iMAGE: Texas Public Radio

සෑම වසරකම ඔක්තෝම්බර් මස 10 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක මානසික සෞඛ්‍ය  දිනය ලෙස නම් කරනු ලැබේ. ඒ අනුව 2018 වසරේදී ලෝක මානසික සෞඛ්‍ය  දිනයේ තේමාව ලෙස නම් කර ඇත්තේ “වෙනස්වන ලෝකය තුළ තාරුණ්‍ය සහ  මානසික  සෞඛ්‍ය ” යන්නයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි නව යොවුන් වියට එළඹෙන කාලය එනම් එම  වයස් සීමාව යනු විශේෂයෙන්ම ශාරීරිකව මෙන්ම මානසිකව අභියෝග හා වෙනස් වීම් රාශියකට මුහුණ දෙනු ලබන අවධියකි. වැඩිහිටි වියට එළඹීමේ මුල්මේ කාලය වන මේ  කාලය තුළදී  ද්විතික අධ්‍යාපනය ආරම්භ කිරීම, ඇතැමි විට නිවෙසින් පිටස්තරව ජිවත් වීමට පටන් ගැනීම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ රැකියා ආරම්භ කරනු ලබන මුලික අවධිය වේ. බොහෝ දෙනෙකුට මේ කාලය අපුර්ව හා සුන්දර අත්දැකීම් එකතු කරන අතරම තවත් බහුතරයකට මේ වෙනස් වීම දුෂ්කර වනු ඇත. 

කෙසේවෙතත් මේ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ වන සංවාදය ඉතා අඩු මෙන්ම අවධානයට ලක් නොවූ එකක්. විශේෂයන්ම ලෝකය පුරා අවුරුදු 14-29 ත් අතර වයස් කාණ්ඩයේ මරණ වලට දෙවන වැඩිම හේතුව බවට පත්ව ඇත්තේ  සිය දිවි නසා ගැනීම වන අතර ශ්‍රී ලංකාව තුළද බොහෝ සෙයින් පසු ගිය කාලය පුරා තරුණ සිය දිවිනසා ගැනීම් වාර්තා විය.

බොහෝ විට මෙය විශාද තත්වයක් උග්‍ර වීම හා තාරුණ්‍ය හා සබැදි අභියෝග වලට මුහුණ දීමේදී ඔවුන්ට එල්ල වන ගැටලු වලට සමස්ත සමාජය විසින්ම දක්වන නොසැලකිල්ල මත සිදු වන්නක්. පවතින  ආර්ථික, සමාජ හා සංස්කෘතික, තාක්ෂණික  වටපිටාවන් මත පුද්ගල මානසික ජිවිතය  සම්බන්ධව දක්වන අඩු වටිනාකම හා අවතක්සේරුව  මේ තත්වයන් තව තවත් උග්‍ර කරමින් සිටියි.

යුධ ආදී හෝ වෙනත් ගැටුම්කාරී  තත්වයන්, ස්වාභාවික විපත් වෙත විශාල වශයෙන්  මුහුණ දුන්ස හා මුහුණ දෙමින් සිටින සමාජයක්  වුවත් අප සමාජය තවමත් මානසික සුවතාව කෙරේ ඇත්තේ අඩු නැඹුරුවකි. බොහෝ විට මේ කතිකාවත ප්‍රධාන ප්‍රවාහයෙන් මිදී යන අතර අවඥ ලෙස බැහැර කෙරේ.

ඒ නිසාම   “පිස්සා” ” පිස්සු” “මෙන්ටල්” “මොංගල්” යන වචන තවමත් සමාජ භාවිතයේ පවතියි. මානසික අසහනකාරී තත්වයනට ගොදුරු වන්නන්ව ඒ නිසාම දරුණු ව්‍යාධියකට තවදුරටත් මුහුණ දෙනු ලැබේ.  සමස්ත සමාජයම මේ මාතෘකාව කෙරේ දක්වන්නේ  ඇල්මැරුණු ස්වභාවයකි.

මුල්ලේරියාවේ පිහිටා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය (NIMH) තවමත් අප හඳුන්වන්නේ “පිස්සන් කොටුව” නමිණි. එහෙත් ඔබ වරක් හෝ එහි ගොස් ඇති අයෙක් නම් මානසික රෝග බාධයකට ගොදුරු වීම යන්න “ඔලුවක් ඇති මොළයක් ඇති අප සියල්ලන්ට  ඕනෑම මොහොතක විය හැක්කක්” බව අවබෝධ කරගනු ඇත.

ආකල්පමය වෙනසකින් යුතුව මානසිකව සමබර ජිවිතයක වටිනාකම  හඳුනා ගන්නා  තාක් අප සෞඛ්‍යමත් සමාජයක් හෝ ඉදිරිගාමී සමාජයක් නොවනු ඇත.

මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිත්තෙන් විකල්ප සායනික මනෝ විද්‍යාඥ නිවේන්ද්‍ර උඩුමන් සමඟ කළ කෙටි සාකච්ජාව ඉතා ඉක්මනින් විකල්ප වෙබ්බ අඩවිය තුළින් බලාපොරොත්තු  වන්න.