බටහිර ලෝකයේ අලුත් ආගම වෙලා තියෙන්නේ මානව හිමිකම් බවත්, මානව හිමිකම් කියන ඒවා ආවේ ඊයේ පෙරේදා බවත්, හරියට අලුත හොයාගත්තු හොයා ගැනීමක් වගේ, ඔලුව උඩ තියාගෙන හැම තිස්සේම අපට කියන බවත්, කොළඹ අගරදගුරුතුමා වන ‘මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්’ පවසයි.

අතිඋතුම් අගරදගුරුවරයා මේ අදහස් පළ කළේ ඊයේ (23) ඒකල, ශාන්ත මතෙව් දේවස්ථානයේ දේවමෙහෙයකට සහභාගි වී සිදුකළ සිය ආගමික දේශණයක දීය.

ගරු අගරදගුරුතුමන්’ සිය කතාවේ මෙසේ ද සදහන් කරයි.

“බටහිර ලෝකයේ අලුත් ආගම වෙලා තියෙන්නේ මානව හිමිකම් කියන කාරණය. මේ මානව හිමිකම් කියන ඒවා ආවේ ඊයේ පෙරේදා. හරියටම අලුත් සොයාගත්තු පුදුමාකාර දෙයක් වගේ, ඔලුව උඩ තියාගෙන ඕක තමයි හැම තිස්සේම අපට කියන්නේ, මානව හිමිකම්, මානව හිමිකම්. ඒ උනාට විශේෂයෙන්ම අපේ රටේ ජනතාව ආගම් අදහන්න ගත්තේ අවුරුදු බොහෝ, අවුරුදු ගණනාවකට කලින්, ශතවර්ෂ ගණනාවකට කලින්. අපේ රටේ සමහර ඈයෝ කථා කරනවා අනාගමික සමාජයක් ගැන. අනාගමික සමාජයක් නැහැ. මිනිස්සුන්ගේ ජීවිතය, කෑම, බීම, ඇදුම්-පැළදුම්, සහ සැප විහරණය පමණක් නෙවෙයි. අපි ආගම අදහනවා නම් මානව හිමිකම් ගැන කථා කරන්න ඕන නෑ. මානව හිමිකම්වලටත් එහා ගිය විදිහට අපිට ජීවත් වෙන්න පුලුවන්. මානව හිමිකම් වල එල්ලීගන ඉන්නේ ආගම් අදහන්නේ නැති මිනිස්සු. ආගමක් අදහනවා නම් මානව හිමිකම් ඕන නෑ අපිට. මිනිස්සු මේ මායාවට අපි රැවටෙන්න හොද නෑ. අපි බුද්ධිමත්ව මෙහිදී කටයුතු කළ යුතුයි.”

(බලන්න වීඩියෝව(අනුග්‍රහය අද දෙරණ)

ගරු අගරදගුරු මැල්කම් රංජිත් උතුමාණෝ’ මෙසේ පවසන්නේ ඉතා සංකීර්ණ අවස්ථාවක වීම සැලකිල්ලට ගත යුතුය. එනම් 2009 මැයි 18වනදායින් අවසන් වූ යුද්ධය තුළ ඇති වූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන දේශියව මෙන්ම ජාත්‍යන්තරයේත් දැඩි අවධානයට ලක් වෙමින් ඇති කාලයක වීමය. ඇතැම් ඒවා විශේෂ විඩියෝ සාක්ෂි සහිතව ද විවරණය වෙමින් පවතී. එපමණක් ද නොවේ දකුණේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලවල දී මරා දැමූ රොෂේන් චානක වැනි කම්කරුවන්ගේ ඝාතනයන් පිළිබදව ද යම් හෙළිදරව්වන් අණාවරණය වී ඇති කාලයකය. පීඩනයට පත් වූ සියලුම් ජනමාධ්‍යවේදීන් පිළිබද ‘යුක්තිය’ සොයාගැනීම යන කාරණය තවමත් ඉටු වි නොමැති වුව ද, ලසන්ත, ප්‍රගීත් සහ කීත් නොයාර් වැනි මාධ්‍යවේදීන් ගැන යම් විමර්ශනයන් සිදු වෙමින් පවතින තත්ත්වයක් තුළය. රගර් ක්‍රීඩක තාජූදීන්ද තවත් එවැනි තවත් උදාහරණයකි. එවැන් බොහෝ දේ සිදුවූයේ බොහෝ ආගමික නායකයින් කටයි, අධෝමුඛයයි දෙකම වසාගෙන හිටි තත්ත්වයක් තුළය. ලේ ගංගාවන් ගලාගෙන යද්දී පල්ලි, පංසල් තුළට වී සිටි තත්ත්වයක් තුළය. එයට මේ ‘විකාර’ දේශණා කරන මැල්කම් රංජිත් අගරදගුරු තුමා ද අයිත් වෙති.

ඒ ඉහත සදහන් කළ සියලු අනාවරණය වීම් පිටුපස ඇත්තේ මානව හිමිකම් ය. මේ රටේ මෙන්ම විදේශීයව ක්‍රියාකාරීවන මානව හිමිකම් ක්‍රියාකාරීන්ය. ජනමාධ්‍යවේදීන්ය. මානව හිමිකම්ස පිළිබද විශ්වාස කරන ක්‍රියාකාරීන්ය. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානය.

එම තත්ත්වය තුළ අගරදගුරුතුමන්ගේ ප්‍රකාශය සෘජුවම ලංකාවේ අපරාධකරුවන් ගේ අවශ්‍යතාවය ඉටු කරන්නක් ද යැයි සැකයක් මතු වීම වළක්වාලිය නොහැක. එසේම එම ප්‍රකාශය රාජපක්ෂ සමයේ මෙන්ම වර්තමානයේත් මානව හිමිකම් කියූ සැනින් උඩුබුරන වෘක්කයන්ගේ පාර්ශවය නියෝජනය කරන්නක් ද?. අගරුදගුරුතුමන්ගේ ඒ කතාව හොදින් ඇසුව හොත් එහි ඇති හඩ විලාශයෙන් පවා එහි ඇති ‘නරුම බව’ ද ඔබට හොදින් වැටහෙනවා ඇත.

එපමණක් ද නොවේ, අගරදගුරුතුමන් ඉතා ගැඹුරින් කියන ආගම ඇදහීම කියන කාරණයේ දී, අද ශිෂ්ට ලෝකයේ ආගම නොඇදහීම ද පිළිගත් අයිතිවාසිකම් බව ඔහු නොදන්නේ ද? නැත. ඔහු දන්නවාට කිසිදු සැකයක් නැත. ඔහුට අවශ්‍යව ඇත්තේ ඊනියා බෞද්ධයන් මතින් සිය විලාසය වර්ණ ගැන්වීම සහ අපරාධකරුවන්ගේ අනාගත දේශපාලනයේ, ආගමික කථානායක වීමට ය.

බටහිරින් පැමිණි දෙයක්…’ ඔහු කියයි. කල්පනා කර බලන්න. අනෙකුත් ආගම් විවේචනය කරමින්, වෛරය වපුරවමින් අලුත්ගම, දිගන, අම්පාර වැනි නගරවල මෙන්ම තවත් ස්ථානයන්වල දී ද අනෙකුත් ආගමික කණ්ඩායම්වලට එරෙහිව වෛරය වැපිරූ ඊනියා සිංහල බෙෘද්ධයින්ගේ වචන සහ අදහස් – සෑම එකකම ඔවුන් කීවේද එයයි. එබැවින් ‘සියලු දෙනාට ප්‍රේම කරන්න’ යැයි කියූ යේසුස් වහන්ගේ පුත්‍රයෙක් ලෙස හදුන්වා ගන්නේ මේ මැල්කම් රංජිත් පූජකතුමා නම්, යේසුගේ පුත්‍රයෙක් නම් නොවන්නේය. අර කලින් කී වෛරය වපුරන, ඊනියා මත පළකරමින් ජනයා ගෝත්‍රිකත්ව දෙසට කැදවාගෙන යෑමට වෙර දරණ පූජකයෙක් පමණි. මෙය සැබැවින්ම යේසූස් තුමා මෙන්ම කිතු දහමද අවමානයට ලක් කළ අවස්ථාවකි.

අනෙක් පසින් ආගමික ආයතනයන්ගේ සෘජුවම වෙන් වූ ‘අනාගමික රාජ්‍යන්’ පිළිබද ලෝකයේ ඉතාමත් විශිෂ්ට තත්ත්වයන් තිබෙන බව ලෝකය ගැන කියවීමක් ඇති අයට පැහැදිලි කළ යුතු ව නැත. විශේෂයෙන් ආගම අද ශිෂ්ට ලෝකයේ සැලකෙන්නේ පෞද්ගලික දෙයක් විනා එය රාජ්‍යයේ බූදලයක් ලෙස නොවේ. එබැවින් ආගම රාජ්‍ය කෙරෙහි දක්වන දෘඩතාවය වෙනුවට ආගම රාජ්‍යයෙන් වෙන් කර, රාජ්‍ය ස්වාධීනව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී, මානව හිම්කම් සහ වීවෘත භාවයක් මත පදනම්ව පවත්වාගෙන යාම අද ලෝකයේ ශීලාචාර ක්‍රමයයි. අගරදගුරු තවම ඉන්නේ මීට සියවස් ගණනාවකට පෙර ගැලීලියෝ සමයේ ද යැයි සැක සිතෙන්නේ එවිටය.

අගරදගුරුවරයා ගේ මේ ප්‍රකාශය පිළිබද සිය ෆෙය්බුක් ගිණුමේ සටහනක් තබන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසන්නේ, වාර්තාවේ දැක්වෙන ආකාරයට කාදිනල් වරයා විසින් කර ඇති ප්‍රකාශ්‍ය නිවැරදි නම් මානව හිමිකම් පහත් කොට සළකමින් ඔහු විසින් මේ කර ඇති ප්‍රකාශය ලැජ්ජා සහගතය බවය.(නීතිඥ සාලිය පීරිස් මහතා, අතුරුදහන් වූවන් පිළිබද කාර්යාලයේ වර්තමාන සභාපතිවරයා ය.)

”වාර්තාවේ දැක්වෙන ආකාරයට කාදිනල් වරයා විසින් කර ඇති ප්‍රකාශ්‍ය නිවැරදි නම් මානව හිමිකම් පහත් කොට සළකමින් ඔහු විසින් මේ කර ඇති ප්‍රකාශය ලැජ්ජා සහගතය. ඔහුගේ ප්‍රකාශයට අනුව පෙනියන්නේ මානව හිමිකම් සංකල්පය සම්බන්ධව හෙතෙම සම්පුර්ණයෙන්ම නොදැනුවත්භාවයකින් පසුවන බවය. ඒසේම ඇතැම් මිනිසුන් විසින් ආගම යන සංකල්පය කෙරෙහි විශ්වාසයකින් පසු නොවන බවත් ආගම බලයෙන් මිනිසුන් වෙත ලබා දිය නොහැකි එකක් බව යන්න අවබෝධ කොට ගැනිමට ඔහු අසමත්ව තිබේ. මෙය පෝප් ෆැන්සිස්ගේ ප්‍රගතිශිලී චින්තනය හා කෙතරම් පරස්පර විරෝධි එකක්ද? මේ වාර්තා කර ඇති ප්‍රකාශය අසත්‍ය නම් ඔහු විසින් මෙය ප්‍රතික්ෂේප කළ යුතුව පවති.”

කෙසේ නමුත් අගරදගුරුතුමාගේ ද නායකත්වය වන ෆ්රැන්සිස් පාප්තුමා පවසන්නේ මෙවැන්නකි.

”මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනයේ ඇතුළත් අයිතිවාසිකම් ප්‍රකාශ කරන ලද්දේ මිනිස් පවුල තුළ ඇති බෙදිම් වළක්වා ගැනිමටත් පල්ලියේ සමාජ මුලධර්ම ලෙස සලකන ඒවා පුර්ණ මානව සංවර්ධනයක් උදෙසා හිතකර ලෙස භාවිතා කිරිම වෙනුවෙනි.”

”මානව හිමිකම් පිළිබද කතා කරනවා යනු ම අන් සියල්ලකටම වඩා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වභාවයට හා කැමැත්තේ එකගතාවයට අනුව නිර්මාණය කරන ලද මිනිසාගේ නැත්නම් පුද්ගලයකුගේ කේන්ද්‍රිය ස්වභාවය ප්‍රතිස්ථාපිත කිරිමකී.”(Read More here)

කෙසේ නමුත්, මානව හිමිකම්, බටහිර වැනි දේ ගැන ගර්හාවෙන් කතා කරන මැල්කම් රංජිත් අගරදගුරුතුමාගේ ලෝගුව බලෙන් ගැලවීමට කවුරුන් හෝ තැත් කළහොත් සහ කිතු දහම අතහැර වෙනත් දහමක් වැළදගන්නා ලෙස බලකලහොත් අනිවාර්යෙන්ම එදාට, ගරු මැල්කම් රංජිත් අගරදගරුතුමාට මානව හිමිකම් මතක් වනවාට කිසිදු සැකයක් නැත.

එබැවින් අවසානයේ කීමට ඇත්තේ ‘සියලු දෙනාට ප්‍රේම කරන්න’ යැයි කී යේසුස් වහන්සේ ට ලැජ්ජා කිරීම නවතා දමා ‘මානව හිමිකම්” ගැන තමන්ගේ ම ඇසින් බලන ලෙසය.

* මානව හිමිකම් ගැන ගර්හාවෙන් කතා කරන මෙවැනි අගරදගුරුතුමන්ලා සිටින රටේ මිනිසුන්ගේ යහපත සහ යුක්තිය වෙනුවෙන් ක්‍රියාකාරි වන කතෝලික පූජකතුමන්ලා ද සිටින බවට සදහන් කරමින් ‘විකල්ප’ තැබූ ට්වීටර් සටහන නැවත මෙහි පළකරන්නේ එැවැනි ලෙස මානව හිමිකම් තුළින් පීඩනයට පත් ජනතාවට යුක්තිය ඉටු කර දීමට මහන්සි ගන්නා උතුම් පූජකතුමන්ලාට ගෞරවයක් ලෙසය.