සිංහල, Democracy, Human Rights, Human Security

මිනිසුන් අමාරුවේ නොදමා චෙක් කරන්න බැරිද?

දිවයිනේ කුමන මාර්ගයක ගමන් කළද කුමන හෝ මාර්ග බාධකයකදී පරීක්ෂාවට ලක්වීම මෙරට වැසියන්ට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. මෙවැනි මුරපොළවල් කිහිපයක මගීන් හා භාණ්ඩ පරීක්ෂාවට ලක් කිරීම පසුගිය සතියේදී අපගේ නිරීක්ෂණයට භාජනය විය. අප ගමන් කරමින් සිටියේ දිගු කලකින් ප්‍රතිසංස්කරණයට ලක් නොවූ මාර්ගයකයි. මොණරාගල සිට අම්පාර දක්වා දිවෙන ඒ මාර්ගයේ වඩිගාගල මුරපොළ අසල අපව නතර කෙරිණි. ඒ වන විට රාත්‍රී 10. 30 ට ආසන්නව තිබිණි. අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ක්ලෙමෝ බෝම්බයක් පුපුරා යෑම නිසා මෙම මුරපොළින් ඔබ්බට මාර්ගය වසා දමා තිබිණි.

මගී බස් රථ, වෑන්, ලොරි දිගු පෝලිමක් ලෙස පෙළ ගැසුණේ විනාඩි කිහිපයක් තුළයි. නොයෙකුත් රාජකාරි කටයුතු සඳහා ගමන් ගන්නා සියලු දෙනාම මුරපොළ අසල රැය පහන් කළහ.

වඩිගාගල ආසන්නව පිහිටි සියඹලාණ්ඩුව මුරපොළ පසු කරන කිසිවෙකුට මෙම පාර වසා දමා ඇති බව දැනුම් දුන්නේ නැත. ඒ එැතැන සිටි පොලිස් නිලධාරීන් පාර වසා දමා ඇති බව නොදන්නා නිසාය. මුරපොළවල් දෙක අයත් වන්නේ පොලිස් බල ප්‍රදේශ දෙකකට බැවින් එහි සිටින නිලධාරීන් ඒ පිළිබඳව දැනුවත්ව නොමැත.

පසුදාත් උදෑසන 8.45 ට පමණ වන තෙක් මාර්ගය වසා තිබිණි. කුඩා ළමුන්, කාන්තාවන්, වැඩිහිටියන් සියලු දෙනාම දැඩි දුෂ්කරතාවලට පත්විය. මේ ආකාරයෙන් පෙර දැනුම්දීමක් නොමැතිව හදිසියේ මාර්ග වසා දැමීම ජනතාව දැඩි පීඩාවට පත් කරයි. විකල්ප මාර්ගයකින් හෝ ඔවුන්ට සිය කටයුතු කරගෙන යාමට හැකිවන සේ පහසුකම් සැලසීිම වැදගත් බව ආරක්ෂක බලධාරීන්ට පසක් වන්නේ නැත. ඊට හේතුව ජනතාව කොතරම් පීඩාවට පත්වුවද ‛‛ජාතික ආරක්ෂාව’’ වැදගත් බව ඔවුන් සිතන නිසාය.

ත්‍රීමලය නගරයෙන් පිටවන සියලු මගීන් හා රථවාහන පරීක්ෂාවට ලක් කෙරෙනුයේ සර්ධපුර මුරපොළේදීය. ඉතාමත් ප්‍රාථමික තාක්ෂණයක් යොදාගනිමින් මෙහිදී පරීක්ෂණ කටයුතු සිදුවේ. යකඩ කූරකට ටෙනිස් බෝලයක් හෝ රබර් බෝලයක් සවි කරගත් උපකරණයකින් වාහනවල තහඩුවලට ගසා පරීක්ෂා කරන පොලිස් නිලධාරීන් මෙහිදී දැකගත හැක.

මගීන්ගේ බෑග්වල ඇති සියල්ල ඉවතට ඇද දමා පරීක්ෂා කරයි. මාලු වෙළෙඳුන්ට මෙහිදී බරපතල පාඩු සිදුවෙයි. යතුරුපැදිවල බැඳි මාලු පෙට්ටි එකිනෙක ලිහා මාලු ඉවතට ගෙන පාර පුරා දමා පරීක්ෂා කරයි. තරමක් විශාල මාලු කූරීන්ට යකඩ කූරකින් ඇණ බැලීමට පොලිස් නිලධාරීහු අමතක නොකරති.

පොලිස් මුරපොළවල් කිහිපයකදී මාලු පෙට්ටි පරීක්ෂා කිරීමෙන් පසු ඒවා සාධාරණ මිලකට අලෙවි කරගත නොහැකි බව මාලු වෙළෙන්දෝ කියති. එහෙත් මේ ක්‍රියාවලිය පිළිබඳ ඔවුන් නිහඬයි. කිසිවෙක් කිසිවක් නොපවසයි. පොලිස් නිලධාරීහු ඔවුන් සෑහීමකට පත්වන තුරු පරීක්ෂා කරති. පසුව අවසර පත්‍රයක් රැගෙන මුරපොළින් ඔබ්බට ගමන් කළ හැකිය.

ත්‍රීමලය මාර්ගයට ඇතුළු වන මගීන් හා රථවාහන පරීක්ෂා කරනුයේ හතරැස් කොටුව මුරපොළේදීය. එහිදීද සිදුවනුයේ පෙර කී ප්‍රාථමික පරීක්ෂණ ක්‍රියාවලියයි. අම්පාර මඩකලපුව ප්‍රදේශවල සිට එන යන මගින් හා රථ වාහන පරීක්ෂාවට ලක් කෙරෙනුයේද මේ ආකාරයෙන්මය.

පැය ගණන් මුරපොළවල් අසල රස්තියාදු වීමටත්, ගමන් මලු ඔසවාගෙන බොහෝදුර මුරපොළින් එහාට ගමන් කිරීමටත් ජනතාවට සිදුවේ. ජනතාවට පීඩාකාරී නොවන අයුරින් මෙම පරීක්ෂාවන් සිදුකිරීම සඳහා උසස් තාක්ෂණික ක්‍රම මෙන්ම ආචාරශීලී ආරක්ෂක නිලධාරීන්ද යෙදිය යුතු වේ. එසේ නොවන තාක් මේ මුරපොළවල්වලින් ගමන් ගන්නා දෙමළ ජනයා මෙන්ම සෙසු ජනයාත් තවදුරටත් පීඩාවට පත්වෙනු ඇත.
අතුල