iMAGE :Economy Watch

විසඳුම් පිළිබඳ කෙටි සටහනක්

මේ ප‍්‍රශ්නය ඉදිරියේ අප කළ යුතුව ඇත්තේ, සමස්ත ආර්ථිකය පාවිච්චියට ගන්නා සම්පත් ප‍්‍රමාණය අඩු කර ගැනීමත්, වසර ගණනක් ගත වන තෙක් වසරක් පාසා ආණ්ඩුව විසින් ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන යාමත් සැලකිල්ලට ගැනීමයි. තවත් විදිහකින් කිවහොත්, වියදමට වැඩි ආදායමක් උපයා ගත යුතුව තිබේ. ඒ සඳහා බදු ආදායම වැඩි කර ගත යුතු අතර, ජංගම වියදම අඩු කර ගත යුතුය. එය හඳුන්වන නාමය වන්නේ ආර්ථික ලූහුපෙවෙතයි.

ආර්ථිකය තුළ ඉතිරියක් ඇති කර ගත යුතු අතර, ඊට අමතරව, විදේශ ණය ආපසු ගෙවා දැමීම සඳහා අපනයනවල අතිරික්තයක් ද ඇති කර ගත යුතුව තිබේ. ආනයනයන් පාලනය කර ගැනීම හරහා ආනයන වියදම අඩු කරගෙන, ඒ අනුසාරයෙන් ඇති කර ගැනෙන මේ කියන ‘අපනයන අතිරික්තය’, ණය ගෙවීම සඳහා පාවිච්චියට ගත යුතු බවට සමහරු යෝජනා කරති. එය, කියන තරම් පහසු කාරියක් නොවේ. 2016 දී අප ආනයනය කළ මුළු ප‍්‍රමාණයෙන් සියයට 51 ක් සමන්විත වුණේ ‘අතරමැද භාණ්ඩවලිනි’. එනම්, දේශීය භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩයි. ඉතිං, අතරමැද භාණ්ඩ ආනයනය අඩු කළොත්, අපේ දේශීය නිෂ්පාදිනය සහ අපේ රැකියා අවස්ථා පහළ වැටෙනවා පමණක් නොව, නැවතත් ආනයනයන් වැඩි වීම ද සිදුවිය හැකිය. උදාහරණයක් වශයෙන්, පොහොර ආනයනය අඩු කළොත් සහල් අස්වැන්න අඩු විය හැකිය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සහල් ආනයනය වැඩි කිරීමට සිදුවිය හැකිය. අනිත් අතට, මෙරටින් අපනයන කෙරෙන භාණ්ඩ නිෂ්පාදනයත් පහළ වැටිය හැකිය. මේ නිසා, යම් ප‍්‍රතිලාභයක් ලැබීමට නම්, කෙටිකාලීනව වියදම් කපා හැරිය යුතුව තිබේ. ඉහළ නිෂ්පාදන ඵලදායීතාවක් අත්කර ගත යුතුව තිබේ. ඒ නිෂ්පාදන ඵලදායීතාවෙන් වැඩි කොටසක් විදේශයන්ට විකිණිය යුතුය. නැතහොත්, ඉහළ නිෂ්පාදන ඵලදායීතාව, ආනයන ආදේශනයකට තුඩුදෙන පරිද්දෙන් හැසිරවිය යුත්තේය. ඒ සඳහා, වර්ධනය වන ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට අපට සිදුවෙයි.

විදේශයන්ගෙන් ලබාගෙන ඇති ණය පියවා ගැනීමට අවශ්‍ය කරන විදේශ විනිමය අපට සොයා ගත හැක්කේ, අප ආනයනය කරනවාට වඩා අපනයනය කිරීමෙන් උපයා ගන්නා අතිරික්ත ධනයෙනි. ආණ්ඩුවේ වියදමට වඩා ආණ්ඩුවේ ආදායම ඉහළ මට්ටමක පවත්වා ගැනීමෙන් ඉතිරි කර ගන්නා අතිරික්ත මුදල, විදේශ ණය ගෙවා දැමීම සඳහා පාවිච්චි කළ හැකිය. එසේ කිරීමට නම්, සමාජයත් ඒ සමාජයේ ඒජන්තයා වන ආණ්ඩුවත්, ලූහුපෙවෙතක් අනුගමනය කළ යුතුය. වෙනත් රටවල ආර්ථිකයන්ගෙන් ණයට ලබා ගන්නා මුදලින් අපට ජොලි කළ හැකි වෙතත්, ඒ ණය ගෙවීමේදී අපට විඳවීමට සිදුවන්නේය. එනම්, අපේ ජීවන තත්වය පහළ වැටෙන්නේය. ලූහුපෙවෙත් ආර්ථික වැඩපිළිවෙලවල් වනාහී හලාහල විසක් හෝ ජනතාවගේ ජීවිත විනාශ කිරීමට යොදා ගන්නා දෙයක් හෝ නොවේ. එය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ චිකාගෝ නුවර සිටින කිසියම් ආර්ථික විද්‍යාඥයෙකු නිර්මාණය කළ දෙයක් ද නොවේ. කෙටිකාලීන්ව ගත් විට, වෙනත් විකල්පයක් අපට ඇත්තේ නැත.

ඇමරිකාවේ බඩජහරි කමක් තිබුණි. එය තේරුම් ගත් ඇමරිකානු ආණ්ඩුව, එතෙක් පෞද්ගලික අංශයට දෙමින් තිබූ ණය 2009 දී කපා හැරියේය. මෙසේ කිරීමෙන් යම් දායකත්වයක් ආර්ථිකයට ලැබෙයි ද යන්න පසක් කර ගැනීම සඳහා කළ හැකි අගනා පරීක්ෂණයක් තිබේ. එනම්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ඒ මාර්ගයෙන් ඉතිරියක් ප‍්‍රවර්ධනය කර ගන්නේ ද, ආනයනයන්ට වඩා අපනයනයන් වර්ධනය කර ගන්නේ ද (විදේශගත ශ‍්‍රී ලාංකිකයන් ලංකාවට එවන ධනයත් ඇතුළුව) යන්න පිරික්සා බැලීමයි. මෙහිදී සැලකිල්ල යොමු කළ යුතු තවත් කාරණයක් තිබේ. එනම්, ආර්ථික ලූහුපෙවෙතක් පවත්වාගෙන යාමේදී ඒ මගින් සමාජයේ පහළම තීරුවේ ජීවත් වන ජනතාවට වැඩියෙන් ගැහැටක් ඇති නොවන තැනට වගබලා ගැනීමයි.

මේ කරුණු හැරුණු කොට, අපට සුන්දර අපේක්ෂාවක් ද තිබේ. එනම්, ලෝකයාගෙන් අපට ඉතා නිර්ලෝභීව ආධාර උපකාර ලැබීමට ඉඩක් තිබේ ද යන්නයි. එවැනි අවස්ථාවක්, දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු බටහිර යුරෝපය ගොඩගැනීම සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වී තිබේ. එය ජෝර්ජ් මාෂල් සැලැස්ම වශයෙන් හැඳින්වෙයි. එසේම, එම යුද්ධයෙන් පසුව, ජපානය සම්බන්ධයෙන් ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් යටතේත් එවැනි සැලැස්මක් ක‍්‍රියාත්මක විය. මේ ආර්ථික වැඩ සටහන් දෙකම සැලසුම් කෙළේ සහ ක‍්‍රියාත්මක කෙළේ ඇමරිකාව විසිනි. මුළු බටහිර යුරෝපයත්, ජපානයත් යුද්ධයෙන් හොඳටම විනාශ වී තිබුණි. ඉහත කී ජෝර්ජ් මාෂල් සැලැස්ම බටහිර යුරෝපය සම්බන්ධයෙන් මොන තරම් සාර්ථකව කි‍්‍රයාත්මක වී ද යත්, එක් ආර්ථික විද්‍යාඥයෙකු දක්වන පරිදි, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ගත වූ අවුරුදු විස්සක කාලය ‘ධනවාදයේ ස්වර්ණමය යුගය’ බවට පත්විය. අපේ රට සම්බන්ධයෙන් ගත් විට, චීනය සහ ඇමරිකාව අතර පවතින අරගලය තුළින් යම් ආකාරයක ඉන්ද්‍රජාලික පරෙවියෙකු මැවීමේ හාස්කමක් වුණොත් මිස, එවැන්නක් අපේක්ෂා කිරීම සුරංගනා සිහිනයක් පමණක්ම වනු ඇත. එවැනි සහනයක් වෙනත් රටකින් අපට ලැබුණත්, ඒ සඳහා විශාල මිලක් ගෙවීමට අපට සිදුවෙනවා ඇත.

අනිත් අතට, විදේශ ණය ගෙවා දැමීම සඳහා විකුණා දැමිය හැකි සම්පත් අපට බහුලව ඇත්තේ ද නැත. රටේ දැන් පවතින තත්වය උඩ එවැනි විකිණීමක් කළත් එය සිදු කිරීමට වන්නේ කුණු කොල්ලයට ය. ඊටත් වඩා, එසේ අපේ සම්පත් විකුණා දැමීම දේශපාලනික වශයෙන් ඉතා විනාශකාරී ප‍්‍රතිඵල අත්කර දීමටත් තුඩුදෙනු ඇත.

විදේශ රටවල තිබෙන අතිරික්ත සම්පත්, නැති බැරි රටවල් තුළ ආයෝජනය කිරීමට සලස්වා ගැනීම තවත් විසඳුමකි. එහිදී විදේශ ආයෝජකයා කරන්නේ තමන්ගේ විදේශ මුදල් අපේ මහ බැංකුවට විකුණා ලැබෙන රුපියල් ලංකාවේ වියදම් කිරීමයි. එහෙත් එවැනි ආයෝජන ආකර්ශණය කර ගැනීමට නම්, නැති බැරි රටේ දේශපාලනික හා ආර්ථික පරිසරය ආකර්ශණීය විය යුතුය. ලංකාවේ මෙන් 100 ගුණයක් විදේශ ආයෝජන තමන් වෙත ආකර්ශණය කර ගැනීමට මේ වන විට වියට්නාමය සමත්ව සිටී. එයින් පෙන්නුම් කරන්නේ ලංකාව, එවැනි විදේශ ආයෝජකයන් ඇදී එන රටක් නොවන බවයි.

ණය ආපසු ගෙවීමේ ක‍්‍රමය අලූතින් සකසා ගැනීම, එක්තරා ආකාරයක විසඳුමක් විය හැකිය. ඒ සඳහා වඩාත් අඩු පොලී අනුපාතික යටතේ ණය ලබා ගැනීමට යොමු විය හැකිය. මේ සඳහා, රටවල් සහ අන්තර්-රාජ්‍ය මූල්‍යායතන ඒකරාශී කොට, එවැනි ණය ගෙවීමේ පහසු කොන්දේසි සහිත ක‍්‍රමයක් සකස් කර දෙන ඉල්ලා සිටිය හැකිය. ඒ අනුව පහසු කොන්දේසි යටතේ ලබා ගන්නා ණය මුදල්, දැනට ගෙවීමට ඇති ණය බර අඩු කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකිය. ඇත්ත වශයෙන්ම, ණය ප‍්‍රමාණයේ අඩුවක් ඒ මගින් සිදු නොවෙතත්, ණය ගෙවීමට ඇති කාල පරාසයත්, අඩු පොලී අනුපාතයනුත් එවිට සකසා ගත හැකි වන්නේය.

ණය ගොඩගැසෙන්නේ, ලබා ගත් ණය ප‍්‍රමාණය සහ පොලී ප‍්‍රමාණයන් ගෙවා ගත නොහැකි වන විට ය. ඒ නොහැකියාව ඇති වන්නේ, ලබා ගත් ණය මුදල් නියමිත කාලයක් තුළ ප‍්‍රතිලාභ ගෙන නොදෙන ව්‍යාපෘති තුළ යෙදවීම නිසා ය. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ ඊට අගනා සාක්ෂියකි. ණය උගුල ඇති වන්නේ එයාකාරයෙනි. සමස්ත ඉල්ලූම අඩු කර ගැනීමට ආණ්ඩුවක් කටයුතු නොකරන්නේ නම්, විදේශ ණය ආපසු ගෙවීම මගහැරේ. ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි තත්වයට පත් ග‍්‍රීසිය ඒ සඳහා යුරෝපය සමග ගිවිසුමකට ඇතුළත් විය. ඒ අනුව, ආර්ථික ලූහුපෙවෙත් වැඩ සටහනක් ක‍්‍රියාත්මක කිරීමට ග‍්‍රීසිය එකඟ වූ අතර ඒ මගින් ග‍්‍රීසියේ ජනතාවට ඇති විය හැකි බරපතල පීඩාව අවම කර ගැනීම සඳහා තාවකාලික සහන යුරෝපයෙන් සැපයීමට එකඟ විය. දැන් ග‍්‍රීසිය ඒ අර්බුදයෙන් ගොඩ එමින් සිටී. එම විසඳුම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම හරහා බොහෝ රටවලට ලබා ගත හැකි එක් විසඳුමකි.

අපේ රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයට යෝජනා කරන පොදු ප‍්‍රතිකර්මයක් වන්නේ ආනයන සීමා කිරීමයි. එය ඉතා කාර්යක්ෂම විසªමකි. ක‍්‍රියාත්මක කිරීමට ද පහසු ය. එසේම, මාස තුනක් හෝ හතරක් වැනි කාලයක් තුළ ප‍්‍රතිඵල ද ලැබිය හැක්කේය. 2016 දී අපේ මුළු ආනයනයන්ගෙන් සියයට 8.4 ක් සමන්විත වුණේ සහල් ආනයනයන්ගෙනි. පරිප්පු, වෛද්‍ය සහ ඖෂධ ආනයනයන් සියයට 3.4 ක් විය. එනම්, සමස්ත ආනයනයන්ගෙන් සියයට 11.8 කි. මෙය, සමස්ත පාරිභෝගික භාණ්ඩ ආනයනයන්ගෙන් සියයට 50 ටත් වැඩි ප‍්‍රතිශතයකි. මෙකී භාණ්ඩ කිසිවක් ආනයනය කිරීම නතර කළ නොහේ. එසේ වුවහොත් රට පුරා විශාල නොසන්සුන්තාවක් ඇති විය හැකිය.

සමස්ත ආනයනයන්ගෙන් සියයට 78 ක් සමන්විත වන්නේ, මීට ඉහත ෙඡ්දයකදී පෙන්වා දුන්, අතරමැදි භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩවලිනි. ඉන්ධන, සිමෙන්ති, පොහොර සහ යන්ත‍්‍රසූත‍්‍ර ආදිය ඊට අයත් වෙයි. රටේ විරැුකියාව උග‍්‍ර නොකර, එසේම, ආදායම් මට්ටම පහළ නොවැටෙන ආකාරයෙන්, මේ කියන කිසිවක් ආනයනය කිරීම නතර කළ නොහේ. ආනයන සීමා කිරීම පිළිබඳ එවැනි සීමාවන් තිබියදී, අනිත් පැත්තෙන්, භාණ්ඩ සහ සේවාවන් අපනයනය කිරීමෙන් විදේශ විනිමය උපයා ගත යුතුව ඇති බවත් සිහියේ තබා ගත යුතුය. අතරමැදි භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයනය සීමා කළොත් නිෂ්පාදන ක‍්‍රියාවලිය අඩාල වන නිසා එය අපේ අපනයනයන් අඩාල වීමට ද හේතු වන්නේය. මගේ මිතුරෙකු මෑතකදී මට පෙන්වා දුන් පරිදි, ආනයනයන් අඩු වන විට, ඒවා මිලදී ගැනීම සඳහා එතෙක් යොමු වූ ක‍්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව* ඊළඟට දේශීය නිෂ්පාදන පැත්තට වහා හැරෙන බැවින් එම භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යාමටත් ඉඩ තිබේ. එම ක‍්‍රියාවලිය උද්ධමනය නමින් හැඳින්වේ. මෑත කාලයේ එම තත්වය සිම්බාබ්වේ රටේ දැක ගත හැකි විය. දැන් එය වෙනිසියුලාවේ ද දැකිය හැකිය.

එසේම මෙසේ භාණ්ඩ මිල ඉහළ යාම, සියලූ අපනයනයන් කෙරෙහි බලපාන්නේය. දේශීය මිල ගණන්වල ඉහළ යාමට සරිලන පරිද්දෙන් රුපියල අවප‍්‍රමාණ නොවුණොත්, අපේ අපනයන වෙළඳපොළ වෙනත් අපනයනකරුවන් විසින් අත්කර ගැනීමට ඉඩ තිබේ.

යෝජනා කරන තවත් විසඳුමක් වන්නේ මුදල් අච්චු ගැසීමයි. අතරමැදි භාණ්ඩ ගෙන්වීම සීමා වීම නිසා ඇති වන විරැුකියාව පාලනය කරනු වස් එසේ මුදල් අච්චු ගැසීමෙන් රැුකියා අවස්ථා ඇති කර ගත යුතුව ඇතැයි ඔවුහූ පෙන්වා දෙති. කෙනෙකුගේ ආදායම තුළ අඩංගු සෑම රුපියල් දහසකින්ම රුපියල් 300 ක් වැය කෙරෙන්නේ ආනයනය කරන ලද භාණ්ඩ මිලදී ගැනීමට ය. වැඩියෙන් මුදල් අච්චු ගසන විට, ආනයනයන් සඳහා වන ඉල්ලූමත් වැඩි වෙයි. ඒ මගින් අපනයනයන් සඳහා අනිවාර්ය තල්ලූවක් ලැබෙන්නේ නැත. ඒ නිසා එය ද ප‍්‍රශ්නයට පිළියමක් නොවේ.

අප මුහුණදෙන තවත් අර්බුදයක් වන්නේ, විදේශ විනිමය වෙළඳපොළේ රුපියලේ අගය එක දිගටම බාල්දු වීමයි. එක දිගටම ලංකාවේ රුපියල මෙසේ අවප‍්‍රමාණ වී ඇතත්, මේ වසරේ එය වඩාත් වේගවත් වී ඇත. මහ බැංකුව සතුව විදේශ විනිමය සංචිතයක් තිබෙන බැවින් රුපියලේ අගය පහත වැටීම යම් අවස්ථාවකදී පාලනය කර ගත හැකි වෙතැයි මහ බැංකුව බොහෝ විට අපට කියා ඇත. එසේ කියන්නේ, රුපියලේ අගයේ අස්ථායීතාව හටගෙන ඇත්තේ වෙළඳාමට අදාළ කාරණයක් නිසා බවට ඇති උපකල්පනයක් මත පිහිටා ය. එහෙත්, 1997 දී තායිලන්තයේ මුදලේ අගය කඩා වැටුණේ, එරටේ තිබූ ප‍්‍රාග්ධනය රටෙන් පිටට ඇදී ගිය නිසා බව අප අමතක නොකළ යුතුය. රුපියල් වෙළඳපොළෙන් ඉවත් වීමට මුදල් ගනුදෙනුකරුවන් පෙළඹුණොත්, රුපියල් බිලියන 10 ක් යොදා ඒ ඇදී යාම වැළැක්වීමේ හැකියාවක් නැත. ඔක්තෝබර් 17 වැනි දා දක්වා වූ සතිය තුළ මෙය මැඩලීම සඳහා බිලියන 3.3 ක් නැති කර ගැනීමට සිදු විය. අපේ සමස්ත විදේශ විනිමය සංචිතය වන්නේ ඩොලර් බිලියන 10 ක් පමණි. තායිලන්තයේ මහ බැංකුව එරටේ මුදලේ අගය වැටීම පාලනය කර ගැනීම සඳහා ඩොලර් බිලියන 25 ක් වැය කෙළේය. එහෙත් එම මුදල කඩා වැටීම නතර කර ගැනීමට තායිලන්තයට නොහැකි විය.

අප මුහුණදෙන අර්බුදවල දළ ස්වභාවයත්, එම අර්බුද හටගෙන තිබීමේ හේතු කාරණාත්, අනුගමනය කළ හැකි යැයි සිතෙන මුත් එතරම් පහසු නැති ඇතැම් විසඳුම්වල ස්වභාවයත් එයාකාර ය. මේ තත්වය, විකල්ප මාර්ග යෝජනා කරමින් නිවැරදි කර ගැනීමේ වගකීමක් ආර්ථික විද්‍යාඥයන්ට තිබේ. දැනුම් තේරුම් නැති දේශපාලඥයන් තක්කඩියන්ගේ බහට අවනත වීමෙන් මුදවා ගත හැක්කේ ඔවුන්ට ය.

ආචාර්ය උස්වත්ත ආරච්චි

(වර්තමානයේ ලංකාව මුහුණදෙන ආර්ථික සහ මූල්‍ය අර්බුද -පළමු  කොටස) මිට පෙර ලිපියේ පළ වී ඇත.

2018 නොවැම්බර් 3 වැනි දා ‘ද අයිලන්ඞ්’ පුවත්පතේ පළවූ “Current Economic and Financial Crises“නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.