මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂ, අගමැතිවරයා ලෙස පත්කිරීම නීති විරෝධී ලෙස සලකා සහ ඊනියා අමාත්‍ය මණ්ඩලයේ මංත්‍රීවරුන් 49 දෙනෙකුට එම තනතුරු දැරීමට නීත්‍යානුකූල අයිතියක් නැතැයි අභියාචනා අධිකරණයට මංත්‍රීවරුන් 122ක් විසින් ගොනුකර තිබූ පෙත්සම අධිකරණය පසුගිය 3වනදා සලකා බලූවේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මගිනි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම ලබා දුන් නියෝගයේ විශේෂම කරුණ වන්නේ, එම නියෝගය නඩු විභාගය අවසන් වනතුරු එම නියෝගය බලපාන බවය.

සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇති කළ එම අරාජිකත්වය තුළ දැන් ලංකාවේ ප්‍රථම වතාවට අගමැතිවරෙයක් නැත. ඇමති මණ්ඩලයක් නැත. එනයින් ආණ්ඩුවක් ද නැත. නමුත් අර්බුදයේ නිර්මාපකයාට වගේ වගක් නැත. මොරගහකන්දේ පොටෝ ෂූට් කරන්නේය. තව තවත් නරුම කතා කියන්නේය. සිහිබුද්ධියක් ඇති මිනිසෙක්ට එසේ හැසිරිය හැකිද?

තත්ත්වය එසේ තිබියදී සිරිසේන ජනාධිපතිවරයා ඊයේ(04) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ නියෝජිත හමුවේදී මෙසේ කීවේය. ‘මේ සියලු තත්ත්වයන්ට වගකිව යුත්තේ රනිල්’. තමන් විසින් ව්‍යවස්ථාව උල්ලංගණය කරමින්, රජාපක්ෂ පාර්ලිමේන්තු මංත්‍රීවරයා ව අගමැති ලෙස නම් කරමින්, නව ඇමති මණ්ඩලයක් දින ගණනාවක් තිස්සේ දිවුරුම් දෙමින් සහ ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත්කරමින් ඇති කරන ලද තත්ත්වය රට තුළ අරාජිකත්වය නිර්මාණය කළ බව තණකොල නොකන ඕනෑම අයෙක් දන්නේය. නමුත් දැන් සිරිසේන ජනාධිපතිවරයා කියන්නේ අර්බුදයට හේතුව ‘රනිල්’ කියාය. මේ නරුම කතාව පොළොන්නරුවේ මී හරකෙක්වත් විශ්වාස කරන්නේ නැති බව ඔහු දන්නේ නැත.(රනිල් වික්‍රමසිංහ පිළිබද ලියුම්කරුට විවේචන තිබුණත් සිරිසේන ජනාධිපතිවරයා විසින් මේ ගත් අධිපතිවාදී තීන්දුව හමුවේ එම තත්ත්වය දෙවනි තැනට පත් වන්නේය)

ඔහු තවත් කතාවක් කීවේය. ‘මම ගැසට් 5ක් ගැහුවා’. නමුත් ඔහු එම කතාව කීමෙන් පසු සිය සරම නැති බව දුටුවේ නැත. ඒ ගැසට් වලින් ගැසට් 2කක් ගැන, ලංකාවේ අධිකරණය අතුරු තහණම් නියෝග දී ඇති බව ඔහු කීවේ නැත. ඒ වෙනුවට ඔහු අනියම් ආකාරයෙන් අධිකරණය විවේචනය කළේය. ‘නිකාය නායක හිමිවරුන් කිව යුතු බණක් විහාරාමාධිපති හිමියන් කියනවා’ යැයි කියා සිරිසේන ජනාධිපතිවරයා විසින් අභායචනා අධිකරණය දුන් අතුරු තහණම් නියෝගය අනියමින් විවේචනය කළේය. අධිකරනය විසින් විධායකයේ නියෝගය අභියෝගයට ලක් කරමින් ලබා දුන් අතුරු තහණම් නියෝගය සමගින් දෙවරක් අධිකරණය තුළදී සිරිසේන ජනාධිපතිවරයා ගේ ඒ අත්තනෝමතික තීන්දුව පරීක්ෂණයට භාජනය කළේය. නමුත් ඒ කිසිවක් සිය පාක්ෂිකයා ඉදිරියේ නිවැරදිව කීමට සිරිසේන විසින් කිසිදු උත්සහයක් ගත්තේ නැත. නමුත් ඒ වන විට දෙවනි වරටත්, සිය සරම ගැලවී දෙපා මුල බව සිරිසේන ජනාධිපතිවරයා දන්නේ නැත. නමුත් ලෝකයා එය හොදින් දුටුවේය.

මේ සියලු අරාජික තත්ත්වයන් ඇති කරමින් ‘මම තව දවස් 7කින් මේ අර්බුධය අවසන් කරනවා’ යැයි කීවේය. ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් විසින් ඇති කළ බියකරුම අරාජිකත්වය නිර්මාණය කරමින්, තව තවත් ඒ අරාජිකත්වය ගැඹුරටම තල්ලු කරමින්, ඒ සදහා ඉන්ධන සපයමින්, එය තමන් විසින්ම දින 7කින් අවසන් කරනවා යැයි කියන රාජ්‍ය නායකයෙක් ඇත්තේ නම්, ඒ ඇත්තේ අන්ත පසුගාමී සමාජයන්වල පමණි. නමුත් තමන් විසින් දින 7න් විසදන්නේ කෙසේදැයි ඔහු කියන්නේ නැත.

කෙසේ නමුත් ශ්‍රීලනිප සමුලුවේදී සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදු කල කතාවෙන් පෙන්නුම් කළේ සිරිසේන යනු ‘මෝඩ චන්ඩි’ගේ ගති ලක්ෂණ ඇති අයෙක් බවය. රටක් ආරාජිකත්වයට යවා, එය අන් අය මත පටවා, තව තවත් අරාජිකත්වයේ වළ ගැඹුරට හෑරීමට උත්සහා ගන්නා නරුම අදහස් ඇත්තෙක් බවය. තමන් විසින්ම හැරූ අරාජිකත්වය නම් වළේ සිටම තමන් එය විසදනවා යැයි කියමින්ම, තමන් ඒ ගත්ත තීන්දු ‘රට ගැන හිතා’ වැනි ගැලරිය පිනවන ඊනියා වදන්වලන් තවමත් දමා ගසමින් සිටින ගෝත්‍රික අදහස් ඇත්තෙක් බවය. තවත් විශේෂ දෙයක් නම්, ශ්‍රීලනිප විශේෂ සමුලුවේදී සිය පක්ෂය ගැන විශේෂ දෙයක් ඔහු කීවේ නැත. ඔහු දිගින් දිගටම කියනු ලැබූවේ ‘රනිල්’ පිළිබදවය. එය හරියට ගම්වල අඹු සැමි ආරවුලක් වැනිය. නමුත් ඔහු තව දෙයක් කීවේ නැත. එය නම් පසුගිය කාලය පුරාම කියා සිටි ඝාතන චෝදනා ගැනය. ඇත්තටම සිරිසේන ජනාධිපතිවරයාට අමතක වූවාද? නැතිනම් ඇත්ත ඒ තුළින් කියැවිනිද?

නමුත් ජනාධිපති සිරිසේන සිය පාක්ෂිකයාගේ අත්පොලසන් වලින් ‘චූන්’ වුවත්, ලංකාව ව්‍යවස්ථාපිත අරාජිකත්වයට ඇද දැමූ ප්‍රථම රාජ්‍ය නායකයා බවට අසූචිවලින් ලිය වී ඇති බව ඔහු නොදන්නේ විය හැකිය. නමුත් සිරිසේන ජනාධිපතිවරයා විශේෂ දෙයක් පිළිබදව සැලකිය යුතුය. එනම් ව්‍යවස්ථාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ හෝ රාජපක්ෂලාගේ බූදලයක් නොවන බවය.

##

ඕනෑම මනුස්සයෙක්ට ලැජ්ජාව කියන එක පොඩ්ඩක් හරි තිබිය යුතුයි. නැති නම් වෙන්නේ ඇදුම් ඇදගෙන හිටියට හෙලුව පේන එක විතරයි!