ජනාධිපති සිරිසේන මහත්තයා නිර්මාණය කළ සමාජ සහ දේශපාලන ව්‍යාකූලතාවයේ බරපතළ ප්‍රතිඵලයක් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සිදුවිය. මෙය ආරම්භය පමණක් විය හැකිය. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ රීතීන් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වැදිබණ කියන ජනාධිපති සිරිසේන, පාර්ලිමේන්තුවේ සිටින තමන්ට හිතැති පාක්ෂිකයින්ටවත් විනයක් ඉගැන්වීමට සමත් වී නැත.

එසේම මහින්ද රාජපක්ෂ මහතා තමන්ට බහුතරය නැති බව පිළිගෙන රටට මෙන්ම ඔහුගේ දේශපාලන ජීවිතයට කරගෙන ඇති හානිය ගැන අවබෝධයකින් මෙම අවුලේ පැටලීමෙන් වැළකී සිටීමේ වැදගත්කම ගැන අවබෝධ කරගැනීමේ වුවමණාවක් නොමැත.

ඔවුහු ඉල්ලා සිටින්නේ ජනතාවගේ මතයට යෑම වැදගත් බවය. ජනාධිපතිවරයාට අනුව, පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණද නැත ද, තමන්ට සිතෙන්නේ නම් යම් කිසිවෙකුට බහුතරය ඇති බව ඔහු රටේ අගමැතිවරයා බවට පත් කළ හැකිය. ඔහු පාර්ලිමේන්තු කතානායකවරයාට යොමු කොට ඇති ලිපියේ එය සඳහන් කළේය.

ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයාට සිතෙන පරිදි බහුතරය ඇති තැනැත්තා යැයි තමන් විසින් සිතන පුද්ගලයා අගමැතිධූරයට පත් කළ හැකි බව සත්‍යය. නමුත් එසේ අගමැති ලෙස පත්වන ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තුවේ කටයුතු කර ගැනීම සඳහා බහුතරයේ කැමත්ත අවශ්‍යය වේ. මෙම සරල ගණිතය හිතාමතාම අමතක කරමින් ව්‍යාජ තර්ක දමා තමන් කළ අප්‍රසන්න කටයුත්ත සධාරනීකරණය කිරීමේ උත්සාහයක ජනාධිපතිවරයා නිරත වන්නේය.

මෙවැනි තත්වයක් යටතේ බොහෝ පිරිසක් සඳහන් කරනු ලබන්නේ මහමැතිවරණයක් අවශ්‍යය බවය. ජනාධිපතිවරයාද තමන්ට ඇතැයි කියන තුරුම්පුවක් භාවිතා කොට ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවනු ලැබුවේය. නමුත් එම නියෝගය මෙරට උපරිමාධිකරණයේදී අභියෝගයට ලක් වූ අතර, ඊට එරෙහිව අතුරු තහනම් නියෝගයක් උපරිමාධිකර්ණය විසින් පැනවීය. ඊට අදාළ අවසන් තීන්දුව දෙසැම්බර් 07 වැනි දින ලබා දීමට නියමිතය.

සමස්ත රට අරාජික වී ඇත. මෙහි ඇති විපාකය ඉතාම විශාලය. ඒ ගැන රටේ සෑම පුරවැසියෙකුටම පාහේ අවබෝධයක් ඇත්තේය. වැදගත් වන්නේ මොළේ ඇති මිනිසුන් කිහිපදෙනක් හෝ එකතු වී දියාරූ වෙමින් පවතින රට ලේ වැගිරීමකින් තොරව ගොඩ ගැනීමට උත්සහ කිරීමය. මන්ද ලේ වැගිරීමකින් තොරව අපි අපේ ප්‍රශ්න විසඳා ගැනීමට සමත් ජාතියක්යැයි ඉතිහාසයේ සිටම අපි පෙන්වා නැති හෙයින් පවතින ව්‍යාකූල තත්වයේ ආනිසංශ ඛේදජනක විය හැකිය.

මීට ඇති එක් බලගතු විසඳුමක් වන්නේ, ජනාධිපතිවරණයකට යෑමය. එවිට සිරිසේන මහතාට ජනතාව අතර ඇති කැමැත්ත උරගා බැලිය හැකිය. එසේම, රාජපක්ෂ මහතාට, සිරිසේන මහතා දෙවැනිවර ජනාධිපති කිරීමේ මෙහෙයුමේ ප්‍රධානියා වන්නේද, යන්න තීරණය කළ හැකිය.

පවතින සමාජ ව්‍යාකූලත්වය ජනාධිපති සිරිසේන මහතා විසින් ඇති කළ හෙයින්, ඔහු වගවීමට නතු කොට, ඔහුද අපේක්ෂකයෙක් කරමින් ජනාධිපතිවරණයට ගමන් කිරීම වැදගත් වේ. ආණ්ඩුවට කැමැත්තක් නැති බව කියමින්, අගමැතිවරයා සමග කටයුතු කිරීමට නොහැකි බව කියමින් තම දුර්වල තාවයන් සෑම විටම අනෙකා පිට පටවමින් නිදහස් වන ජනාධිපති සිරිසේන මහතා නිවැරදි නම් ඔහුට ජනාධිපතිවරණයක් ඔස්සේ මෙය විසඳාගත හැකිය.

එවිට රටේ ජනතාව තමන් සහය දිය යුත්තේ කුමන අපේක්ෂකයාටද යන්න මනාව තීරණය කරනු ඇත.