[වන්දි ලබා දීමේ යන්ත‍්‍රණයක් ඇති කිරීම සඳහා අනුමත කරන ලද නීති කෙටුම්පත DRAFT LEGISLATION APPROVED FOR ESTABLISHMENT OF OFFICE FOR REPARATIONS]
iMage by: Ishara S. Kodikara – AFP

පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය 2015 දී ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීමට පියවර ගනිමින් වන්දි ලබා දීමේ යන්ත‍්‍රණයක් ඇති කිරීමේ නීති කෙටුම්පත අනුමත කළේ ය. පිළිවෙළින් බලයට පත් ආණ්ඩු විවිධාකාර වන්දි ලබා දී ඇති නමුත් වන්දි යනු මොනවා ද යන්න සම්බන්ධයෙන් මහජනයා අතර දැනුවත්කමක් නොතිබීම අවාසනාවට කරුණකි. මෙය ලියන මොහොත වන විට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද නීති කෙටුම්පත සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ තොරතුරු තිබෙන්නේ ද සීමිත වශයෙනි. තමන්ගේ යෝජනා පැහැදිලි කිරීම සඳහා සහ ශ‍්‍රී ලංකාවේ බොහෝ ජනයාට ප‍්‍රතිලාභ අත් වන දෙයකට පුරවැසියන් සම්බන්ධ කර ගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කිසි ම සාමූහික ප‍්‍රයත්නයක් දරා නැතිකම කලකිරීම ඇති කරයි.

කෙසේ වුව ද මෙම තොරතුරු නැතිකමටත් වඩා කනස්සල්ල දනවන කරුණ වන්නේ හිටපු එල්ටීටීඊ සටන්කරුවන්ගේ පවුල්වලට වන්දි ලබා දීම සඳහා කර ඇති යෝජනාවන්ට එරෙහිව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් එල්ල කරන ප‍්‍රහාරය යි. සියලූ පුරවැසියන්ට සහජීවනය හා ප‍්‍රතිසන්ධානය ළඟා කර දෙන බවට ප‍්‍රතිඥා දුන් ආණ්ඩුවක ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සියලූ ජනවාර්ගික හා ආගමික කණ්ඩායම්වලට බලපෑ දශක ගණනාවක ප‍්‍රචණ්ඩත්වයක් අත්දැක ඇති රටක සිටින ගොදුරු වූවන් කවුරුන් දැයි තීරණය කිරීමේ දී සීමාසහිත දැක්මකින් කටයුතු කිරීම අතිශයින් ම කනස්සල්ලට හේතු වේ. සමහරුන් ජනවාර්ගික-ජාතිකවාදී ප‍්‍රවණතාවන් සම්බන්ධයෙන් විශේෂ විවරණයක් ඉදිරිපත් කිරීමට ප‍්‍රයත්න දරන බව පෙනෙන්නට තිබීම ද කනස්සල්ල ඇති කරන කරුණකි. අව්‍යාජ ප‍්‍රතිසන්ධානයක් අපේක්ෂා කරන ඕනෑ ම ප‍්‍රතිසංස්කරණයක් පීඩාවට පත් පුද්ගලයන්ගේ විවිධත්වය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර ගොදුරු වූවන් සමජාතීය නොවන බව පිළිගත යුතු ය. අනාගතයේ වන්දි ලබා දෙන විට සමහර කණ්ඩායම් ඇතුළත් වීම වැළැක්වීමට දරන ප‍්‍රයත්නයන්ගෙන් සිදු වන්නේ පුද්ගලයන් හා කණ්ඩායම් විසින් ඉදිරිපත් කෙරෙන දුක් ගැනවිලි අවබෝධ කර ගැනීමට ප‍්‍රයත්න නොදැරීම නිසා සංකීර්ණ ගැටලූවක පවත්නා සියුම් වෙනස්කම් මග හැරී යාම යි.

වන්දි යනු මොනවා ද?

දශක තුනක් තුළ දිග හැරුණු තරුණ කැරලි දෙකේ දී සහ සිවිල් යුද්ධයේ දී ජනතාවට සිය ජීවිතය, අත්පා සහ ජීවනෝපාය අහිමි විය. මෙම අහිමි වීම් අර්ථාන්විත ආකාරයෙන් පිළිගැනීමක් හෝ ඒවාට අර්ථාන්විත ආකාරයෙන් වන්දි ලබා දීමක් කිසි විටෙක සිදු නොවී ය.

ආණ්ඩුව විසින් නිර්මාණය කෙරී ඇති තොරතුරු රහිතකම නිසා වන්දි යනු මොනවා ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ ප‍්‍රශ්න හා සැකසංකා මතු වී ඇත. වන්දි සංක‍්‍රාන්තික යුක්තියේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර අපයෝජනයන් හෝ ආපදා නිසා සිදු වූ අහිමි වීම් පිළිගැනීම හා ඒවාට පිළියම් යෙදීම කෙරෙහි අවධානය යොමු කරයි. සංක‍්‍රාන්තික යුක්තියේ වැදගත් ම අංග හතරෙන් එකක් වන එය අනෙක් අංග තුන වන යුක්තිය, සත්‍යය හා නැවත ඇති නොවීම ශක්තිමත් කරයි.

කොළොම්බියාව, ගුවාතමාලාව හා සියෙරා ලියොනය වැනි පශ්චාත් යුද හා පශ්චාත් ගැටුම් වාතාවරණයන් බොහොමයක දී ජීවිත නැවත ගොඩ නගා ගැනීම සඳහා ලබා දෙන ද්‍රව්‍යමය හා සංකේතාත්මක සහායක ස්වරූපයෙන් ගොදුරු වූවන්ට සහාය වීම සඳහා වන්දි හඳුන්වා දී ඇත. අතීත අපයෝජනයන් සහ පිළියම් යෙදීමේ අවශ්‍යතාව පිළිගන්නා නිසා වන්දිවලට ප‍්‍රජාවන් බල ගැන්විය හැකි අතර ඔවුන් අයිතිවාසිකම් හිමි අය හා සමාන පුරවැසියන් බවට පරිවර්තනය කළ හැකි ය. ගැටුම නිසා සිදු වූ අහිමි වීම්වලින් පීඩාවට පත්ව සිටින අයට පමණක් නොව ස්වාභාවික හෝ මිනිසා විසින් නිර්මිත ආපදා සහ ඒ ආශ‍්‍රිතව රජය කළ නොතකා හැරීම් හෝ වැරදි නිසා පීඩාවට පත්ව සිටින අයට ද වන්දි ලබා දිය හැකි අතර ලබා දිය යුතු ය යන කරුණ ද මෙහි දී සැලකිල්ලට ගත යුතු වේ.

පුළුල් ආකාරයකින් ක‍්‍රියාත්මක කෙරුණ හොත් ගොදුරු වූවන්ට ඍජු ලෙස හා පුළුල් ලෙස ප‍්‍රතිලාභ අත් කර දීමට වන්දිවලට හැකියාව ඇත. මුදල් පැවතීම වැනි ප‍්‍රායෝගික ගැටලූ අනුව වන්දි වැඩසටහන්වල පරිමාණය තීරණය විය හැකි නමුත් එවැනි තීරණ සහ පැවතිය හැකි සීමාවන් පැහැදිලි කිරීම පිණිස තොරතුරු ප‍්‍රසිද්ධ කරමින් සැලසුම් සකස් කරන අදියරේ දී ම ඒවා සැලකිල්ලට ගත යුතු ය. වන්දි සම්පාදනය කෙරෙන්නේ තෝරා ගත් අයට පමණක් හා යම් යම් අභිමතාර්ථයන් සපුරා ගැනීම සඳහා පමණක් නම් සහ සමහර ගොදුරු වූවන් අත හැර අනෙක් අයට අනුග‍්‍රහ දක්වන්නේ නම් ගොදුරු වූවන් ධුරාවලිගත වීමේත් ප‍්‍රජාවන් තුළ හා අතර අනවශ්‍ය හා අන්තරායකර බෙදීම් ඇති වීමේත් අනතුර පවතී. තීරණයන් දේශපාලන හෝ ජාතිකවාදී න්‍යාය පත‍්‍රවල හෝ ඒ පිළිබඳ අදහස්වල බලපෑමට ලක් වුව හොත් එවැනි තත්ත්වයන් තව දුරටත් සංකීර්ණ වනු ඇත.

වන්දි ගෙවීමක් ලෙස සාමාන්‍යයෙන් බොහෝ දෙනා විසින් සැලකෙන නමුත් වන්දි ලබා දීම යන දෙය ඊට වඩා විශාල මුල පිරීමක් ලෙස දැක ගත යුතු ය. වන්දි ගෙවීම, පුනරුත්ථාපනය, ප‍්‍රතිෂ්ඨාපනය, සතුටු කිරීම හා නැවත ඇති නොවීම යනාදි වශයෙන් වන්දි ලබා දීම ආශ‍්‍රිත විවිධ පැතිකඩවල් ඇතුළත් වන පරිදි ක‍්‍රියාත්මක කෙරෙන්නේ නම් වන්දි ලබා දීමේ ක‍්‍රියාවලියට ව්‍යූහාත්මක අසමානතා කෙරෙහි අවධානය යොමු කිරීමටත් ද්‍රව්‍යමය හා සංකේතාත්මක සහාය සම්පාදනය කිරීමටත් සැබවින් ම පරිවර්තනීය කාර්ය භාරයක් ඉටු කිරීමටත් හැකි වනු ඇත.

සත්‍යය හා යුක්තිය ඇතුළු වෙනත් ප‍්‍රතිසංස්කරණවලට ආදේශකයක් ලෙස වන්දි නොසැලකීමටත් පරිස්සම් විය යුතු ය. 2016 දී ආණ්ඩුව විසින් පත් කරන ලද උපදේශන කාර්ය බලකාය(CTF) වටහා ගත්තේ ශ‍්‍රී ලංකාව පුරා බොහෝ දෙනෙකු වන්දි යනු වගවීම නතර කිරීමක් ලෙස දැක ගන්නා ලද බව යි. ආණ්ඩුව කරුණු පැහැදිලි කර මෙම දුර්මතය තුරන් කළ යුතු අතර තමන් දුන් පොරොන්දු සම්බන්ධයෙන් අවංකව කටයුතු කරන බවත් වන්දි හඳුන්වා දෙන්නේ පොරොන්දු වූ අනෙක් ප‍්‍රතිසංස්කරණවලට ආදේශකයක් ලෙස නොවන බවත් පෙන්නුම් කළ යුතු ය.

වන්දි යනු ශ‍්‍රී ලංකාවට අලූත් දෙයක් නොවේ

ශ‍්‍රී ලංකාව තුළ පිළිවෙළින් බලයට පත් ආණ්ඩු විවිධාකාර වන්දි ලබා දුන් බව මෙහි දී සඳහන් කළ යුතු ය. රට පුරා ජනවාර්ගික-ආගමික ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට සහ මීතොටමුල්ල කුණු කඳු ව්‍යසනය වැනි මිනිසා විසින් නිර්මිත ආපදාවලට ගොදුරු වූවන්ට ලබා දුන් වන්දි සහ 2004 සුනාමිය හා මීරියබැද්ද නාය යාම වැනි ස්වාභාවික ආපදාවලට ගොදුරු වූවන් සඳහා සම්පාදනය කෙරුණු නැවත පදිංචි කිරීමේ හා ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේ වැඩසටහන් මීට අයත් වේ.

කෙසේ වුව ද මෙම මුල පිරීම්වල ඒවාට ම ආවේණික සීමාසහිතකම් පැවතිණ. විවිධාකාර වන්දි ලබා දීමේ කර්තව්‍යය පුද්ගලයන්, දේපළ හා කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරිය(REPPIA) වැනි ආයතනවලට සහ වෙනත් ආයතනවලට පවරා දී ඇත. එහෙත් මෙම ක‍්‍රියාකාරකයන් යම් යම් අවස්ථාවල පමණක් විවිධ වන්දි හෝ ප‍්‍රතිෂ්ඨාපන වැඩසටහන් සම්පාදනය කරන අතර ඔවුන් සම්බන්ධීකරණය කෙරෙන්නේ සීමිත වශයෙනි. විවිධ ආපදාවලින් පසුව වන්දි ගෙවීම සඳහා බොහෝ විට බලය පැවරෙන්නේ අමාත්‍ය මණ්ඩල තීරණ මගින් වන අතර එම නිසා ගොදුරු වූවන්ට ගෙවන වන්දිවල ස්වරූපය හා ප‍්‍රමාණය විවිධ වේ. ප‍්‍රචණ්ඩත්වය සහ ආපදාව රජ කළ විවිධ කාල පරිච්ෙඡ්දවලට දශක ගණනාවක් තිස්සේ ප‍්‍රතිචාර දක්වා ඇතත් පිළිවෙළින් බලයට පත් ආණ්ඩු කිසි විටෙක සෑම ආකාරයකින් ම වන්දි ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීමක් හෝ පුළුල් වන්දි ප‍්‍රතිපත්තියක් තහවුරු කිරීමට ප‍්‍රයත්න දැරීමක් කර නැත.

යෝජිත පණත් කෙටුම්පත බලාත්මක කෙරුණ හොත් විටින් විට රට තුළ පැන නැගි ආන්තික ප‍්‍රචණ්ඩත්ව අවධි කිහිපයකින් පීඩා විඳ ඇති ඒවාට ගොදුරු වූවන් හා ඔවුන්ගේ පවුල් දහස් ගණනකට සහනයක් සැලසෙනු ඇත. දකුණේ හට ගත් තරුණ කැරලි දෙක සහ දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැතිර ගිය සිවිල් යුද්ධය ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන් දැඩි මානසික කම්පනයකට ලක් කර ඇත. ප‍්‍රචණ්ඩත්වය දිවයිනේ උතුරේ, දකුණේ, නැගෙනහිර හා බටහිර දිවි ගෙවන ගොදුරු වීමට ඉඩ ඇති ප‍්‍රජාවන්ට විනාශකාරී සමාජ-ආර්ථික බලපෑම් ද කර ඇත. රජය මෙම ගොදුරු වූ අයගෙන් බොහෝ දෙනා අත්විඳ ඇති අහිමි වීම් අවසන් කිරීමෙන් හෝ පිළිගැනීමෙන් තොරව දශක ගණනාවක් ගෙවී ගොස් ඇත. ඔවුන්ගේ වේදනාව හඳුනා ගැනීම හා ඔවුන්ට සිදු වූ අහිමි වීම් පිළිගැනීම යනු රට තුළ ක‍්‍රියාත්මක කෙරෙන නිවැරදි කිරීමේ හා ප‍්‍රතිසන්ධාන ක‍්‍රියාවලියෙන් නොවෙන් කළ හැකි පැතිකඩකි. පශ්චාත් ගැටුම් සමාජයක දී වන්දි ලබා දීම මගින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කළ යුත්තේ මෙය යි.

තීරණාත්මක කර්තව්‍යයක්

එම නිසා සමානාත්මතාව, ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය කෙරෙහි සංවේදී වීම, ගොදුරු වූවන්ට ප‍්‍රධාන තැන දීම සහ වෙනත් ප‍්‍රධාන පැතිකඩවලට අදාළ ගැටලූ කෙරෙහි අවධානය යොමු කරමින් විනිවිද භාවයෙන් යුතුව හා සියල්ලන් ඇතුළත් වන අයුරකින් මුල පුරන්නේ නම් අනාගතයේ වන්දි ලබා දීමේ යන්ත‍්‍රණයක් ඇති කිරීමට දරන ප‍්‍රයත්නය සාදරයෙන් පිළිගැනෙනු ඇත. අනාගත යන්ත‍්‍රණයක් හමුවේ ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය විමසා බැලීමේ සහ ප‍්‍රචණ්ඩත්වයේ, ගැටුමේ හා ආපදාවේ බොහෝ අවධි පැවති බව පිළිගන්නා රාමුවක් හඳුන්වා දීමේ තැති ගන්වනසුලූ නමුත් තීරණාත්මක කර්තව්‍යය පවතිනු ඇත. එම යන්ත‍්‍රණය සතුව දූරදර්ශී නායකත්වය හා ප‍්‍රවීණතාව ඇත් නම් මේ වන විට සහාය සැපයෙන්නේ යම් යම් අවස්ථාවල පමණක් ය යන කරුණ කෙරෙහි අවධානය යොමු කිරීමටත් අභිමානයෙන් යුතුව අවාසනාවන්ත තත්ත්වයන් විඳ ගන්නා ශ‍්‍රී ලංකාවේ සියලූ පුරවැසියන් සැලකිල්ලට ගන්නා වැඩසටහන් හඳුන්වා දීමටත් හැකි වනු ඇත. ආණ්ඩුව වන්දි ලබා දෙන බවට තමන් දුන් පොරොන්දුව තොරතුරු ප‍්‍රසිද්ධ කරමින්, විනිවිද භාවයෙන් යුතුව හා සියල්ලන් ඇතුළත් වන ආකාරයෙන් ඉටු කිරීමට පෙලඹිය යුතු ය. දේශපාලනික වාසිවලට, අක‍්‍රියතාවට හා ජනවාර්ගික-ජාතිකවාදී හැඟීම්වලට අතීතය සලකා බැලීම සඳහා ශ‍්‍රී ලංකාව යන ගමනේ අංග බවට පත් විය යුත්තේ මොනවා දැයි තීරණය කිරීමට ඉඩ නොදිය යුතු ය.

භවානි ෆොන්සේකා | Bhavani Fonseka

(සන්ඩේ ඔබ්සවර් හී The importance of Reparations in post-war Sri Lanka නමින් පළවු ලිපියේ සිංහල අනුවාදයකි.(විකල්ප)