නම : සන්දිනාමි මුනිසංසි
උපත : 1946.12. 18 කැලේබොක්ක වත්තේ දීය
රක්ෂාව : කම්කරු

“මගේ උපන්ගම, මාතලේ, මඩොල් කැලේ, කැලේබොක්ක වත්ත වන අතර, මව සහ පියා, තේ වත්තේ දළු කැඩුවා. අපේ පවුලේ 13ක් හිටියා. මම, අට පාස් වුනේ නැහැ. ගෙදර කන්න නැතිව, මොන ඉස්කෝලේ ද? වත්තේ දළු කැඩූවා. යන්තම් අවුරුදු 15 වන විට, කසාදයක් බැන්දා. එක ජන්දයක් ඉවරවෙනකොටම, 1970 දී වාගේ, අපිව, මාතලේ වත්තෙන් බලහත්කාරයෙන් එලවන්න, එහේ හිටපු, සිංහල චන්ඩි ටික කටයුතු කළා. අපි ආවේ, මේ වන්නියට. පදිංචි වුනේ පුලියම් කුලමේ. මුලින්, කැත්තේ-උදැල්ලේ වැඩ අමාරු වුනා. එත් ඒ, අමාරුවට වැඩිය, අමාරු වුනේ යුද්ධය. මගේ බාල පුතා උපන්නේ, 1984. 03.02. එයා තව පිරිමි දරුවෝ පස්දෙන්ක් සමඟ පුලියම් කුලම වැවට ගියා, මාළු ආල්ලන්න. අපි ජිවත් වුනේ එකෙන්. ඒ. 2007/17/05. වැවට ගිය ලකුණු විතරයි. ආපසු ආවේ නැහැ.”

පී. කෙදිස්වරන්, උපත : 1984.03.02 : අතුරුදහන්කිරීම :2007.05.17
මම එදා ඉඳලාම දරුවාව හොයනවා. මගේ මනුස්සයාට ජිවත් වෙන්න අමාරුයි. ඒයා ලෙඩ ඇදේ. උපන් දවසේ ඉඳලාම, අපිට තිබුන ප්‍රශ්නේ, මොනවාද අද දවසට කන්නේ කියලා. ඒ ප්‍රශ්නේ අදටත් එහෙමයි. ඒ ගොඩට තවත් ප්‍රශ්නයක් ආවා. ඒ කෙඩිසවරන් කියන මගේ දරුවා අතුරුදහන් කරලා. එයාට මොකද වුනේ කියලා මම අදටත් හොයනවා… ”

මම හිඳගෙන සිටියේ, වවුනියා, තැපැල් කන්තෝරුව ඉදිරිපිට, අතුරුදහන් කරන ලද පුද්ගලයන්ගේ ආදරණීයයන් ගෙන යන අරගලයේය. සන්දිසාමි මුනිසංසි හෙවත් විවාහයෙන් පසු පලනිනාදන් සන්දීසාමි වූ ඇය, දුවිලි පිරි ගිය තම සාරි පොට ගෙන දෑස් පිසාදා ගත්තාය. “කුලීවැඩක් කරලාවත්, බත පිසුවාට, කන්න බැහැ හැමදාම, මුල් බත් කට හිරවෙනවා. එතකොට මට හිතෙනවා, මගේ දරුවා, කොහේ හරි සුදහාගින්දරේ කියලා. ඒක මතක් වුන ගමන්, කන බත්ටික තියලා මම අත්හොදනවා. මගේ හිතේ තියන වේදනාව කාටවත් තේරෙන්නේ නැහැ. අන්තිමට මම, පල්ලියට ගියා. හැමදාම යාච්ඤාවේ දී හිතන්නේ, දෙවියනේ, මගේ දරුවාගේ මුණ බලලා මට සැනසිල්ලේ මැරෙන්න ලැබෙන්න කියලා. මේ තියෙන්නේ පින්තුරේ” ඇය මට කිලිටි වී ගිය, ලියුම් කවරයකින් එලියට ගත් ජායාරුපයක් පෙන්වයි.

කේ. ශිවකුමාර්

“මේ මගේ හිච්චි කොලුවා. එයාට පොඩ්ඩක්, සිහිය මඳ ලෙඩක් තියනවා. අද මා එක්ක ආවේ, රෑට මෙතන තනියම නිදා ගන්න, ගැහැණුන්ට විතරක් බැරි නිසා. ඒ 2009. ෂෙල් එහේන් වැටෙනවා. මෙහෙන් වැටෙනවා. කාගෙන් වැටුනාත්, ෂෙල් එකට යන්නේ අපේ ජිවිත නේ. මගේ තුන්වෙනි දරුවා, කැලේට ගියා, දර කපන්න. ඒයා අපහු ආවේ නැහැ. මගේ දරුවාගේ නම කේ. ශිවකුමාර්න්. මම සරෝජාදේවි. මගේ අම්මා සිංහල. තාත්තා දෙමළ. අපි කාලයක් පොළොන්නරුවේ හිටියා. පස්සේ, මෙහෙ පදිංචියට ආවා. අපිට, මුලින් උන්හිටි තැන් නැති කරා. ඊට පස්සේ අපේ දරුවෝ නැති කරා. මේවා යුක්ති යුක්ත ද?” ඇය මගේ දෙස බලාසිට ඇසුවාය. ඇයගේ බාල පුතා, අරගලය භුමියේ තැනු ටකරන් මඩුවේ එළියේ සිට, යාපනය-මහනුවර පාර දෙස බලා සිටි.
………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..


“අපේ පවුලේ අටදෙනෙක්. ඉස්කෝලේ ගියේ සාමාන්‍ය පෙළට විතරයි. යන්තම් අකුරු එකතු කරලා ලියුමක් ලියාගන්න පුළුවන්. මගේ නම කන්දසාමි ජයලක්ෂ්මි. මගේ පුතා නැතිවුනේ යාපනේ දී. ඒ 1996. එයාට කඩයක් තිබුනා. එකෙන් ලැබෙන ආදායමෙන් තමා අපි ජිවත් වුනේ. පුතා 1996 දී අතුරුදහන් කරලා. මම අදටත් දරුවාව හොයනවා” – ඇය මා සමඟ කීවාය. (මෙම ජායාරූපයේ රවුම් කරන ලද කොටසෙන් පෙන්වනුයේ කන්දසාමි පතිගරාසන්ය. 1996 දී, එනම් ඔහුට වයස 22 දී, යාපනයේ දී අතුරුදහන් කර ඇත)

මම වවුනියාට ගිය සෑම වාරයකම, අතුරුදහන් කරන ලද පුද්ගලයන්ගේ ආදරණියයන් විසින් සිදූ කරමින් පවතින, අරගලය භුමිය යේ වන තාවකාලික මඩුව වෙත, මොහොතකට හෝ ගොඩවෙමි. 2015 ජනාධිපතිවරයා ලෙස, මෛත්‍රීපාල සිරිසේන මහතා, ජන්දයෙන් පත්කිරීමට, මෙම අරගල භුමියේ සියලු දෙනා උරදී ඇත. ඔවුන් සැමගේ එකම පැතුම වුයේ, මේ මවුබිමේ දී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම ආදරණියයන්ට සිදුවුයේ කුමක් ද කියා සොයා ගැනීමත්, ඒ වෙනුවෙන් වන යුක්තිය ලබා ගැනීමටත්ය. අතුරුදහන් කරණ ලද පුද්ගලයන් වෙනුවෙන් වන කොමිසන් සභාව පත් කරන ලද අතර, එයින්, යම් දුරකට, මෙම අතුරුදහන් කරන ලද පුද්ගලයන් වෙනුවෙන් යම්, යුක්තියක්, රාජ්‍ය මැදිහත් වීමෙන් ඉටුවනු ඇතැයි, අරගල භුමියේ සිටින පුද්ගලයන් බලාපොරොත්තු විය. එහෙත්, එම, සියලු පරමාර්ථ විනාශ කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය ආපසු හැරවීමට, ජනබලයෙන්, ජනාධිපති ධුරයට පත් සිරිසේන මහතාට හැකිවී තිබේ.

මේ ගෙවෙන මොහොතේ, ශ්‍රී ලංකා වේ දකුණු දේශපාලනයේ සිදුවීම්, අතුරුදහන් කරන ලද පුද්ගලයන්ගේ අරගලය සඳහා කෙසේ බලපායිද? මෙය ප්‍රධාන කරණු 02ක් යටතේ සාකච්ඡා කළ හැකිය.

1. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රසිද්ධියේ ඝාතනය කරණු ලබන ආණ්ඩුවකින් යුක්තියක් බලාපොරොත්තු විය හැකිද?

2018 ඔක්තෝබර් මස 26 වැනිදා සහාසික ලෙස කුමන්ත්‍රණය කර, මැතිවරණයෙන් පරාජය කරන ලද පුද්ගලයකුව අගමැතිවරයා ලෙස, ජනාධිපති විසින් පත්කර තිබේ. ගස්, බෝක්කු සහ මංමාවත් හි එල්ලා වැටෙන, පෝස්ටර් ප්‍රකාශ කරන පරිදි, සිරිසේන ජනාධිපති විසින්, අගමැති ලෙස, මහින්ද රාජපක්ෂ පත් කිරීම යනු රට වෙනුවෙන් ගත්, නිර්භීත පියවරක් වේ. රට වෙනුවෙන් මැතිවරණයෙන් ප්‍රතික්ෂේප කළ පාලකයකු නැවත, හොර-කුමන්ත්‍රණ ක්‍රමවේදයකින් පත්කිරීම, නිර්භීත පියවරක් ලෙස සැලකිය හැකිද? ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංඝනය කරමින්, අවජාතකත්වයෙන් පත්කරන ආණ්ඩුවකින්, බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලන් වෙනුවෙන් නිශ්චිත, විනිවිදභාවයකින් යුත්, ක්‍රමවේදයක් මඟින්, යුක්තිය ඉටු කරනු ඇතැයි කිසි ලෙසකට බලාපොරොත්තු විය නොහැකිය. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ජාතික ආණ්ඩුවෙන් ද මෙම අරගලයේ නිරත කිසිවෙකුටත් යුක්තියක් නොලැබුණි. නමුත්, ඔවුන්ට තම අරගලය ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රකාශ කිරීමට සහ පොදු අවකාශීය දේශපාලනය වෙත ගෙන ඒමට හැකියාවක් ලැබුණි. නිරන්තරයෙන්ම, හමුදා ශ්‍රමිකයන් මගින්, අරගලයේ සිටින පුද්ගලයන් පිඩාවට පත්කිරීම යම් දුරකට සිමාවිය. නමුත්, අවජාතකත්වයෙන් පත් වූ අගමැතිවරයකු සහ ජනාධිපති ව සිටින විට, ජනයාට කල පිඩා ඇති ඉතිහාසයක් සහිත හෙතෙමගේ ආණ්ඩුවක් තුළ තව දුරටත් යුක්තිය ඉටුවේ යැයි කිසි ලෙසක විශ්වාස කළ නොහැකිය.

2. අවිනිශ්චිත දේශපාලනය සමඟ රාජ්‍යයේ වගවිමේ ක්‍රියාවලිය පණ ඇදීම

යුද්ධයේ දී මෙන්ම, මේ මොහොතේ දී ද, දේශපාලනය පිළිබඳ ආණ්ඩුවේ තොරතුරු හි නිරවද්‍යතාව ගැටළු කාරීය. නිරවද්‍ය තොරතුරු රාජ්‍ය මෙන්ම පෞද්ගලික ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය මගින් ලබාදීමට අවධානයක් යොමු කර නොමැති අතර, බොහො තොරතුරු, ජාතිය, ආගම, හෝ වෙනත් පෞද්ගලික දේශපාලනික කාරණා මත රෝමන්තකරණය කර ජනතාව වෙත සපයා දෙයි. මෙවැනි පසු තලයක, ආණ්ඩුව විසින් වගවීමේ ක්‍රියාවලින් සම්පුර්ණයෙන්ම ඉවත්ව යමින් සිටී. මහින්ද රාජපක්ෂ හොර පාරෙන් අගමැති කළ ආකාරයට සමාන ලෙසම, මෙම බලහත්කාරයෙන් පුද්ගලයන් අතුරුදහන් කිරිම, රට සහ ජාතිය වෙනුවෙන් සිදු කළ බවත්, ඒම නිසා ඒ වෙනුවෙන් රාජ්‍යට වගවීමට බැඳිය නොහැකි බවට ප්‍රකාශයක් සිදු, අවජාතක ආණ්ඩුව විසින් යම් ප්‍රකාශයක් සිදු නොකරනු ඇතැයි කිසිවෙකුට සහතික විය නොහැකිය. මක් නිසාද යත්, අගමැතිවරයකු හොරෙන් පත් කිරිම යනුම, ආණ්ඩුවේ සමස්ථ වගවිමේ ක්‍රියාවලියේ බිඳ වැටීමය. එසේම, තම බලය තහවුරු කරගැනීම උදෙසා මුදලට නියෝජිතවරුන් මිලදී ගන්නා අගමැතිවරයකු සහිත පාලනයක්, රාජ්‍ය යේ වගවීම ඉටු කරනු ඇතැයි සිතීම උගහටය.

මේ ගෙවෙන නොවැම්බර් මස පස්වෙනිදා වන විටත්, ශ්‍රී ලංකා දේශපාලනයේ බල අරගලයක් මිස, වගවීමක් සහිත රාජ්‍ය පාලනයක් දැකිය නොහැකිය. එසේම, එම බල අරගලය විසින්, ලංකාවේ පැවති, කොරගැසූ ප්‍රජාතන්ත්‍රවාදය ද සම්පුර්ණයෙන් ම විනාශ කර ඇත. එම, අදුරු වටපිටාවක, දිපාවාලි ආලෝකයේ දී වත් අප, පුරවැසියන් ලෙස සත්‍යයේ ආලෝකය පැතිරිය යුතුය.

අරුණි සමරකෝන් | Aruni Samarakoon