Image by: ibtimes/ Reuters

ආණ්ඩුවේ සහ ආණ්ඩු සගයින්ගේ අංක ගණන් විජ්ජා මොනවා කීවත් පසුගිය 10වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේ පණිවිඩය පැහැදිළිය. මහින්ද රාජපක්ෂ තමන්ගේ ඡන්ද පදනම වර්ධනය කර ගෙන තිබේ. වඩාත් නිවැරදිව කියන්නේ නම් රාජපක්ෂ ඡන්ද පදනම රනිල්- මෛත්‍රී ආණ්ඩුව විසින් වර්ධනය කර දී තිබේ.

අනෙක් පැහැදිළි පණිවිඩය නම් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එජාපයේ ඡන්ද පදනම විශාල ඛාදනයකට ලක්ව තිබෙන බවයි. එය සියයට 12ක් තරම්ය.

සිරිසේන සතුව තමන්ටම කියා ඡන්ද පදනමක් තිබුණේ නැත. එසේ නමුත් ඔහු සහ සහ සමඟ සිටින හතලිස් ගණනාවක් වන ශ්‍රිලනිප මැති ඇමැතිවරුන්ගේ ඡන්ද පදනම ද සේදී ගොස් තිබේ.

ජනාධිපති ධූරයට පත්වූ සිරිසේන සිය ඡන්ද දායකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබීම දෙවැනි විය හැක්කේ ප්‍රබල එජාප බලකොටුවක් වූ බටහිර කොළඹින් රනිල් වික්‍රමසිංහ එජාපය පරාජය වීමයි.

තවත් කැපී පෙනෙන ළකුනක් නම් 2015 ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ තිස් ලක්ෂයක් පමණ පසුගිය පෙබරවාරි 10දා ඡන්දය නොදී ඇරීමයි. ඉන් බහුතරය රාජපක්ෂයට ඡන්දය දීමට අකැමැති වූ විරෝධතා ජන්ද යැයි සැළකීමේ වරදක් නැත.

2015දි රාජපක්ෂ විරෝධී ජන බලවේග සතුව තිබූ දූෂණ විරෝධී සටන් පාඨය මෙවර රාජපක්ෂ අතට ගොස් තිබුණි. එය පුදුම නමුත් ඇත්තකි.

බලයට පැමිණි වහාම සිරිසේන සිය සහෝදරයාට අධික වැටුපක් සහිත ශ්‍රී ලංකා ටෙලිකොම්හි සභාපති ධුරය ප්‍රධානය කළේය. වික්‍රමසිංහ සිය අතිජාත උපදේශකයා වන චරිත රත්වත්තේගේ සහෝදරයා අධික වැටුපකට පාඩු ලබන එයාර් ලංකා සභාපති බවට පත් කළේය. තානාපති සේවය සිරිසේනගේ සහ වික්‍රමසිංහගේ හෙංචයියන් සහ ඥතීන්ගෙන් පුරවනු ලැබුණි. ආචාර ධාර්මික ජනමාධ්‍ය භාවිතය වලපල්ලට යවා මහාරාජා නාලිකාවන්ට ප්‍රකෝටි ගණන් වටිනා සංඛාත ලබා දුන්නේ සිරිසේනය.

දැන් එම නාලිකා රෙදි නැතිව වික්‍රමසිංහට විරුද්ධව සිරිසේන වෙනුවෙන් කඩේ යයි. සියල්ලටමත් වඩා දැවැන්ත දූෂණය වූ බැඳුම්කර වංචාවේ දේශපලන වගකිව යුත්තා බවට අගමැති වික්‍රමසිංහ පත්විය. වික්‍රමසිංහගේ මිතුරියකයැයි කියන සබීතා පෙරේරාගේ පුරුෂයාට අයත් ගොඩනැඟිල්ලකට මසකට මිලියන 16 බැගින් දැන් දෙවසරකටවක් වඩා ප්‍රයෝජනයක් නොගෙන කුලී ගෙවීමද වික්‍රමසිංහගේ ගැටයකි.

මේ ලැයිස්තුව දිගය. දූෂනය නැති කොට දූෂකයින්ට නිසි දඩවම් ලබා දෙන බවට ශපථ කර බලයට පැමිණි ආණ්ඩුවක් ඒ සම්බන්ධයෙන් කළ එකම දේ නම් තමන්ද රාජපක්ෂ දූෂණ අඩිපාරෙහිම ගමන් කිරීමය. දූෂකයින් සමඟ ගනුදෙනුවලට යෑමය.

ඉදින් එවැනි ආණ්ඩුවකට ඡන්දය නොදී සිටි ලක්ෂ 30ක් තරම් ජනයාට වරදක් කිව හැකිද?

තත්වය දිගටම පවතින්නට යන්නේ මෙලෙස නම් රාජපක්ෂ පවුල සහ එහි අන්තේවාසිකයින් දකුණෙහිදී ඉදිරි මැතිවරණ සියල්ල ජය ගැනීම වැළැක්විය නොහැකිය. තිත්ත නමුත් ඇත්ත එයයි. ජර්මනියේ හිට්ලර් බලයට ගෙන එන ලද්දේ ද අද පිලිපීනය අයෝමය හස්තයකින් පාලනය කරන දුතර්තේ බලයට පත් කරන ලද්දේ ද බහුතර මහජන ඡන්දයෙනි. ඉතිහාසයෙහි නිශ්චිත අවස්ථාවන්හිදී පටු ජාතිකවාදයෙන් සරසන ලද දුෂ්ඨ සහ මර්ධනකාරී දේශපාලනයන් ජය ගනී. සමහර විට දැන් ශ්‍රී ලංකාව ගමන්කරන්නේ එවැනි අන්තයක් කරා විය හැක.

මේ බව පසක් වන්නේ දූෂණයේ සහ භීෂණයේ සංස්කෘතිය කොතරම් මෙරට දේශපාලන සංස්කෘතියේම කොටසක් වී ඇත්ද යන්න පසුගිය තෙවසර විසින් අපට පෙන්වා ඇති නිසාය.

කොළඹ නගර සභාවට රාජපක්ෂ කණ්ඩායමෙන් තරඟ කළ තරුණ දේශපාලනඥයකු ප්‍රසිද්ධියේම කීවේ තමන් බලයට පත් වූ පසු මත්කුඩු ජාවාරම මැඩළිමට ගෝඨාභය රාජපක්ෂ මෙන් යුද හමුදාව යොදා ගන්නා බවයි. ගෝඨාභයගේ කුඩු විරෝධී සටන විසින් නිරායුද තරුණයන් ඝාතනය කෙරුණූ අතර වැලිකඩ ඝාතනය ද එහිම දිගුවකි. නුමුත් එම භීෂණය විසින් කුඩු ජාවාරම මර්දනය නොවූ බව නොදන්නේ කව්ද? එසේ තිබියදිත් ගෝඨාභය අනුගමනය කරන බවට ශපථ කරන තරුණ දේශපාලනඥයින් සිටීම අප තේරුම් ගන්නේ කෙසේද? එම ප්‍රකාශයෙන් සංකේතවත් කැරෙන්නේ භීෂණයේ සංස්කෘතිය මගින් බලයට ඒමේ භයානක දේශපාලනයයි.

දූෂණය පිටු දැකීම සිය දේශපාලනයේ ප්‍රමුඛ පරමාර්ථය බවට පසුගිය මැතිවරණ වේදිකාවන්හිදී පාරම් බෑ සිරිසේන පාර්ශවය, රාපපක්ෂ කණ්ඩායමේ සහායෙන් හෝ ආණ්ඩුවක් සෑදීමට අර ඇදීමෙන් පෙන්නුම් කැරුණේ ද දූෂණ විරෝධය දේශපාලන බල තන්හාවට යටවී යන අන්දමයි. රනිල් වික්‍රමසිංහ සිය අගමැතිකම රැකගැනීම පිනිස සම්මුති බද්ධ දේශපාලනය පරදුවට තැබීම විසින් ද පෙන්නුම් කරන්නේ රටට පෙර මමය යන බල තන්හාවේ දේශපාලනයයි.

රාජපක්ෂ ජයග්‍රහණය කළේ හුදෙක් මේ කරුණු නිසාම නොවේ. මේ සියල්ලටමත් වඩා පටු ජාතිකවාදය සහ යුද වීරත්වය පදනම් කර ගනිමින් දෙමළ ජනයාගේ මානව හිමිකම් සුරකින දේශපාලන විසදුමක් ලබා දීමට එරෙහිව ගොඩ නඟන ලද ආක්‍රමණශීලී දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය නිසාය. වික්‍රමසිංහගේ නව ලිබරල් ආර්ථික පිළිවෙත් මගින් ඇති කරන ලද පොහොර සහනාධාරය කපා හැරීම වැනි සහන කප්පාදු ද රාජපක්ෂගේ වාසියට තිබුණි.

දේශපාලන තලයෙහි ලද පරාජයන් හමුවෙහි තවදුරටත් රනිල්- මෛත්‍රී ආණ්ඩුවෙන් 2015 ජනවාරි පෙරළියේ අපේක්ෂා ඉටු වීමට ඉඩක් ඇතැයි සිතීම දුෂ්කරය. මන්ද යත් දෙපාර්ශවයම විවිධ මට්ටමින් රාජපක්ෂ දේශපාලනය කරා ඇදී ගොස් හෝ ඇදී යමින් ඇති බැවිනි. එජාපයේ විදේශ ඇමැති සහ වික්‍රමසිංහගේ අතිජාත සගයකු වන මාරපන දැන් කියන්නේ පරාජයට හේතුව ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම බවයි! සිරිසේනට අනුව මංගල සමරවීර විදේශ ඇමැති ධූරයෙන් ඉවත් කරන ලද්දේ ජිනිවා මානව හිමිකම් කොමිසමෙහිදී මානව හිමිකම්, සංහිදියාව සහ වගවිම සම්බන්ධ ඒකාබද්ධ යෝජනාවකට එකඟවූ නිසාය.

ආණ්ඩුවේ දූෂණ විරෝධය පමණක් නොව දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් ලබා ඇතුළත් නව ව්‍යවස්ථාවක් ඇති කිරීම සහ සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය දැන් ඉතිහාසයට අයත් දේ බවට පත්වීමට බොහෝ දුරටම ඉඩ තිබේ. පසුගිය තෙවසරෙහි නොකරන ලද දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක් ඉදිරි මාස 20 තුළ ආණ්ඩුවෙන් සිදුවීමට ඉඩක් නැත.

මෙම ලිපිය පළ වන විට යහපාලන ආණ්ඩුව ඉදිරි දෙවසරට පවතින්නේද නැත්ද යන්න බොහෝ දුරට තීරණය වි හමාර වන්නට පුළුවන. එය තව දුරට පැවතියද පවතිනු ඇත්තේ අනෙකා ගිල දැමීමට සැරසුණු විෂඝෝර සර්පයින් දෙදෙනෙකු ලෙසය. හරයෙන් දැන් යහපාලන ආණ්ඩුව අවසානය. එය පැවැතියද පවතිනු ඇත්තේ හුදු බාහිර ස්වරූපයක් ලෙස පමණි.

ජනාධිපතිවරණයකදී රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයකුට සියයට 51ක් ගැනීමට තවමත් නොහැකි නමුත් එය අවසාන වශයෙන් තීරණය වනු පළාත් පාලන ජය විසින් ඇති කරනු ලබන ගතිකත්වය වඩා බලවත්ව ගමන් කරනු ඇත්තේ කුමන දිසාවට ද යන කරණ මතය. සිරිසේන සහ වික්‍රමසිංහ විරසකය උත්සන්න වුව හොත් නිසැක වාසිය රාජපක්ෂටය. නොඑසේව සම්මුති ආණ්ඩුව නව දැක්මක් යටතේ අලුත් ජවයක් ලබා ගන්නේ නම් අචාසිය රාජපක්ෂටය.

අප කැමැති වුවත් නැතත් පාර වැටි ඇත්තේ සම්මුතියට නොවේ. අගමැති වික්‍රමසිංහ 2004දී මෙන් තම දේශපාලන බලය ගැන අධිතක්සේරුවකින් කටයුතු කරන අතර ජනපති සිරිසේන නිසි ඉදිරි දැක්මක් නැතිව එදිනෙදා දේශපාලනයක නිරතව සිටි.

දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බලවේග නරකම තත්ත්වයකට සූදානම් විය යුතුය. අද අපට අනුහස් සහිත නායකත්වයකින් යුතු මාදුළුවාවේ සෝභිත හිමි කෙනෙකු නැත.

2015 ජනවාරියෙහි මුදුන් පැමිණි ආකාරයේ සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයක් ද නැත.

එජාපයෙහි වික්‍රමසිංහ වෙනුවට සිටින නායකයින් දෙදෙනාම එනම් කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස සිංහල ජාතිකවාදී නැමුරුවකින් යුතුය.

අනෙක් අතට දෙමළ සමාජයද ආණ්ඩුව සමඟ දීගයක සිටි දෙමළ සන්ධානය සෑහෙන තරමකට දුර්වල කර තිබේ. එහි ද දෙමළ ජාතිවාදි බලවේග ශක්තිමත් වී තිබේ.

එසේ නමුත් කලුවලාව තුල රිදී රේඛාවන්ද තිබේ. එම රිදී රේඛා බලවත් කරන්නේ කෙසේදැයි මීළඟට කතා බහ කරමු.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya