“කාන්තාවන් මත්පැන් පානය කිරීම ගැන අප කතා කළ යුතුයි”

ඔස්ට්‍රේලියානු බලධාරීන් කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳව ඔවුන්ට සපයන පණිවුඩවලදී භාවිතා කරන්නේ එවැනි ප්‍රවේශයකි.

පිරිමි සහ ගැහැණු දෙපක්ෂයම කෙරෙහි මත්පැන් බලපාන අන්දමේ සමානකම් මෙන්ම වෙනස්කම් ද තිබේ. එක සමාන මත්පැන් ප්‍රමාණයක් පානය කළත් කාන්තාවගේ රුධිරයේ ඇති මත්පැන් මට්ටම හැම විටම පාහේ පුරුෂයෙකුගේ මට්ටමට වඩා වැඩිය. එහෙත්‚ බොහෝ කාන්තාවෝ මත්පැන් තම ශරීරයට බලපාන ආකාරය පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරති. කෙසේ වුවද‚ මෙය කාන්තාවන්ට පමණක් සීමාවූ කරුණක් නොවේ.

ආගමික‚ සදාචාරාත්මක හෝ සංස්කෘතික හේතුන් හෝ බල කිරීම් මත නිසා නොව‚ විද්‍යාත්මක සාධක මත පදනම් වන නිසා‚ ඉහත තර්කණය කාන්තාවන්ට මත්පැන්වලින් ඈත්ව සිටින ලෙස ඒත්තු ගන්වන්නට වඩා හොඳ ප්‍රවේශයක් පෙන්වා දෙයි. ඒ අයුරින් ගත් විට මම සම්පූර්ණයෙන්ම වාගේ මත්පැන් නොබොන අයෙක් බව පිළිගනිමි. මා එසේ වන්නේ මගේම තෝරා ගැනීමෙන් මිස‚ වෙනත් යම් අයෙකුගේ බල කරනු ලැබීම හෝ වෙනස්කම් කරනු ලැබීම නිසා නොවේ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වැනි ගතානුගතික අය මතු කරන බෞද්ධ සංස්කෘතිය සහ සදාචාරය ආරක්ෂා කිරීම පිළිබඳ තර්කය සහ ඇතැම් වමේ නායකයන් මතු කරන පවුල් බැඳීම් සහ සමාජ සදාචාරය කැඩී බිඳී යන්නට කාන්තාවන්ගේ මත්පැන් බීම දායක වන්නේ යයි නඟන තර්කය වංක පමණක් නොව කුහකද වෙයි.

රටක් තුළ කාන්තාවන් ලිංගික හිංසාවන්ට භාජනය කිරීමත්‚ සමූහ දූෂණවලට ලක් කිරීමත් දෙස නොබලා දෑස් පියා ගෙන සිටින බව පෙනෙන‚ ආධාර හා අනුබල දෙන ඇතැම් දේශපාලනඥයන් සහ නිලධරයන් සිටින්නාවූත්‚ මැතිවරණයේදී කාන්තා අපේක්ෂකයින්ට පංගු ක්‍රමයක් ලබා දී ඇති නිසා ඔවුන්ට පහර දෙන්නාවූත් රටක‚ එවැනි යල්පැන ගිය නීති ආරක්ෂා කරනවාට වඩා වෙනත් යමක් කෙනෙකුට අපේක්ෂා කළ හැකිද?

පවුල් සහ සමාජ බැඳීම් කෙරෙහි බලපාන්නේ ගැහැණු මත්පැන් පානය කිරීම පමණක්ද? බීමත් පිරිමින්ගේ දෑතින් අතවරයට ලක්වන දහස් ගණන් කාන්තාවන් ගැන කිව හැක්කේ කුමක්ද? පිරිමින්ගේ ඒ බීමත් හැසිරීම පවුල් සහ සමාජ බැඳීම් කෙරෙහි බලපාන්නේ නැත්ද? ඉතින් මත්පැන් තහනම පුරුෂයන්ටද අදාළ නොවන්නේ ඇයි?

බෞද්ධ සදාචාරාත්මක පදනම් මත කාන්තාවන්ට බීම තහනම් කරන්නේ නම්‚ වෙනත් ලබ්ධීන් ඔවුන්ගේ සමාජ‚ සංස්කෘතික හා සදාචාරාත්මක සම්මතයන් හේතුවෙන් පවත්වා ගෙන යන වෙනයම් පිළිකුල් සහගත පිළිවෙත්වලට‚ උදාහරණ වශයෙන්‚ අප්‍රිකාවේ කාන්තාවන්ගේ ලිංග ඡේදනයේ සිට ඇතැම් ඉස්ලාමීය සම්ප්‍රදායයන් තුළ කාන්තාවන්ට එරෙහිව කරන නොයෙක් අක්‍රමිකතාවයන් දක්වා වන පිළිවෙත්වලට එරෙහිව මෙම ඊනියා ප්‍රගතිශීලී නායකයන්ට තම විරෝධය පළ කල හැක්කේ කෙසේද? එසේ නැතහොත් සමහර “ශිෂ්ට” රටවල පවා පුරුෂයෙකුට තම බිරිඳ දූෂණය කළ හැකිය යන සිත් කළඹවන සුළු නීතිය හා සම්බන්ධ කාරණය හෙළා දකින්නේ කෙසේද?

මනුෂ්‍යත්වය පිළිසිඳී උපත ලබන්නේ ස්ත්‍රීයගේ ගර්භාශයෙනි. අගෞරවය‚ වෙනස්කම් කිරීම සහ අවමානය නොව‚ පුරුෂයන් තරමටම හෝ ඊටත් වඩා වැඩියෙන් සමානාත්මතාව‚ සැලකිල්ල හා ගරුත්වය ලබන්නට ගැහැණිය සුදුසු වෙයි.

වමේ අයද ඇතුළු සමහර නායකයෝ එවැනි නාරි ද්වේෂයට(misogyny) සහාය පළ කරන්නේ කෙසේද?

චිත්‍රා බෝපගේ | Chitra Bopage