සිංහල, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

නැගෙනහිර ජනතාවගේ ඉරණම

svtamils_wideweb__470x33801.jpg
මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වීමත් සමග යළිත් නැගෙනහිර පළාත සම්බන්ධයෙන් කතාබහ කරලියට පැමිණෙමින් තිබෙනවා. මුස්ලිම් කොංග්‍රස් නායකයා කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර මුස්ලිම් ජනයා වෙනුවෙන් කිසිවක් කර නොමැති බවකි. කොහොම නමුත් නැගෙනහිර ප්‍රදේශයේ ජනතාව හැම රජයක්ම යොදාගත්තේ සිය බල තුලනය පවත්වාගෙන යන්නයි. මෙය මැතිවරණ දේශපාලනයේදීත්, යුද්ධ මෙහෙයුම්වලදීත්, සංවර්ධන කටයුතුවලදීත් දකින්න පුළුවන්.

දෙමළ, මුස්ලිම්, සිංහල, බර්ගර් ජන කොටස් වෙසෙන මේ ප්‍රදේශයේ ජන සංයුතිය පාලකයන් තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරන්න කටයුතු කළේ අද ඊයෙක නොවේ. ගල්ඔය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ ජනපදකරණයේ සිට මෙය ක්‍රියාත්මක වෙනවා, මහවැළි සංවර්ධන යෝජනා ක්‍රමයේදි වුණේ මේක තවදුරටත් වෙනත් ආකාරයකින් ඉදිරියට ගෙන යාමක්.

නැගෙනහිර නවෝදය යටතේ අද සිදුවන්නේත් ඒ දේමයි. රජයේ හමුදා යුද මෙහෙයුම්වලින් අත්පත් කරගත් ප්‍රදේශ අද අධි ආරක්ෂිත ප්‍රදේශ බවට පත් කරලා. ඒවායේ පදිංචිව සිටි ජනතාව තවමත් තාවකාලික අවතැන් කඳවුරුවල.

නැගෙනහිර පළාතේ පරිපාලන දිස්ත්‍රික්ක තුන තුළ සිය බලය තහවුරු කරගන්න පාලකයින් කටයුතු කරන්නේ එකිනෙකට වෙනස් ආකාරයකටයි. අම්පාර දිස්ත්‍රික්කය ගත්විට එහි සිංහල හා මුස්ලිම් ජනකොටස් අතර විරසක වීම් දකින්න පුළුවන්. ඒ බොහෝවිට ඉඩම් සම්බන්ධයෙනුයි. දීඝවාපී විහාරස්ථානයට හිමි ඉඩම් මුස්ලිම් ජනයා බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බව දීර්ඝ කාලයක සිට පැවත එන කතාවක්. කාලෙන් කාලෙට නොයෙක් ජාතිවාදී කොටස් මෙය ඉස්මත්තට ගෙන එනවා. අනෙක් කාරණය තමයි වෙළඳ ව්‍යාපාර කටයුතු. අම්පාර නගරයේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අවස්ථාව නොදිය යුතු මතයක් මෑතක සිට කරලියට ඇවිත් තියෙනවා. ඒ සඳහා සිංහල ජනයාගේ මතය ගොඩනගන්න පෝස්ටර් ව්‍යාපාරයකුත් නගරය පුරා දියත් කරලා.

ත්‍රිකුණාමලයට අදාලව මෙය ක්‍රියාත්මක වන්නේ සිංහල-දෙමළ විරසකයක් විදියටයි. සිංහල- දෙමළ මිනිස් ජීවිත ගණනාවක් අහිමි කරමින්, තවමත් රජයේ හමුදා ආරක්ෂාව යටතේ වැඩසිටින සමාධි බුදු පිළිමය මෑත කාලීන නිදසුනක් ලෙස සඳහන් කරන්න පුළුවන්.

මඩකලපුවේදී මේ තතත්වය දකින්න පුළුවන් වෙන්නෙ දෙමළ- මුස්ලිම් ආරවුලක් විදියට. මෑත කාලීන ලේ වැගිරුණු ඉතිහාසය තුළින් අවශ්‍ය තරම් නිදසුන් ඒ සඳහා සොයා ගත හැකියි.

මුස්ලිම් කොංග්‍රසය කියන්නේ මුස්ලිම් ජනයා වෙසෙන පෙදෙස්වලින් ඉඩම් පවරා ගැනීමට රජයට සම්බන්ධ ජාතිවාදී පාර්ශවයන් කටයුතු කර ඇති බවයි. ඒවාගේම මුස්ලිම් කොංග්‍රසයෙන් බිඳී ආණ්ඩුවට එක්ව ඇමතිධුර ලබාගත් අයද මෙම ක්‍රියාදාමය දෙමළ ජනයාට එරෙහිව සිදුකරමින් සිටිනවා. ඒ තමයි දෙමළ ජනයා බහුතරය වන ප්‍රදේශවල මුස්ලිම් ජනයා පදිංචි කරවීම. මේ ක්‍රියාවලි දෙකම සිදුවන්නේ ආණ්ඩුවේ පාර්ශවයන් අතින්.

අනෙක් පැත්තෙන් සන්නද්ධ කණ්ඩායම් පිළිබඳ ප්‍රශ්නයද නැගෙනහිර නවෝදය යටතේ තවදුරටත් ඉදිරියට ඇදෙමින් පවතී. බොහෝ අවස්ථාවන්හිදී මෙම සන්නද්ධ කණ්ඩායම්වලින් දෙමළ, මුස්ලිම්, සිංහල ජාතීන් තුනම පීඩාවට පත්වෙයි.

කොටි සංවිධානයේ බලය බිඳ දමා යළිත් රජයේ හමුදා අතට නැගෙනහිර බලය ලබාගැනීමට මූලික සාධකයක් වූයේ කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන්ය. කරුණා අම්මාන්ගේ සහය නොවන්නට රජයේ හමුදාවන්ට මෙවන් යුද ජයග්‍රහණ අත්පත් කරගැනීමටද නොහැකි වනු ඇත. කෙසේ වුවද කරුණා පාර්ශවයේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ඔහුටද රටින් පලායන්නට සිදුවුණා. දැන් පිල්ලෙයාන් කණ්ඩායම ක්‍රියාත්මක වෙන්නේ රජයේ අනුග්‍රහය ඇතිවය. සෑම ආරක්ෂක හමුදා කඳවුරක් අසලින්ම පිල්ලෙයාන්ගේ කාර්යාලයක්ද පිහිටුවා තිබීම හොඳ නිදසුනකි.

නැගෙනහිරට නවෝදයක් ඇති කිරීමට නම් මෙම සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමට අවශ්‍ය පියවර රජය විසින් ගත යුතුය. එහෙත් ඒ සඳහා අවශ්‍ය කෙරෙන කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය කටයුතු කරනු පෙනෙන්නට නැත.

මේ සන්නද්ධ කණ්ඩායම් උපයෝගීි කරගෙන විවිධ උද්ඝෝෂණ, බලපෑම්, පැහැරගෙන යෑම් ආදිය කිරීමට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනු දක්නට ලැබේ. ඒවා බොහොමයක්ම ආණ්ඩුවේ දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීම සඳහායි.

කොටි සංවිධානයෙන් නැගෙනහිර පළාත මුදාගැනීමේ රජයේ හමුදා මෙහෙයුම්වලදී අවතැන් වූ ජනතාව ලක්ෂ ගණනකි. ඔවුන් නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළද නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. සුනාමියෙන්ද යුද්ධයෙන්ද දැඩි ලෙස පීඩාවට පත්වූයේ නැගෙනහිර ජනතාවයි. සුනාමියට වසර 3ක් සැපිරෙන මොහොත වනවිටත් තවත් බොහෝ දෙනා දිවි ගෙවනුයේ සරණාගත කඳවුරුවලය. එසේ නැතහොත් තාවකාලිකව ඉදි වූ නිවාස වලය.

දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සංවිධාන, සිවිල් සංවිධාන නොවන්නට සුනාමියන් විපතට පත්වූවන් බහුතරයක්ම තවමත් සරණාගත කඳවුරුවලය.

නැගෙනහිර පළාතේ මෙතෙක් සංවර්ධන කටයුතු සිදුකිරීමේදී විෂමතාවයක් දකින්නට ලැබෙනවා. විශේෂයෙන් මුස්ලිම් ජනයා බහුතරය වෙසෙන නගර හා දෙමළ ජනයා බහුතරය වෙසෙන නගර අතර සංවර්ධනයේ විෂමතාවයයි. නැගෙනහිර පළාත තුළ සංචාරය කරන්නෙකුට මෙය ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකියි.

යුද ගැටුම් උත්සන්න වූ විට බොහෝ දෙමළ දේශපාලනඥයින් සෑම ආණ්ඩුවකටම සම්බන්ධ වී ඇමති තනතුරු ලබා ගත්තේ නැත. එහෙත් මුස්ලිම් දේශපාලනඥයින් සෑම ආණ්ඩුවකටම සම්බන්ධ වී ඇමතිධුර හෙබවුහ. නැගෙනහිර පුනරුත්ථාපන හෝ සංවර්ධන අමාත්‍යාංශයන්ද ලබාගත්තේ මොවුන්ය. එහෙත් නැගෙනහිර සංවර්ධනය කිරීම ඔවුන්ගේ අපේක්ෂාව නොවීය. මීට ෆේරියල් අෂ්රොෆ් සහ හිස්බුල්ලා සාක්ෂි දරනු ඇත.

සෑම රජයක්ම කියා සිටියේ නැගෙනහිර පළාත සංවර්ධනයට බාධකය කොටි සංවිධානය බවයි. දැන් ආණ්ඩුව කියන විදියට කොටි බලය බිඳ දමා අවසන්ය. ඉතිං දෙමළ, මුස්ලිම්, සිංහල, බර්ගර් ජනයාට සාමකාමීව ජීවත්වන්නට වටපිටාවක් නිර්මාණය නොකරන්නේ මන්ද? නැගෙනහිර ජනයා තවදුරටත් යුද්ධයේ හා දේශපාලනයේ පලිහක් කරගැනීමට අවශ්‍ය නිසාද?

අතුල විතානගේ