මීට දෙසතියකට පෙර, නිදහස ලැබීමෙන් පසු ප්‍රථමවරට ලංකාවේ අගමැතිවරයා ව්‍යවස්ථාවට පටහැනි ලෙස ඉවත් කර, තවත් අගමැතිවරයෙක් පත් කෙරුණි. නොවැම්බර් 9 වැනිදා, ලංකාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නීති විරෝධී නිවේදනයක් ගැසට් ගත කරමින් ව්‍යවස්ථාව නැවත වරක් උල්ලංඝණය කෙරුණේ මෙම කුමන්ත්‍රණයේ තවත් පියවරක් ලෙසය. මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාව පිටු දකිමින්, අප අද මෙම ප්‍රකාශයට අත්සන් තබමු. අප සහ අපගේ අනෙකුත් රට වැසියන් මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මෙලෙස ගන්නා ක්‍රියාමාර්ග ලංකාවේ ඉරණම මෙන්ම අප සැමගේ අනාගතය තීරණය කරනු ඇත.

ජනාධිපතිවරයාගේ නිවේදනය ව්‍යවස්ථාව උල්ලංගණය කිරීම් මාලාවක ඊළඟ අවස්ථාවයි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරිය හැක්කේ කොන්දේසි දෙකක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය: එනම්, අවසාන පාර්ලිමේන්තු මැතිවරණය හමාර වී වසර හතරහමාරක් ඉක්මීම හෝ පාර් ලිමේන්තුවේ සාමාජිකයන් තුනෙන් දෙකක් පාර් ලිමේන්තුව විසිරුවා හැරීම අනුමත කිරීමයි. මෙම ව්‍යවස්ථානුකූල පිළිවෙත නොසලකා හරිමින් රටේ ජනාධිපතිවරයා සහ ඔහු විසින් නීති විරෝධිව පත් කරන ලද අගමැතිවරයා රටේ උත්තරීතර නීතියට පූර්ණ වශයෙන් පටහැනිව කටයුතු කරමින් සිටිති.

එනමුත් අප ව්‍යවස්ථාව හුදු තීන්ත සහ කඩදාසියට සීමාවූවක් නොවේ. රටේ ජනතාව වන අප අපගේ පරමාධිපත්‍ය බලය ජනතා නියෝජිතයන් වෙත ලබා පවරා දෙන්නේ කවරාකාරයෙන්දැයි තීරණය කරන්නේ ව්‍යවස්ථාව මගිනි. තවද ව්‍යවස්ථාව හරහා ව්‍යවස්ථාදායකයේ, විධායකයේ සහ අධිකරණයේ බලතල සහ එම බලතලවලට අදාළ සීමාවන් පනවයි. එසේම මෙම උත්තරීතර නීතිය හරහා රටේ නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වෙන බව සහතික කරයි. සැකවින් පවසන්නේ නම්, අප ව්‍යවස්ථාව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පණ පොවයි.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ජනතාවට තීරණ ගැනීමට ඉඩ සලසන හෙයින් ප්‍රජාතන්තවාදය සුරකින බව මුසාවකි. අපගේ ව්‍යවස්ථාව දක්වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය හිමි මන්ත්‍රීවරයා අගමැති වශයෙන් තෝරා පත් කර ගත යුතු බවයි. එහෙත්, පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය පැහැදිලිවම අහිමි සාමාජිකයෙක් අගමැති ධුරයට පත් කරන්නට තැත් කළ ජනාධිපතිවරයා, බහුතර විශ්වාසය ප්රජාතන්ත්‍රවාදවාදීව විමසනු වෙනුවට පාර්ලිමේන්තුව හිතුමතයේ කල්තබන ලදී. ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතා නියෝජිතයන් ජනතාවගේ අභිලාශයන් නියෝජනය කළ යුතු වුවද, වත්මන් ජනාධිපතිවරයා සහ ඔහු නීති විරෝධිව පත් කරන්නට තැත් කරන අගමැතිවරයාගේ සහචරයෝ ජනතා නියෝජිතන් මුදල් සහ අමාත්‍යංශ අල්ලස් ලෙස දෙමින් සිය කුමන්ත්‍රණයට පොළොඹවා ගැනීමට තැත් කළහ.

මෙම දෙසතිය තුල සිරිසේන මහතා සහ රාජපක්ෂ මහතා සිය බලය තහවුරු කරගැනීමට කටයුතු කළා විනා ජනතාවට සේවයක් කිරීමට උත්සහ නොකළහ. ඔවුහු පැවැත්වීමට සූදානම් වන මැතිවරණ ද ඔවුන්ගේ බලය තහවුරු කිරීමට අයුතු ලෙස භාවිත කරනු ඇත. රාජ්‍ය සම්පත් නීති විරෝධිව පත් වූ අමාත්‍යවරු විසින් සිය ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් යොදා ගනු ඇත. රාජ්‍ය නිලධාරින් යොදා සියළු විරෝධයන් මැඩ පැවැත්වෙනු ඇත. මැතිවරණ කොමිෂන් සභාවට නීති විරෝධී අණ පිළිපැදීමට බලපෑම් එල්ල වනු ඇත. ජන මාධ්‍ය දැනටමත් පලනතන්ත්‍රය විසින් නිහඬ කොට හමාරය. මෙවැනි ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී වාතාවරණයක් තුළ මැතිවරණය පරාජය වුවද මොවුන් එම ජනතා තීරණය පිළි ගනීදැයි අපට සැක මතුවේ. ඒ අනුව අපගේ විරෝධය මැතිවරණ සඳහා නොව ව්‍යවස්ථා විරෝධිව පැවැත්වීමට සුදානම් වන මැතිවරණයක් සඳහා බව අපි අවධාරණය කරමු.

ඒ අනුව අපි,

1)ජනාතිපතිවරයට ඔහුගේ ව්‍යවස්ථා විරෝධී ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමටත්,
2) කථානායකවරයාට වහාම පාර් ලිමේන්තුව කැඳවා විශ්වාසය පිරික්සා බැලීමටත්,
3) මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වන මහින්ද දේශප්‍රිය මහතාට, ජනාධිපති නීතිඥ එන්. ජේ. අබේසේකර මහතාට සහ මහාචාර්ය රත්නජීවන් හූලේ මහතාට රටේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමටත්,
4) ශ්‍රේෂ්ටාධිකරණය සහ අනෙකුත් සියලුම අධිකරණයන්ට අපක්ෂපාතීව සහ නිභිතව ව්‍යවස්ථාව වෙනුවෙන් කටයුතු කරන ලෙසටත්,
5) ත්‍රිවිධ හමුදා සහ පොලිසිය ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට ලිඛිතව නිකුත් කරන ලද රටේ ව්‍යවස්ථාවට සහ නීතියට අනුකුල නියෝග පමණක් පිළිපදින ලෙසටත්, ඉල්ලා සිටිමු.

රටේ අනාගත පරපුර ලෙස අපට මෙම කුමන්ත්‍රණයේ ප්‍රථිපල සිරිසේන මහතා සහ රාජපක්ෂ මහතාගේ කාල සීමාවෙන් බොහෝ කාලයකට පසුවද විඳවීමට සිදු වනු ඇත. නීතිය අනුව ක්‍රියාත්මක වන රජයකින් තොරව දුෂණ වංචා නැවත්වීම, ඥාති සංග්‍රහය අවසන් කිරීම, මානව අයිතිවාසිකම් සහ යුක්තිය තහවුරු කිරීම, සහජීවනය, සංවර්ධනය සහ සෞභාග්‍ය උදා කර ගැනීම බොඳව යන සිහිනයක් වනු ඇත.

එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැඟුණ ජන හඬ හේතුවෙන් ඔක්තෝම්බර් 26 කුමන්ත්‍රණය සම්පූර්ණයෙන් සාර්ථක වීම වැළකිණි. නන් අයුරින් අප දැක්වූ විරෝධය ඵල රහිත නොවීය. ඒ අනුව අප සුවහසක් ලාංකික ජනතාව වෙත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, අප සැමගේ අනාගත සුභසිද්ධිය උදෙසා හඬ නැගීමට, නැගී සිටීමට, සටන් කිරීමට ආයාචනා කරමු.

11.11.2018