්තා අධ්‍යාපන සහ පර්යේෂණ කේන්ද්‍රයේ දී පසුගිය දා, 28 දෙවන වතාවට ද ‘28‘ නැරඹීමෙන් පසු ව වූ කතාබහේ දී ය. අසූව දශකයෙන් පසුව වන පරම්පරාවේ දේශපාලනය හදුනා ගැනුමත්, එකී දේශපාලනයේ දී ලිංගිකත්ව සාකච්ඡාවේ පිහිටීම පෙන්වා දීමත් මත මෙය 28 වූ බව ඔහුගේ හැගීම විය. 28 ගැන ආපසු සිතා බැලු මම, සුද්දී සමඟ ඉසිප්‍රියා එක රාමුවක් වෙත ගෙන ආවෙමි. මේ දකුණේ සුද්දී ට උතුරේ ඉසිප්‍රියා මුණ ගැසීමේ කතාවයි.

28 සුද්දී හැඩයි. ඇයගේ හැඩයට ගමේ කොල්ලෝ කුරුට්ටෝ පමණක් නොව නීතියෙන් බැඳී පවුලේ මාමණ්ඩිය ද රුචි විය. නමුත් ඔවුන් සියලු දෙනා ඇය දෙස බැලිවේ ‘කවුළුවක්’ තුලිනි. මොකද්ද මේ කවුළුව සහ කවුද මේ කවුළුව ඉදි කළේ? එය ‘සංස්කෘතිය’ නම් කවුළුව වන අතර, 28 පසුබිමෙන් ඇසෙන නාද මගින්, දකුණේ සංස්කෘතික කවුළුව ‘සිංහල බෞද්ධ’ පාලනයට යටත් බව පෙනී යයි. 28න් එලියට විත්, පරික්ෂා කරන්නේ නම්, උතුරේ දී මෙම කවුළුව ‘දෙමළ- හින්දු ’ අධිපතිත්වයට ද, තවත් අවකාශයක දී එය ‘මුස්ලිම්- ඉස්ලාම්’ සහ ‘ක්‍රිස්තියානි’ආධිපත්‍යක් තුළ ද ගොඩනැගී ඇත.

කවුළුවේ පරම අයිතිය සහිත කණ්ඩායම, එයින් දර්ශනය විය යුතු සහ විය හැකි විෂය තීරණයකර ඇත. සිංහල- බෞද්ධ වටපිටාවේ දී මුණ ගැසෙන මහාමායාව, යශෝධරාව, විශාකාව ‘යහපත්’ ස්ත්‍රී විෂයන් ලෙසත් අම්බපාලිය, ලිංගික ශ්‍රමිකාවක ලෙසත් තීරණය කරනු ලබන්නේ මෙකි කවුළුව ඉදි කළ පුරුෂ-මුලික බලය හිමි කණ්ඩායමක් විසිනි. නමුත් මහාමායාවට මෙන්ම අම්බපාලිය ද එකම ශරීර අවයවයන්ගේ යුත් ජීවින් දෙදෙනකි. එහෙත් ඔවුන් ට හිමි, සමාජ ස්ථර, නියෝජනය සහ පිළිගැනීම නිශ්චය කලේ එක් කාණ්ඩයමක් විසිනි. නිසැකව, 28 සුද්දී ගේ පැවැත්ම සහ ජීවිතය පිලිබඳ තීරණය කරණ ආකාරයටමය.

පුරුෂ මුලික සමාජයේ තීරණයට පිටින් යන ගැහැණිය ‘නරක’ බවත් ඇය උත්තරීතර නොවී ‘පහත් වේශාවක්’ බවටත් අර්ථකථනය කරයි. අවාසනාවන්තම කරුණ නම් එවනි නරක යැයි තීරණය කළ ගැහැණුන් වෙත ගල් ගැසීමට මුලින්ම ඉදිරිපත් වන්නේ තමා හොඳ යැයි කියාපාන සමාජ ආයතන්ගේ ප්‍රධානින් (උදහරණ ආගමික ආයතන) සහ ස්ත්‍රීන්ය.

චරිතවත් ගැහැණු නිෂ්පාදනය කරණ පුරුෂ මුලික සමාජය, ලිංගිකත්ව අධ්‍යාපනය ‘අසංවර කතිකාවක්’ ලෙස සලකා බැහැර කරයි. සුද්දී මෙන්ම බහුතරයක් මෙරට වැඩිහිටියන් සහ බාලයන්, තවම ජීවයේ අඛණ්ඩතාව පිලිබඳ වන, ප්‍රජනන පාඩම ඉගෙන නොමැත. ලිංගික අධ්‍යාපනය සාමාන්‍ය සමාජයක අත්‍යවශ්‍ය අංගයකි. එය ප්‍රහසනයට හෝ හාස්‍යට ලක්කළ යුතු හෝ ප්‍රසිද්ධියේ කතා කිරීමට නොහැකි කරුණක් නොවේ. මානවයා ශිෂ්ට කිරීමේදී එය අනිවාර්යෙන්ම උගත යුතු කරුණකි. ලිංගික අධ්‍යාපානය මගින් ශිෂ්ට වූ ජනයා, පෞද්ගලිකත්වය, අන්නොන්‍යය ගරුකිරීම සහ සම්බන්ධතා වලදී තම අස්ථාන නිසිලෙස වටහා ගනී. ඉතාම ඛේදනීය තත්වය නම්, විධිමත් අධ්‍යාපන ආයතන මගින්, තාර්කිකභාවයෙන් උගත යුතු ලිංගික අධ්‍යාපනය මෙරට වැසියන්ට කියා දීමට ඉදිරිපත්ව ඇත්තේ කවිබණ සහ කාලින ධර්ම දෙසුම් මගින් ජිවිත්වන විවරධාරින්ය. කාගම සිරිනන්ද නමැති සිංහල- බුදුදහමෙන් ජීවත් වන චිවරධාරියා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ, ‘ලංකාවේ පුරුෂ දුෂණ නෑ. තියෙන්නේ ස්ත්‍රී දුෂණ. ඇයි ඒ? ගැනුකම පරිස්සන් කරන්න ඕනේ. ගැනු කියන්නේ මැටි කළ වගේ. බිදුනොත් බිදුනමයි. වැඩක් නෑ’ ලෙසය (https://www.youtube.com/watch?v=lKeC8MFOF48).

මෙවැනි චීවරධාරී අමෝඥයන්ගේ කියුම්, බෞද්ධ දර්ශනය ලෙස සලකා පොදු අවකාශ තුළ ප්‍රචාරය කරනු ලබන ආයතන පවතින සහ පුද්ගලන් සිටින රටක, ලිංගික අධ්‍යාපනය , මානවීය අවශ්‍යතාවක් සහ අසාමාන්‍ය සිදුවීමක් ලෙස නොසලකා සංස්කෘතික ගැටලුවක් ලෙස හඳුනාගන්නා සමාජයක් බිහි වී ඇත. එවැනි සමාජයක, චීවරධාරීන්, තම අත්දැකීමෙන්, ලිංගිකත්වය, විවහා ජීවිතය, දරුවන් ප්‍රජනනය කිරීම පිලිබඳ ජනතාවට කරුණු කියා දීමට පෙරට එන විට, පාසැල්, සෞඛ්‍ය සහ විද්‍යාව වෙනුවෙන් වන ආයතනයන් සිදුකළ යුතුව ඇත්තේ ආගමික දර්ශනය ජනතාවට කියා දීමය (අහෝ!!!). එවැනි පසුබිමක තව තවත් සුද්දිලා ඇතිවන විට, එය ක්‍රමයේ නොව සුද්දිගේ වරද බව මෙවැනි විචාරධාරින් සහ එවැනි චීවරධාරී බණ අසන සමාජය විසින් වැරදි ලෙස පෙන්වා දෙනු ඇත.

විසිඅටේ සුද්දී, ස්ත්‍රීන් ආකෘතිගත කරණ මෙම අධ්‍යාපනය ක්‍රමය ප්‍රශ්න කරයි. ස්ත්‍රීන් ලිංගික උපකරණයක් නොවන බවත්, එලෙස ලිංගිකත්වය මත ස්ත්‍රීන් යටපත් කිරීම, දුර්වල පුරුෂයාගේ ලක්ෂණයක් බවත් 28න් පෙනී යයි. මෙකි සුද්දී ගේ කතාවේම අනෙක් කතාව නම්, මෙරට පැවති යුද්ධයෙන් සිදුවූ අහිංසක මිනිස් ජීවිත විනාශය බලයේ සිටි සහ සිටින කණ්ඩායම් විසින් ප්‍රතික්ෂේප කිරීමයි. මෙරට වූ විමුක්ති කොටි යනු ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් නොවේ. එය මිලිටරි ආයතනයකි. ආයුධ දැරීම, අසන්මතික මතධාරීන් විනාශ කිරීම සහ ‘අනිවාර්ය ගෙවීම් ජිවිතයෙන් හෝ මුල්‍ය ආකාරයෙන්’ ගෙවීමට උතුරු- නගෙනහිර දෙමළ ජනයාවෙත බල කිරීම ඔවුන් දේශපාලන ලක්ෂණ විය. එනයින්ම, ඔවුන් සහ දෙමළ වීම හේතුවෙන් ‘විමුක්ති කොටි ලෙස’ ,සැක කරමින් උතුරු- නැගෙනහිර ජනයා මර්ධනය කර, යුධ කිරීමට කිසිදු ආණ්ඩුවකට නොහැකිය. ආණ්ඩුවක් එසේ හැසිරේ නම්, එය, බියගුළු ආණ්ඩුවකි. මක්නිසාද යත්, විමුක්ති කොටි ඇතිවීමේ හේතුව ප්‍රසිද්ධියේ කතා නොකර, සහ එකී හේතු සෘජුවම ආමන්ත්‍රණය නොකර, ඔවුන් මිලිටරි වීම නිසාවෙන්, ආයුධ බලයෙන් පාරාජය කර, එය තළුමරමින් සමරා, තමා භුමියේ එකම රැකවලා තමන් බව ඔප්පු කිරීම බියගුළු චරිතාංගයකි. එවැනි ක්‍රියාවක් ලිංගික අධ්‍යාපනය නිසිමාර්ගිකව නොලද සුද්දී, වලත්ත ගැහැණියෙක් ලෙස හදුනා කෙළසා, පසුව ගල් ගැසීමට සැරසෙන බියගුළු ස්ත්‍රීන්ගෙන් සහ පිරිමින්ගෙන් නොවෙනස්ය.

විමුක්ති කොටි යනු, පැවති වාර්ගිකත්වය හේතුවෙන් වෙනස්කර සැලකීමට, ප්‍රතිචාර දැක්වීමටත්, මෙන්ම, එකී ප්‍රතිචාර, විප්ලවකාරිව, සමාජ පරිවර්තනයක් වෙත යොදාගනිමින්, දෙමළ ජනයාගේ විමුක්තිය වෙනුවෙන් ගොඩනැගී බව, අදටත් සුද්දීලාට හිරිහැර කරණ සිංහල- බුද්ධාගමිකයන් පිළිනොගනී. දකුණේ දෙමළ කෝවිල් තියෙන විට, උතුරේ පන්සල් හැදීම වැරදිද යැයි සිංහල- බුද්ධාගම් පිරිස් ප්‍රශ්න කරයි. උතුරේ අභිනව පන්සල් ඉදිකරන ඉඩම් කාගේද? ඒවා රාජ්‍ය දේපල නම්, එවැනි රාජ්‍ය දේපල පන්සල් වෙත පවරාදීමට ආණ්ඩුවට අයිතියක් වේද? ඒවා මහජන දේපළ නම්, එක් වාර්ගික ප්‍රජාවක් පමණක් නියෝජනයවන ලෙස ආගමික ආයතන ඉදි කළ හැකිද? එවැනි පන්සල් ඉදිකිරීමට, මෙරට සියලු මහජනයාගෙන් බදු මුදලින් නඩත්තුවන රාජ්‍ය ආයතන වන නාවික සහ ගුවන් හාමුදා ශ්‍රමය භාවිතා කළ හැකිද? (http://news.navy.lk/eventnews/2014/04/04/201404041705a/). උතුරු- නැගෙනහිර ප්‍රදේශයන් හි හමුදාව පවතින්නේ, එක් ආගමක සම්ප්‍රධායක් වන ‘කටින පිංකම්’ පැවත්වීමට ද? උතුරු- නැගෙනහිරෙන් පිට පවතින ප්‍රදේශ හි, ඉඩම් හිමිකාරිත්වය, දෙමළ ජනයාට නීතිමය ලෙස හිමිව පවතීනම්, එහි කෝවිල් ගොඩනැගීම වරදක් වේද? හින්දු කෝවිල් වන්දනාවේ සිංහල- බුධාගම් පිරිස් යෙදේ නම්, උතුරු- නැගෙනහිර භූමියෙන් එපිට කෝවිල් ඉදිකිරිම වැරදිද? මේ ගැටළු කිසිවක් සාකච්ඡා නොකර, අප, උතුරේ පන්සල් සහ පිංකැට සෑදීම නිවැරදි යැයි පිළිගැනිම කොතරම් සාහසික ද?.

විමුක්ති කොටි විචාරා සිටියේ, මෙම සිංහල- බෞද්ධ බලහත්කාරිත්ව, රාජ්‍ය අනුග්‍රහය යටතේ, සිංහල – බෞද්ධ නොවන පිරිස් වෙත යෙදීමය. එවැනි අරගලයක, සුද්දී හා සමාන ස්ත්‍රියක් වූ යේ ඉසිප්‍රියාය.

කවුද මේ ඉසිප්‍රියා? ඉසිප්‍රියා හෙවත් ශෝභා 1982 දී ඩෙල්ෆ් දුපතේ උපන් අතර, වෙම්බාඩි උසස් බාලිකා පාසලේ ඉගනුම ලැබුවාය. ශ්‍රී ලංකා ආණ්ඩුවේ රිවිරැස මෙහෙයුම හේතුවෙන් පිඩාවට පත්ව, 1995 දී ඇය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වන්නිය වෙත සංක්‍රමණය විය. ඉන්පසු ඇය විමුක්ති කොටි සාමාජිකාවක් වූ අතර, 2007 දී එම සංවිධානයේම සාමාජිකයකු සමඟ විවහා විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රහාර හේතුවෙන්, 2009 මැයි 15 වැනිදා ඇයගේ සිගිති බිලිදිය අකාල් මිය ගිය අතර, 2009 දී ඇයගේ සහකරුවාද යුද්ධයේදී මියගොස් ඇත (https://www.revolvy.com/main/index.php?s=Isaipriya). පටාචාරා සහ සුද්දී සමාන මෙකි ගැහැණිය, හමුදා අත්අඩංගුවටගෙන පසුව මරා දමන ලදී (https://www.youtube.com/watch?v=nwrj7_OdOio).

සුද්දී හා සමව ඉසිප්‍රියා ද නිදහස වෙනුවෙන් සටන් කළාය. සුද්දී, පිඩාව සිදුකරනු ලබන ආයතන අත්හැර ගොස්, පිඩාවේ ඒජන්තවරු ආශ්‍රය කරමින් සහ එක් අවස්ථාවක ඔවුන් ව නොසලකා හරිමින් ද තමන්ගේ අවකාශයක් සහ නිදහසක් ලබාගති. ඇයගේ මරණය, ඇය සමඟ වන රමණය හා සමවන වින්දනයක් ලෙස සලකා, අශ්ශීල ලෙස මාධ්‍ය මගින් වාර්තා කිරීම, නොතැකිමම, ඇය ආකෘතියක් තුල ජිවත්වීම ප්‍රතික්ෂේප කිරීම සහ නිදහස සොයා යාමකි. ඉසිප්‍රියා ගෙන ගිය සටන, හමුදා බලය හේතුවෙන් පරාජය විය. නමුත්, අප සියලු දෙනාටම සුද්දිගේ සහ ඉසිප්‍රියාගේ මරණය වෙනුවෙන් වගවීමක්වේ. එනම්, ඔවුන්ගේ ආත්ම වෙනුවෙන් සාධාරණය ඉටුකිරිමෙනි. මරා දැමු ඔවුන් වෙනුවෙන් ඔබේ හඬ අවධි කිරීමට ඔබට විවිධාකාරව අවස්ථා ලැබෙනු ඇත.එවිට නිහඬ නොවන්න.

අරුණි සමරකෝන් | Aruni Samarakoon