iMAGE: The Economic Times

පැවති රජය හිටිහැටියේ කුමන්ත්‍රණයකින් පෙරළා දමා හොරපාරෙන් අගමැතිවරයෙකු පත් කිරීම සහ දිගින් දිගට, හිතෙන හිතෙන ආකාරයට ඇමතිවරු පත් කිරීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායනට පටහැනිව කළ ක්‍රියාවකි. එහි ප්‍රධාන වගඋත්තරකරුවන් වන්නේ ජනාධිපති සිරිසේන සහ රාජපක්ෂයි. ඔවුන්ගේ මේ ව්‍යායාමය අත්තනෝමතික ඒකාධිපති ක්‍රියාවකි.  ඒ වාගේම උන්ගේ හෙංචයියන් වන රස්තියාදුකාර මැර මන්ත්‍රීවරු හැසිරෙන්නේ එදා හිට්ලර්ගේ ඒස්. ඒස් කණ්ඩායම ඒ අවධියේ ජර්මන් පාර්ලිමේන්තුවේ සහ ඔවුන්ගේ සභා ගැබවල හැසිරෙන ආකාරයෙනි. සිරිසේනගේ සහ රාජපක්ෂගේ මේ බල වියරුව ඒකාධිපති බව අභිබවා පැසිස්ට්වාදී ක්‍රමයකට රට ගෙන යාමට ඇති ඉඩකඩ බොහෝ බව මේ මැර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරය පැහැදිලිව පෙන්නුම් කරයි. ජනාධිපතිවරයා ලේ පිපාසාවකින් පෙළෙන බව ඔහුගේ හැසිරීම දැන් දැන් පෙන්නුම් කරයි. ජනතා කැමැත්තට පිටුපාමින් කරන ඔහුගේ මෙම හැසිරීම ඉල්ලන්නේම ලේ බව දැන් නම් පැහැදිලිය.

එදා ජර්මනියේ පාර්ලිමේන්තුව තුළ සිටි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, කොමියුනිට්ස් හා ලිබරල් මන්ත්‍රීවරු කළ වරද අද ලංකා පාර්ලිමේන්තුවේ සිටින ප්‍රජාතන්ත්‍රවාදීන්, වාමාංශිකයන් සහ සුළු ජන කණ්ඩායම් වල මන්ත්‍රීවරුන් අතින් සිදුවීමට ඉඩ නොදීමට ඔවුන් වගබලා ගත යුතුය. එදා හිට්ලර්ගේ රංගනය වටහා නොගත් අය නාට්සින්ට තාවකාලිකව යයි සිතා පාර්ලිමේන්තුව තුළ බලය ලබා ගැනීමට ඉඩදීම අවසානයේ ඔවුන් සියල්ලන්ටම ඔවුන්ගේ ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු කරනු ලැබීය. ඒ වගේම මිලියන් ගණන් ජීවිත බිලිගැනීමට මග සලස්වනු ලැබීය. එදා ජර්මන්යේ සිදුවූ තරමේ හානියක් මොවුන්ට කළ නොහැකි වුවත් පාර්ලිමේන්තුව තුළ බලහත්කාරයෙන් බලය ලබාගැනීමට ඔවුනට ඉඩ හැරියොත් ඉන්පසු ඔවුන් එකා එකා විනාශ කර දමන බව පැහැදිලිය. රට තුල සුළු ජන කණ්ඩායම් වලට අඩුම තරමින් මුවවිවර කිරීමටවත් ඔවුන් ඉඩ නොතබනු ඇත. රට තුල ප්‍රජාතන්ත්‍රවාදය යන්න බලය ඇති එකාගේ සිතැඟි බවට පත් කරනු ඇත. නීතිය යනු ඔවුන්ගේ කැමැත්ත බවට පත් කරන අතර ඔවුන්ගේ මතයට එකඟ නැති අය දණ්ඩනයට යටපත් කරනු ඇත. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහමුලින්ම උදුරා දමන ලබන අතර ඔවුන්ගේ ගුණ ගී ගැයීම හැරුණු විට වෙනත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරනු ඇත. කොටින්ම රටේ ජනයාට බලය ඇති අයගේ සුවච කීකරු යටහත් ගැත්තන් ලෙස මිස වෙනත් ජීවිතයකට හිමිකම් නොලැබෙන බව පැහැදිලිය. එවැනි තත්වයකට ඇති සැබෑ හැඳින්වීම වන්නේ ෆැසිස්ට්වාදයයි.

එසේ නම් පාර්ලිමේන්තුව තුළ සිටින සියලුම ප්‍රජාතන්ත්‍රවාදී මන්ත්‍රීවරු, ඔවුන් ලිබරල්, වාමාංශික හෝ සුළු ජන නියෝජිත මන්ත්‍රී වරු වෙනසක් නොබලා, එකට එක් වී දිගින් දිගටම පාර්ලිමේන්තුව රැස් වෙමින් ඒ තුළ මෙම හිතුවක්කාරී ෆැසිස්ට් බලයට බලය ඇල්ලීමට ඉඩ නොදිය යුතුය. නමුත් දිගින් දිගටම පාර්ලිමේන්තුව සියලු බාධක මැද රැස්වෙමින් පවත්වා ගැනීමට වගබලා ගත යුතු වන්නේ මේ නීති විරෝධී අගමැතිවරයා සහ කැබිනට් ඇමැතිවරුන්ට ඒ තුළ ක්‍රියාත්මක වීමට ඉඩ නො හරිමිනි. එසේ නොකළොත් එදා ජර්මනියේ සිදු වූවා සේ හෙට ප්‍රමාද වැඩි වන බව පැහැදිලිය.

මේ තීරණාත්මක මොහොතේ රටේ පුරවැසියාගේ යුතුකම වන්නේ ඔහේ නිකම් බලා සිටීම නොව තම අයිතීන් තහවුරු කර ගැනීම සඳහා ඉදිරියට ඒමයි. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැක රැකගැනීම සඳහා ඔවුන් තම හඬ අවදි කළ යුතුය. මනද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තෑගි ලෙස නොලැබෙන නිසාවෙනි. ලොව කොතැනක වුව ද ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලබා ගැනීමට සිදුවන්නේ තම අයිතීන් වෙනුවෙන් ජනතාව කරන අරගල වලින් පමණි. කිසියම්ම රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රජය විසින් තෑගි ලෙස ලබාදී නොමැත. ලොව සෑම සෑමතැනම තම අයිතීන් රැක ගැනීමට ජනතාවට දිගින් දිගටම සටන් වැදීමට සිදුව තිබේ. ජනතාවගේ සංවිධානාත්මක නැගිටීම් තුලින්, උද්ඝෝෂණ තුළින්, පෙළපාලි තුලින් සහ සත්‍ය ග්‍රහ තුළින් ජනතාව තම අයිතීන් උදෙසා සටන් වදිනු ලැබ ඇත. කතිරය ගැසීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කිසිම දිනක තහවුරු කරගත නොහැක. අද ලංකාව මුහුණ දී ඇති තත්ත්වය වන්නේරට තුළ තිබෙන කුඩාම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පවා නැති වීමේ තර්ජනයකට ය. ඒවාගේම අද රට පවතින්නේ ඒකාධිපති වියරුවකින් සහ පැසිස්ට් ප්‍රවණතාවයකින් යුතු කල්ලියක් තම අතට රටේ බලය ඩැහැ ගැනීමට උත්සාහ දරන මොහොතක ටයි. එසේ නම් එයට එරෙහිව රටේ පුරවැසියන් පෙරට ආ යුතුය. ඔවුන් සංවිධානය විය යුතුය. ඔවුන් සංවිධානාත්මකව වීදි බැසිය යුතුය. සත්‍යග්‍රහ ආදී සටන් වෙතට නැඹුරු විය යුතුය. එසේ නොමැතිව මෙම කල්ලිය බලය ඩැහැගත්තාට පසු ඒ ගැන ලත වීමෙන් පලක් නොවනු ඇත. මෙම නීතිවිරෝදී කල්ලිය පලවාහරින තුරු සටන අත් නොහල යුතුය.

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට ෆැසිස්ට් වාදයට එරෙහි වෙමු!

ජනතාවගේ ලෙයම ඉල්ලන කුණකටුවා පලවා හරිමු!

නිවහල් මිනිසුන් ලෙස ජීවත් වීමට සටන් වදිමු!

 

රංජිත් හේනායකආරච්චි