හැම දෙයකම නරක පමණක් දකින සර්වදෝෂවාදීන් සහ විපක්ෂ නායකයන්ගේ විවේචන බැහැර කරමින් ජනාධිපති සිරිසේන පසුගිය බ‍්‍රහස්පතින්දා රටට සහතිකයක් දුනි. එනම්, 2015 පෙබරවාරි 1 වැනි දා සිට 2016 මාර්තු 31 වැනි දා දක්වා සිදුව ඇති මහ බැංකු බැඳුම්කර ගනුදෙනු ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ සඳහන් බරපතල චෝදනාවන්ට ලක්ව සිටින සියල්ලන්ට එරෙහිව ඵලදායී සහ කඩිනම් නීතිමය පියවර ගන්නා බව ය.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ චර්යාව ආචාර්ධර්ම විරෝධී වන බවට කොමිසම චෝදනා කොට තිබේ. එසේම ඔහුගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් සම්බන්ධ ‘පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස්’ සමාගම මේ බැඳුම්කර ගනුදෙනු හරහා රුපියල් බිලියන 11.1 ක අධික ලාභයක් ලබා ඇති බවත් එම කොමිෂන් වාර්තාව පෙන්වා දෙයි. එසේ හෙයින්, ඔවුන් විසින් කොල්ලකන ලද මහජන මුදල් ආපසු අය කර ගැනීම සඳහාත්, ඔවුන්ට දඬුවම් පැමිණවීම සඳහාත්, සිවිල් සහ අපරාධ නඩු පැවරිය යුතු බවට කොමිසම නිර්දේශ කරයි. පිටු 1257 කින් යුත් මේ වාර්තාවට තවත් ඇමිණුම් සහ නිර්දේශ ඇතුළත් ය. මේ අතර, අවශ්‍ය පියවර ගැනීම සඳහා එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.

එසේම, මීට පෙර මෙවැනි කොමිෂන් වාර්තා කොහේ හෝ ලාච්චුවක හෝ රාක්කයක පුස්කෑ අතීතයට වෙනස්ව, මෙවර එම වාර්තාව තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, ඒ හේතුවෙන් එය ජනතාවගේ දැන ගැනීම සඳහා වන වාර්තාවක් වනු ඇති බවත් කී ඔහු, කොල්ලකෑ ධනය ආපසු ලබා ගැනීම ක‍්‍රමවත් සහ වේගවත් කරන නව නීති ගෙනෙන බවත් කීය.

මේ අතර, 2008 සහ 2014 කාලය තුළදීත් මහ බැංකුවේ මෙවැනි නීති විරෝධී බැඳුම්කර ගනුදෙනු සිදුව ඇති බවට සාක්ෂි ඇතැ යි කොමිසම කියා සිටී. එම සිදුවීම් විභාග කර බැලීමට සහ එසේ කොල්ලකෑ ධනයත් ආපසු අය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇතැ යි කොමිසම නිර්දේශ කරයි.

මේ කොමිසමට අමතරව, බරපතල වංචා සහ දූෂණ මෙන්ම බලය, රාජ්‍ය සම්පත් සහ වරප‍්‍රසාද අපයෝජනය පිළිබඳ සිදුවීම් ගැන සොයා බැලීමටත් කොමිසමක් (ප්‍රෙසිෆැක්) තමා විසින් පත් කොට ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අවුරුදු දෙක හමාරක කාලයක් තිස්සේ විමර්ශන කටයුතු කරගෙන ගිය එම කොමිසම ඊට අදාළ වාර්තා 34 ක් මේ වන විට ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ. එයින් වාර්තා 14 ක්, අදාළ ආයතන හරහා අවශ්‍ය පියවර ගැනීම සඳහා, නීතිපතිවරයා වෙත යොමු කොට තිබේ.

එම වාර්තාවල සඳහන් කරුණු පදනම් කරගෙන, වංචා සහ දූෂණ කොමිසමත්, වෙනත් ආයතන, දෙපාර්තමේන්තු සහ පොලීසියත්, අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සඳහා පියවර ගෙන ඇත. එයාකාරයෙන්, බැඳුම්කර කොමිසමේ නිර්දේශ ප‍්‍රකාරව අවශ්‍ය කටයුතු කිරීමට සහතික වන බවට ජනාධිපතිවරයා ප‍්‍රතිඥා දුන්නේය. බැªම්කර කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනත් කරුණුවලට අමතරව, හිටපු අමාත්‍ය රවී කරුණානායක ගැනත් කරුණු එහි සඳහන් වෙයි. ඇලෝසියස් පවුලට සහ ඔවුන්ගේ ‘වෝල්ට් ඇන්ඞ් රෝව්’ සමාගමට අයත් සුඛෝපභෝගී නිවෙසක, රවි කරුණානායක සහ ඔහුගේ පවුල, ඇලෝසියස්ගේ කුලී මුදලින් පදිංචිව සිටීම පිළිබඳ සිද්ධියත් එම කරුණුවලට ඇතුළත් ය. එසේ පදිංචිව සිටීම ගැන රවි කරුණානායක වගකිව යුතු බවට චෝදනා කරන කොමිසම, අල්ලස් සහ ¥ෂණ පනත යටතේ ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු බවටත්, කොමිසම ඉදිරියේ බොරු සාක්ෂි දීම පිළිබඳව, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරිය යුතු බවටත් නිර්දේශ කරයි.

2015 ජනවාරි මාසයේදී මහබැංකු අධිපතිවරයා වශයෙන් අර්ජුන මහේන්ද්‍රන්ව පත්කරන ලද්දේ අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් වන නිසා, මේ සමස්ත සිදුවීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ වගකිව යුතු බවට විපක්ෂ නායකයෝ චෝදනා කරති. එහෙත් කොමිසම සිය වාර්තාවේ සඳහන් කරන්නේ ඊට වෙනස් මතයකි. එනම්, අගමැතිවරයා විසින් අර්ජුන මහේන්ද්‍රන්ව එම තනතුරට පත් කිරීම නීති විරෝධී හෝ ක‍්‍රම විරෝධී හෝ නොවන බවයි. මහේන්ද්‍රන්ව පත් කිරීමට අදාළව මහේන්ද්‍රන් විසින් දෙන ලද තොරතුරු සහ පොරොන්දු තමා විශ්වාස කළ බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කෙළේය. එය අගමැතිවරයා නොකළ යුතුව තිබුණු ප‍්‍රකාශයකැයි කොමිසම කියයි. තවද, එකී කරුණු ඒ වන විට කෝප් කමිටුව ඉදිරියේ පරීක්ෂාවට ලක්වෙමින් පැවති නිසා මහේන්ද්‍රන්ට විරුද්ධව පියවර ගැනීමට අවශ්‍යතාවක් නොවුණු බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කොට ඇති බවත් කොමිසම පෙන්වා දෙයි.

අවසාන වශයෙන් ජනාධිපතිවරයා සිය කතාවේදී මෙසේ ද කීවේය: ‘‘මේ කොමිෂන් සභා පත් කිරීම ගැන සමහර දේශපාලන පක්ෂ මට විරුද්ධව එල්ල කරන චෝදනා ගැනත් මං වචනයක් කියන්න ඕනේ. මං මේ කොමිෂන් සභා පත්කළේ කිසි පක්ෂයක් ඉලක්ක කරගෙන නෙවෙයි. ඒ වගේම, මේ කොමිෂන් සභාවලින් ඉදිරිපත් කරලා තියෙන කරුණු සහ නිර්දේශ උඩ අනාගතයේදි පවරන නඩු විභාගවල, ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම පුද්ගලයන් විත්තිකරුවන් වශයෙන් ඉන්න බවත්, මේ අවස්ථාවේ මං විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන්, ස්වාධීන සහ අපක්ෂපාතී අධිකරණයක් අපට තිබීම ගැන අපි සතුටු වෙනවා. එම ක‍්‍රියාවලිය සඳහා අපි කවුරුත් අපේ උපරිම සහයෝගය දෙන බවත් මම කියන්න ඕනේ.’’

දූෂණය, අල්ලස සහ මහ පරිමාණ වංචා සම්බන්ධයෙන් ඉදිරි මාස කිහිපය තුළදී ගැනීමට බලාපොරොත්තු වන දැඩි පියවර, අපේ දේශපාලනය තුළ අද පවතින දූෂණය ක‍්‍රම ක‍්‍රමයෙන් අවසන් කිරීමට හේතුකාරක වෙතැයි අපි විශ්වාස කරමු. ඒ අනුව, රටෙන් දෙයක් කොල්ලකනවා වෙනුවට, තමන්ගෙන් රටට දෙයක් දිය යුතු යැයි විශ්වාස කරන පුද්ගලයන් දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසෙනු ඇතැයි අපි විශ්වාස කරමු.


*2018 ජනවාරි 5 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Bond Commission Report: A Tough Lesson for Politicians නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි