සිරිසේන විසින් කළකට පෙර රාජපක්ෂ වහල්ලුන් ලෙස හැදින් වු දැන් පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් වන දේශපාලනඥයින් මේ දිනවල විවිධ ප්‍රශ්ණ අසමින් විවිධ කතා කියමින් සිටී. ඉන් සමහර ඒවා කපටිකම නිසාද සමහරක් අඥානකම නිසා ද සමහරක් අධිකරණය බිය ගැන්වීම පිනිසද අසන ඒවාය.

දැන් අරුමය නම් එකළ එකළ රාජපක්ෂ වහල්ලුන්ට එරෙහිව කතා කළ සිරිසේන ද දැන් රාජපක්ෂ වහලකු වී සිටීමයි.

අප සිරිසේනගේ නූතන ප්‍රකාශයකින් පටන් ගමු. සිරිසේන රනිල් වික්‍රමසිංහට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට පෙර එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන ලෙස කියා තිබේ. කතාව සම්පූර්ණයෙන්ම ඇත්තය. මෙරට දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති මූලික ශේෂයක් නම් දේශපාලන පක්ෂසහ සංවිධාන අභ්‍යන්තරයෙහි ප්‍රජාතන්ත්‍රවාදයක් නැති කමයි.

වාමාංශික වෘත්තීය සමිති නායකයකු වු බාලා තම්පෝ වසර 50කට ආසන්න කාලයක් වෙළද සේවා සංගමයේ ප්‍රධානියා විය. සිරිසේනගේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය බිහිවූ දා සිට 2005 දක්වා එක දිගටම වගේ පාලනය කරන ලද්දේ බණ්ඩාරනායක පවුල විසිනි. සිරිමා බණ්ඩරනායක 1959 සිට 2004 දක්වා පක්ෂයේ නායිකාව වූ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් වූයේ ම නැත. අද සිරිසේන එම පක්ෂයේ නායකත්වය දරන්නේ ද කිසිදු පක්ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බලය ලබා නොව රාජපක්ෂ එය බාර දුන් නිසා ය. මේ දක්වා ඔහු විසින් හෝ නියමාකර පක්ෂ සම්මේලනයක් පවත්වා නිලධාරින් පත් කර නැත.

පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට ඇඟිල්ල දිගු කිරීමට පෙර සිරිසේන තමන්ගේ ඇහේ ඇති පොල් පරාලය දැක ගත යුතුව තිබුණි. රනිල් වික්‍රමසිංහගේ එජාපය තුල ද කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ඔහු පක්ෂයේ නායකත්වය දරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම මගින් නොවන බව රහසක් නොවේ.

1971 දී අප, ජනතා විමුක්ති පෙරමුණෙහි නායකයින් බවට පත් වූයේ විජේවීරගේ කැමැත්ත උඩය. අද පවා ජවිපෙ තුළ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. මා දන්නා තරමින් නම් ක්‍රමවත් ජන්ද විමසිම් මගින් පක්ෂ නායකත්වය හෝ නායකත්ව මණ්ඩල පත් කර ගන්නා කිසිදු දේශපාලන පක්ෂයක් මෙරට නැත. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉතා තීරණාත්මක ප්‍රශ්ණයක් බව නොකිවමනාය‍.

තවද ජර්මනියහි ආණ්ඩුවක් නැතිව මාස හයක් පැවතුනා නම් ලංකාවේ ආණ්ඩුවක් නැති වුණාම මොකදැයි කියාත් සිරිසේන අසා තිබේ. සිරිසේන නොදන්නා හෝ වසං කරන කාරණය නම් ජර්මනියෙහි එවැනි තත්වයක් මතු වූයේ මහා මැතිවරණයකින් පසුව පක්ෂ අතර හවුල් ආණ්ඩුවක් සෑදීම සඳහා වූ සාකච්ජා කල් ඇදුණූ නිසා බවයි. නොඑසේව ජර්මනියේ චාන්සලර් පදවිය දරන ඇන්ජෙලා මර්කල් විසින් අගමැතිවරයා පැන්නීම නිසා හෝ අධිකරණ තීන්දුවකින් හොර ආණ්ඩුවක් තහනම් කරන ලද නිසා හෝ නොවේ. එකළ, එරට ආර්ථිකය අද මෙරට මෙන් කුණාටු සයුරකට ගමන් කළේ නැත.

දැන් රාජපක්ෂ දේශපාලන වහල්ලුන්ගේ ප්‍රශ්ණ කිහිපයක් දෙසට හැරෙමු.

රාජපක්ෂ නීති විරෝධී ලෙස අගමැතිකම ලබා ගැනීම විප්ලවයක් ලෙස හැදින් වූ සිරිසේනගේ තානාපතිවරයකු වන දයාන් ජයතිලක කියන්නේ පිදෙල් කස්ත්‍රෝට සහ මැන්ඩෙලාට විරුද්ධව අධිකරණය තීන්දු දෙන ලද බවත් නමුත් ජනයා එම තීන්දු පිළි නොගත් බවත් ය. වර්ගවාදී සුදු ජාතික අධිකරණය මැන්ඩෙලාට එරෙහිව සහ ඒකාධිපති බැටිස්ටාගේ අධිකරණය පිදෙල් කස්ත්‍රෝට එරෙහිව දෙන ලද තීන්දු ජයතිලක සමාන කරන්නේ ශ්‍රී ලංකාවේ ස්වාධීන අභියාචනාධිකරණය, විශ්වාස භංගයකින් පැරදී බලය අතහැර නොගිය රාජපක්ෂට එරෙහිව දෙන ලද තීන්දුවට ය. ජයතිලක, රාජපක්ෂගේ හොර අගමැතිකම, කස්ත්‍රෝ්ගේ සහ මැන්ඩෙලාගේ විප්ලවීය ක්‍රියාකාරිත්වයට සමාන කරයි. දේශපාලන වහලෙකුට හැර මෙවැනි සංසන්දනයක් අනෙකෙකුට කළ නොහැකි ය.

ආගම්වාදය, ජාතිවාදය, අන්‍ය විරෝධය, සංක්‍රමණික විරෝධය යනාදිය යොදා ගැනීම මගින් මහජන ඡන්දයෙන් බලයට පැමිණි දේශපාලනඥයින් අද ලෝකයේ පවා සිටී. ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්, පිලිපීනයේ දුතර්තේ, බ්‍රසීලයේ බොල්සොනාරෝ ඒවැනි නිදසුන්ය. රාජපක්ෂගේ දේශපාලනය ද දැනටමත් පෙනි යමින් ඇති පරිදි ජාතිවාදී සහ ආගම්වාදී මුහුණුවරක් ගන්නවා ඇත. ජයතිලක ජය පතන්නේ ඒවැනි දේශපාලනයකටය.

සිරිසේන විසින් හදුන්වන ලද රාජපක්ෂ වහල්ලුන්ගෙන් තවත් අයකු වන දිනේශ් ගුණවර්ධන මහා මැතිවරණයකට එජාපය කැමැති නම් පාර්ලිමෙන්තුව විසිරුවා හැරීමට විරුද්ධ වූයේ ඇයි ද කියා අසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ මහා මැතිවරණයක් අවශ්‍ය නිසා නොවේ. අප කව්රුත් දන්නා පරිදි සිරිසේනගේ අගමැති වන රාජපක්ෂට පාර්ලිමේන්තුවෙහි බහුතරය ලබා ගත නොහැකි වූ නිසාය. සිරිසේනට අවශ්‍ය වූයේ මහා මැතිවරණයක් නම් ඔහුට රාජපක්ෂ අගමැති බවට පත් කරන්නේ නැතිව කෙලින්ම පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට තිබුණි.

රාජපක්ෂ නීති විරෝධීව අගමැති බවට පදවිය ලබා ගැනීමෙන් පසු හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන කිසිදු කතාවක් කලේ නැත. ඒ වෙනුවට කළේ දූෂිතයින් රාජ්‍ය තනතුරු වලට පත් කරමින් ඇමැතිකම් බෙදා ගැනීමය. අධිකරණ ඇමැති වශයෙන් පත් වූ සුසිල් ප්‍රේමජයන්ත ගෙන් බළලා එළියට පැන්නේ් ය. ඔහු කියා සිටියේ තමාගේ ප්‍රථම කාර්යක් වන්නේ බරපතල දූෂණ සහ වංචා පරික්ෂන කරන විශේෂ අධිකරණ අහෝසි කිරීම බවයි. ප්‍රකාශයක් ගැනීමට රහස් පොලීසියට ඒමට නියම වූ නාමල් රාජපක්ෂ එහි ගියේ කොට කලිසමක් හැඳගෙන මෙන්න බලාපල්ලා යැයි කියමිනි. රජයේ ජනමාධ්‍ය මැරවර බලයට යට කර ගන්නා ලදී.

රාජපක්ෂට සහ වහල්ලුන්ට මහා මැතිවරණයක් අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට බැරි වූ නිසා පමණය. ප්‍රජාතත්ත්‍රවාදය යනු මැතිවරණ නිසි කළට පැවැත්වීම මිස ජනාධිපතිවරයාට හෝ අන් අයකුට කැමැති පරිදි කැමැති වේලාවකට පැවැත්වීමට නොවේ.

දිනේශ් ගුණවර්ධනගේ ප්‍රශ්ණයේ අනෙක් වරද නම නීති විරෝධී ලෙස සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීම වරදක් ලෙස දැකීමයි. සිරිසේනට කැමැති පරිදි මහා මැතිවරණ කැදවිය හැකි නම් රටකට නීතියක් අවශ්‍ය නැත.

වත්මන් දේශපාලනය තුල සමහර විට සිරිසේනට පසුව කළක් තමන්ට ගෞරවයෙන් සැළකූ ජනයා අතර නීචතම පිරිහීමට ලක්ව ඇති පුද්ගලයා වාසුදේව නානායක්කාරය. වාසුදේව කියන්නේ ඔහුගේද ඇතුළු රාජපක්ෂ වහලුන්ගේ ඇමැතිකම් තහනම් කළ අභියාචනාධිකරණ තීන්දුව මෙරට නීති ඉතිහහාසයේ පළමුවැනි පුදුමයක් බවයි.

වාසුදේවට සිය ප්‍රකාශයේ පළමු කොටස හැලී ඇත්තේ සිය අතීතය හැලී ඇති අන්දමටය. විශ්වාසභංග යෝජනාවකින් දෙවරක්ම පැරදුණූ මුත් අගමැතිකම හෝ ඇමැතිකම් අත් නොහළ මෙරට ප්‍රථම ආණ්ඩුව තමන්ගේ බව කීමට වාසුදේවට අමතක විය. කිසිදා සිදු නොවූ හොර ආණ්ඩුවකට විරුද්ධ තීන්දුව ද ඒළෙසින්ම ප්‍රථම වතාවට සිදුවූ බව අරුමයක් ද? මෙම ප්‍රකාශ ජනයා අඥානයින් යැයි සළකන දේ්ශපාලනයකි.

මෙම ප්‍රශ්ණයම ගම්මන්පිළද අසා තිබුණි. ඔහු කියා තිබුණේ අභියාචනාධකරණයේ වාරණ නියෝගය වැනි නඩු තීන්දුවක් දී ඇති රටක් තිබේ නම් පෙන්වන ලෙසය‍. ඒ් මහතාට ද අප කිව යුත්තේ රාජපක්ෂ සහ කණ්ඩායම මෙන් පාර්ලිමේන්තු බහුතරයක් නොමැතිව බලහත්කාරයෙන් ආණ්ඩු බලය අල්ලා ගෙන සිටි වෙනත් රටක් අපට කියන ලෙසයි.

දැන් ලොකුම රාජපක්ෂ වහලා බවට පත්ව සිටින සිරිසේනද අභියාචනාධිකරණ නඩු තීන්දුව වක්‍රලෙස විවේචනයට ලක් කළේ සමහරු ඊට විරුද්ධයැයි කියමිනි. ඉන් අනතුරුව දයාන් ජයතිලක ගේ සිට වාසුදේව හරහා ගම්මන්පිළ දක්වා කරන ප්‍රකාශයන්හි යටි අරුත නම් අධිකරණය දිය යුත්තේ තමන්ට දේශපාලනිකව වාසිදායක තීන්දු පමණක් බවයි. ඉන් ඇඟවෙන දේශපාලනය භයානකය. ඒනම් යළි රාජපක්ෂ බලයට පත් වුවහොත් අධිකරණ ස්වාධීනත්වයට ඇතිවන වින්නැහියයි.

අවසාන වශයෙන් මේ ටික ද කිව යුතුය. එනම් තම අගමැතිකම යටතේ ආණ්ඩුව බොහෝ පොරොන්දු ඉටු නොකළ බවට කිසිදු ප්‍රකාශයක් මේ තාක් රනිල් වික්‍රමසිංහ විසින් කර නැති බවය. තවමත් ඒජාපයෙන් තම ආණ්ඩු පාලනය ගැන ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බැලීමක් නැත. එජාපය යළි බලයට ගෙන ඒ්මට කල්පනා කරන සිවිල් සමාජ කණ්ඩායම් සහ ප්‍රධානීන් යළිත් වතාවක් කඩේ යැවීමට වික්‍රමසිංහ කටයුතු නොකරනු ඇතැයි දේශපාලන අවබෝධයක් ඇති කිසිවකු විශ්වාස නොකළ යුතුය.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya