iMage: Sirasa Video/Screenshot

කොළඹ වටලනවා’ රාජපක්ෂලා කීවේය. ‘ජනබලයකොළඹට’ නමකුත් දැම්මේය. මුදල් වංචාවන් සදහා චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ නායකත්වය ගන්නා බවට සැලවිය. ඒ කොළඹ ‘වටලෑමටය.’

හේතුව ‘යහපාලන’ ආණ්ඩුව ජනතාවට පීඩාව ගෙන දෙන බැවින් ඔවුන් ගෙදර යැවීමටය.

යහපාලන ආණ්ඩුව ගෙදර නොයවා නැවත අපි ගෙදර යන්නේ නැති බව පවිත්‍රා වන්නිආරච්චි ඇතුලු පිරිසක් පසුගිය දා කෑ ගැසුවේය. නාමල් රාජපක්ෂ කීවේ ‘අපි කොළඹ පුරවනවා’ ‘ලක්ෂ 5කට වඩා මිනිසුන් අපි ගේනවා’ යනුවෙනි.

නමුත් මේ වන විට වාර්තා වී ඇති ලෙස, අසූදාහකට ආසන්න ප්‍රමාණයක් සහභාගී වී ඇති බවය. එපමණක් ද නොවේ. විශාල පිරිසක් රැය පහන් කරමින් කොළඹ රැදී සිටීමට ද ඔවුන් සැලසුම් කර තිබිණි. නමුත් මේ වන විට ඉන් විශාල පිරිසක් යළි ගම්බිම්බලා ගොස් ඇත. ‘අපි ආවේ මහින්ද මහත්තයා හින්දා, අපිට කිසිම පහසුකමක් නෑ’ ඇතැම්නු සංවිධායකයන්ට චෝදනා කරන අයුරුද මාධ්‍ය වාර්තා කර තිබිණි.

මහින්ද රාජපක්ෂ කතාව ආරම්භ කරන විට පොදු ජන පෙරෙමුණේ බොහෝ නායකයින් ඔහු සමග සිටියේ නැත. අවම ලෙස නාමල් වත් නැත. පෙරමුණේ සභාපති ජී . ඇල් පීරිස් නැත. ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ්, වාසු, විමල් නැත. රාජපක්ෂ කෙටි කතාවක් කලේය. ජනයා සිටියේ ‘ආතල්’ එකේය. එබැවින් 2015 උලුවස්සේ එල්ලී සිදුකල කතාවට දුන් ප්‍රතිචාරයවත් අද මහින්දට ලැබුනේ නැත. මහින්ද බැස ගියේය.

කෙසේ නමුත් නාමල්ගේ ‘ජනබලයකොළඹට’ සාර්ථකත්වය, අසාර්ථකත්වයට පෙරලී ඇති මුත් ආණ්ඩු පෙරළීම නම් සිදු ව නැත.

‘ගොං හැපනින්’ නම් එමටය.

රැළිය විසින් සිදුකළ හොද දෙයක් විය. එනම් මිනිසුන්ට ‘ආතල්’ ගැනීම සදහා තවත් ‘ඉවෙන්ට්’ එකක් සංවිධානය කිරීමය. රාජපක්ෂලාගේ හෝ වික්‍රමසිංහ/ සිරිසේන ගේ හෝ පාක්ෂිකයන් වන්නේ දවස පුරාම මහපොළවත් සමග හෝ කම්හලක හෝ සිය ජීවිතය දිය කර හරින මිනිසුන්ය. ගැහුණුන්ය. ඔවුන් බොහොමයක් නාගරික වැසියන් නොවේ. එැබැවින් අවම ලෙස හෝ නාගරික වැසියන්ට හිමිවන ‘හැපනින්’ ඔවුන්ට හිමි වන්නේ නැත. සිය ‘හිමියාට’ හැපනින් සමග තවත් බොහෝ දේ හිමිකර දීමට ඔවුන් දිවා රෑ මහන්සි වෙයි. ඔවුන් ඒ බව දන්නේ නැත. අද ද දන්නේ නැත. හෙට ද දැනගැන්මට හැකි යැයි කියා සිතන්නට නොහැකිය. එබැවින් සිය ‘හිමියා’ විසින් යෝජනා කරන මෙවැනි ‘ජනබලයකොළඹට’ හෝ කුමක් හෝ අඩව්වක් සදහා එකපයින් කැමති වන පාක්ෂිකයන් බසයට නගින්නේ ම ‘ආතල්’ ගැනීමටය. අරක්කු බෝතලයක්, ඩොල්කියක්, රබානක් ආදී විනෝද උපකරණ ඔවුන් සතුය. ඒ අතර තුර සිය ‘හිමියා’ ගැනත් අමතක නොකරන්නට ඔවුන් වග බලා ගනී. ‘මහින්ද මහත්තයාට ජය වේවා’ ඉදහිට ගීත අතුරින් එවැන්නක් කියන්නට ඔවුන් වග බලා ගනී.

කොළඹ මහ පාර ඔවුන්ට සුර පුරයකි. ‘කවද්ද බං කොළඹ පාරක අඩියක් ගහන්න ලැබෙන්නේ’ ඇත්තම ඇත්ත ඔවුන් කියන්නේ එබැවිනි. පොලීසියෙන් නැත. වෙනත් මිනිසුන්ගෙන් බාධාවක් නැත. සුවසේ විනෝද විය හැකිය. ඉතින් ඔවුන් විනෝද වෙයි. නටයි. කයි. බොයි. එතැනින් නොනැවතී හිතුන හිතුන දේ කරයි. මහ පාරේ කොතනක හෝ සරම උස්සා වැඩි ටික පහ කර යවයි. මහ පාරේ බුදිය ගනියි. ලයිට් කනුවල එල්ලී ඇති හැටි විනෝද වෙයි. here

‘ජයවේවා’ ඉද හිට මතක් වී කියයි. දින ගණනාවක තමන්ගේ වෙහෙස ඔවුන් දිය කර හරින්නේ එළෙසය. ‘ගමේ බිව්වට මේ ආතල් එක නෑ නේ’ ලියම්කරු සමග හම්බන්තොටින් පැමිණි අයෙක් කීවේය. ‘ඇයි’? ‘බස් එකේ එනවා, එනකොටත් බොනවා’ සිංදු කියනවා, නටනවා. පෙළපාලීයේ යනවා, කෑ ගහනවා, ෆුල් ආතල් නේ. අනික ඔක්කොම නිකං’ ඔහු පරෙලා කීවේය.

සත්‍ය නම් මෙය වන්නේය.

එබැවින් මෙවැනි ‘ඉවෙන්ට්’ වැදගත් ය. ඒ නාමල්ගේ අර්ථයෙන් නම් නොවේ.

හැපනින් නැති දේශපාලනය

මෙයින් මතුවන ප්‍රධාන කරුණක් වෙයි. සමාජයක ‘හැපනින්’ නැති නම් විනෝද වීමට ඇති අවස්ථා හැකීලීමෙන් ඒ සමාජය වෙනස් කරන්නට හිතන තරම් ලෙහෙසි නැති බවය. එවිට සිදු වන්නේ ‘හැපනින්’ කියා සිතමින් වෙනත් දේ සදහා ජනයා යොමු වීමයි. මහින්ද රාජපක්ෂ පපුවට ගසා ගෙන මව් බිම ගැන කීමෙන් ඇතැමෙක් ‘සතුටට’ පත්වන්නට පුලුවන. නමුත් ඒ දෙයින් සිදුවන්නේ පුරවැසියාගේ චින්තන පද්ධතියම ඩැමේජ් කර රාජපක්ෂගේ සිතැගි සදහා පමණක්ම ඔවුන්ව භාවිතා කිරීමයි. එය විසින් ඇති කරන්නේ ‘එහෙයියෙකි’ ‘වහලෙකි’

එබැවින් ‘හැපනින්’ හකුලා ඇති සමාජයක කුමක් හෝ සිදුරකින් එය ලබාගත් විට එය ඇතැම් විට විපරීත තත්ත්වයකට පත්වෙයි. ඉතා උස ලයිට් කනු මත නගිමින්, පොල් ගස්වල කුරුම්බා ඇට්ටි ගහේ තබාගනම හපමින් ඔවුන් ‘යමක්’ සොයයි. ඔවුන්ට අනුව එය විනෝදයකි. නමුත් මේ ‘ඊනියා විනෝදය’ රාජපක්ෂලා වැන්නවන්ට ඉල්ලමකි. එැබැවින් බත් පැකට් එකක්, අරක්කු ටිකක් පොවා ඒ ජන මනස සංඛේතවත් ලෙස හෝ තමන්ගේ බලය සදහා භාවිතා කරයි.

මෙය ලංකාවේ ශිෂ්ට අනාගතයක් සදහා වන මූළක බාධාවක් බව තේරුම් ගැනීම වැදගත් වන්නේ ය.

දේශපාලන සාක්ෂරතාවය

‘ජනබලසේනාකොළඹට’ නමින් ඊයේ කොළඹට පැමිණි පිරිසගේ හැසිරීමෙන් (අරක්කු බීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් ලියුම්කරු තුළ නැත. එහි කිසිදු ගැටලුවක් නැති බව පිළිගන්නා ලියුම්කරු, නමුත් ඉන් ඇති කල අශීලාචාරකම පිළිබදව පමණක් විවේචනයක් සහිතය) මතුවන අනෙක් කරුණ නම් දේශපාලන සාක්ෂරතාවයයි. ඔවුන්ගේ සටන්පාඨවලින් හෝ කිසිදු භාවිතයකින් ඒ බවක් පිළිඹිඹු වන්නේ නැත.

රාජපක්ෂලාත් එසේමය. ‘සෞඛ්‍යත් විකුණනවා’ ‘අධ්‍යාපනයත් විකුණනවා’ වැනි ඒවාත් ඔවුන් භාවිතා කළේය. ඇයි රාජපක්ෂලාත් ඕවා කළා නේද? කිසිවෙක් ඇසුවේ වත් කිව්වේ වත් නැත. ‘මාධ්‍ය මර්දනය නවතනු’ තවත් විරෝධතා පුවරුවක් විය. එක්ණැලිගොඩ, සිවරාම්, ලසන්ත, වැනි රාජපක්ෂ සමයේදී අතුරුදහන් කළ මෙන්ම ඝාතනය කළ මාධ්‍යවේදීන් මේ පුවරු දකින්නට අද නැති වුවත්, ඒවාට යුක්තිය ඉල්ලන පුරවැසියන් තවමත් මේ බිමේ ඉන්නා බව රාජපක්ෂලා දැන ගත යුතුය. ‘ආප්පයා’ තවකෙක් කෑ ගැසුවේය. මෙවැන් දුප්පත් ලෙස හැසිරෙන මේ ජනයා ඇත්ත දේශපාලන තත්ත්වය කවදා තේරුම් ගනිවීද? ප්‍රශ්ණය ඇත්තේ එතැනය.

නමුත් රාජපක්ෂලා නම් කිසිදු දිනක මේ මිනිසුන්ට ඒ සත්‍ය වටහා ගැනීමට අවශ්‍ය විභවතාවය සපයන්නේ නැත. එසේ වුවහොත් ඔවුන්ගේ ඉරණම ඉතාම බියකරු ලෙස ඒ ජනයා විසින්ම තීරණය කරන බව ඔවුන් දන්නේය. එබැවින් අරක්කු බෝතලයක් දී ‘ආතල් ගනිල්ලා’ යැයි පමණක් කීමට ඔවුන් පරිස්සම් වෙයි.

එැබැවින් බොරු දේශපාලන වචන විජ්ජාවක් පෙන්නා, ගම්වලින් සෙනග ගෙන්වා ‘ගම් හැපනින්’ සමග ඔවුන්ව වෙරි මතින්ම ගෙවල් වලට යැවීම අද දවසේ රාජපක්ෂ දේශපාලනය බව තේරුම් ගත යුතුය.

එසේම ‘යහපාලන’ ආණ්ඩුවද තේරුම් ගත යුත්තක් තිබේ. එනම් මිනිසුන්ගේ ඇත්ත ‘හැපනින්’ අවකාශයන් පටු කළහොත් වාසිය අත්වෙන්නේ ‘ගෝත්‍රික’ අදහස් ඇති දේශපාලන නරුමයන්ට බවය.

එබැවින් මිනිසුන්ට අවශ්‍යම දෙයක් වන ‘ජීවිතයේ හැපනින් අවස්ථා’ පුලුල් කරමින් ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය අවශ්‍ය ආකාරයට හැඩ ගස්සවා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම අද දවසසේ ඇති ප්‍රධාන පියවරකි. එපමණක් ද නොවේ මිනිසුන්ගේ පරිකල්පනය දියුණු කර ගැනීමටත්, පරිකල්පනයන් වාරණය නොකර, සංස්කෘතික ජීවිතයේ නිදහස සදහා අවශ්‍ය සරු බිමක් සකස් කිරීමත් අද දවසේ ලාංකීය දේශපාලනයටද අත්‍යවශ්‍ය බව තේරුම් ගත යුතුය.

එසේ නොවුනහොත් මෙවැනි ‘අපුල දනවන’ (අ)දේශපාලනික දර්ශනයන් ඉදිරියේදී ද අපට නොඅඩුවම මුණගැසෙනු ඇත.