Image by: globalvoices

මෙයින් දින 1095 කට ඉපිටින් එනම් තුන් අවුරුද්දකට පෙර ලංකාදිපයෙහි හුදී ජනයාගේ චිත්ත සන්තානයේ කොතැනකවත් උත්කර්ෂයෙන් පැල පදියම්ව නොසිටි; එවකට කෙසඟ ශරීර කුඩුවකින් හෙඹිව උන්; අල්පේච්ජ ගුණෝපිත මහැගී මෛත්‍රීපාල සිරිසේන නම් උත්තමයෙක් එක්වරම මහින්ද රාජපක්ෂ පියඋතුමන්ගේ රාජපාලනයෙහි තම උත්තුංග පදවි හැරපියා දමා තුමුම මහත් අදිටනින් යුතුව පොදු විපක්ෂය යයි සමාගමයකට එක්ව ජනාධිපතිවරණය නම් මහා තරගයකට එක්වුනාහ. ඒ රට වැස්සන්ගේ හිතු මනාපය අනුව රට කරවන ඇත්තන් තෝරා යතුරු භාරදීමේ කතිර හරඹය එවකින් ඇරඹි ගියහ. තුන්වෙනි වරයද ගෙන එකී කතිර කෙළියෙහි ජබුන් ගසන්නට සැරහි හුන් මහින්ද පිය උතුමෝ මෙයින් උරණව වහසි බස් දොඩමින් වඩ වඩාත් කුපිත කල්ක්‍රියාවකට යොමුවුහ. මෙහෙයින් සත් ජන හිත් තව තවත් කම්පාවට පත්වුයෙන් ඌ තුමුගේ ජනප්‍රියතාවය හින වී ගියේය.

එහෙත් අනෙක් පසින් සිරිසේනයෝ එවක කට අග රැදී දුෂණයට එරෙහි යහපාලන හංස ගී ගායනයට බට, එහි ඔද වැඩ මහජන භුහුමන් ලබමින් වැජඹුනහ. එවක ජනී ජනයාගේ මනස් තුටුව යනු පිණිසැ හේ නොයෙක් රස බස් දොඩමින් රට පුරා ගමින් ගමට ගොස් කතා පත්වන ලද්දාහ. “දින 100 යේ වික්‍රමය, දුෂණ වංචා නඩු හබ, නාස්තිය, පවුල් පාලනය, මැර දේශපාලනය, පුද්ගල අතුරුදහන් කිරීම්, යුක්තිය” මේ ආදී කොට ගෙන ලංකාදීප ජනයාගේ හිත කැමති වචන සමුදායක් ඒවායේ ඇතුළු කොට තැබුහ.

තවද තම කුළුදුල් රටවැසි ආමන්ත්‍රණයේදී එතුමාණෝ මෙවන් වදන් දැඩි ස්වරයෙන්, තීර අදිටනින් තම මුඛ ද්වාරයෙන් පිට කළහ.

“අපේ හාමුදුරුවනේ දින 100 වැඩපිළිවෙල තුළ අපි බලයට පත්වෙලා ව්‍යවස්ථාදායකය ශක්තිමත් කරලා, විධායකය තුළ විධායක බලය අහෝසි කිරීම පමණක් නොව මේ රටේ දුගී ජනතාවගේ ආර්ථික ශක්තිය ගොඩ නැගීම පමණක් නොව, මේ රටේ රජයේ සේවකයා ශක්තිමත් කරනවා පමණක් නොවෙයි, දින 100 වැඩපිළිවෙල තුළ මේ රටේ ආණ්ඩුව අවු: 09 ක් හොරම්කම් කරපු මහා හොරු රැළ ටික ඔක්කොම කොමිෂන් සභාවක් පත් කරලා දින 100ක් ඇතුලත හොරු ටික කොටු කරනවා කියන එක මං මේ. ඓතිහාසික මහනුවර පුරවරයේදී පැහැදිලිව කියනවා”

ඉනික්බිතව වර්ෂ 2015 ක් වූ දුරුතු මස 08 වැනි දා එතුමාණෝ කතිර කෙළියෙන් හැටදෙලක්ෂයක ජන හිත දිනාගෙන රාජාභිෂේක ගතව තිබු රජ පුටුවේ ගොවි පුතෙකු ලෙස හිද ගන්නා ලදුව දැන් තුන් අවුරුද්දකි. තුන් අවුරුදු ගෙවෙන තැන අමතක රෝගයෙන් පෙළෙමින් හිදින සිරිසේනයෝ නැවත සේන්කණ්ඩ පුරයට ගොස් දළදාවෝ වැද පුදා ගත්තෝ දින 100ට ගැසූ අත සෝදා පැන් ඉස මල් පුජා කළේ බැති පෙම් උපදවා තවදුරටත් ලංකාදීපයේ සවැනි විධායක රට කරවන්නා ලෙසම කඩු කිණිසි ද ඉනේ ගසා ගෙනය.

ඒ අතර චතුරිකා දියණියෝ පිය හපන් කම් උල්ලසා ගත කොට වර්ණවත් පිටකින් යුත් මහාවංශයක් රචනා කොට තුන් අවුරුදු පිය පුවතින් ජන හිත තුටු පහටු කළෝ ය.

තවද රවී කිරණින් ඒකාලෝක ව රැස් විහිදමින් බැබලෙමින් සිටින යහපාලනතන්ත්‍රයේ ආලෝක කදම්බ එකී පාලනය විනිවිද කරමින් සිටින්නේ මෙත් සිතින් ජනයා සාධු කාර දෙනු ඇතයි සිතමිනි.

මේ සා විශාල වුත් ජන සේවාක් ඉටු කොට ඉක්බිත්තෙන්, නගරවාසි හා ග්‍රාම වාසි ජනයා ගේ කතිර මනාපය වෙනුවෙන් යුහුසුළුව අත්, අලි, පොහොට්ටු , සීනු යන චතුර් මාරයන් දැන් දැන් මාර වෙස් අතහැර දේව වෙස් ගනිමින් ලංකාදිපයෙහි සැරිසරන බව ද සැලය.

එ හෙයින් අදින් තුන් වස් සැපිරෙන මේ අල්පෙච්ජ වුත් දහමෙහි පිහිටු වා ලන සිත් ඇත්තාවුත් මෛත්‍රී පාල සිරිසේනයෝ නිසා හුදී ජන මනැස, යසැස, මසැස පුබුදුවා ලු පිනෙන් මේ රට වැස්සෝ සුඛිත මුඛිත වෙත්වා!

සිරිසේනයෝඑවකට සෙංකඩගල පුරයේදී මෙසේ ද කියා ඇති හෙයින් අතීත, වර්තමාන, අනාගත තුන් කල්ම සමෝධානය මෙලෙසම නිම කරම්හ.

“අපි හදන අලුත් ආණ්ඩුව තුළ පැහැදිලිව ජනතාවට සැබෑ දේ කියන්න, සැබෑ දේ අහන්න, සැබෑ දේ සාකච්ජා කරන්න නිදහස් මාධ්‍ය සම්පුර්ණ සේම විවෘත කරනවා”

එහෙයින් එතුමාණන් කෙරෙහි උපන් ප්‍රීතියෙන් පිනා ගොස් මා නමැති ගැති නැත්තා විසින් ලියන ලද මේ මහා සිරිසේන ජාතකයෙන් කාට හෝ අවැඩක් වුයේ නම් රටේ සියලු වාසින් වෙනුවන් මට කමා කරත්වා!!