iMAGE BY: PMD

සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇති කළ අරාජිකත්වයෙන් දින 51කට පසු එම නාටකය අවසන් වන ලකුණු පෙනෙන්නට තිබේ. එහි ප්‍රමුඛ අවස්ථාව ලෙස ජනාධිපතිවරයා විසින් අනීතික ලෙස අගමැතිධූරයෙන් ඉවත් කරන ලද රනිල් වික්‍රමසිංහ මහතා යළි එම ධූරයේ දිවුරුම් දුන්නේ අද උදෑසනය.

දැන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රමුඛ වගකීමක් තිබේ. එය නම් ඔක්තෝබර් 26වනදා සිට රට තුළ අස්ථාවරත්වයක් ඇති කරමින්, රට අරාජික තත්ත්වයට ඇද දැමූ ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් නීතිය හමුවට පැමිණ වීමය. එසේම එම කුමන්ත්‍රණය මතින් ලේක්හවුසියට, ජාතික රූපවාහිනියට, ගුවන් විදුලි සංස්ථාවට ආදී රාජ්‍ය ආයතනවලට අනීතික ලෙස රිංගා ගත් නරුමවාදීන්ට සහ ඒ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් ද නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කිරීමය.

එපමණක් ද නොවේ, පාර්ලිමේන්තුව තුළ ප්‍රචණ්ඩත්වයක් ඇති කරමින්, කතානායකවරයාට අපහාසකරමින්, පාර්ලිමේන්තු සම්පත්වලට හානි කරමින්, මිරිස් කුඩු ගසමින්, පොලිස් නිළධාරීන්ට ප්‍රහාර එල්ලකරමින් ඇතිකල නිර්ලජ්ජිත ක්‍රියාවන් වලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව විනයානුකූල මෙන්ම නීතියානුකූළ පියවරයන් ගැනීමට වේගවත් කළ යුතුය.

අගමැති රනිල් වික්‍රමසිංහට එය නිසියාකාරයෙන් කර ගැනීම සදහා දේශපාලන අධිෂ්ඨානයක් නොතිබුනහොත්, එයින් පෙන්නුම් කරන්නේ අන් කිසිවක් නොව අගමැතිවරයා සිය ‘බලය’ සදහා ඇති කෑදරකමය. එයටත් වඩා එයින් පෙන්නුම් කරන්නේ, නීතියේ අධිපත්‍ය වෙනුවෙන් වන ඔහුගේ කැපවීමේ තරමය. නමුත් එය එසේ නොවේවායි ව්‍යවස්ථාවට ගරු කරන මෙන්ම, ලංකාවට අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින සියලු පුරවැසියන් ගේ ප්‍රාර්ථනයයි. නමුත්, විශේෂයෙන් රාජපක්ෂලාට, වීරවංසලාට එරෙහිව තිබූ ඇතැම් චෝදනා සදහා ප්‍රධාන වශයෙන් ජනාධිපති සිරිසේන ඇතුලු, අගමැති රනිල් වික්‍රමසිංහගේ‍ෙ මැදිහත් වීමෙන් ඒවා යම් පමණකට ලිහිල් කිරීමට ඔවුන් දායක වූ බව රහසක් නොවේ. නමුත් එම අමනෝඥ ක්‍රියාවන් හේතුවෙන් නැවත වරක් ව්‍යවස්ථාවත් සමග සෙල්ලම් කිරීමට රාජපක්ෂ නඩයට හැකි වූ බව අමතක නොකළ යුතුය. එබැවින්, එබැවින් දින 51ක් රට අරාජිකත්වයට ඇද දැමූ එම කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව අගමැති වික්‍රමසිංහ ගන්නා ක්‍රියාමාර්ග කුමක්ද යන්න මැන බැලීමෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ‘යුක්තිය’ ‘නීතියේ ආධිපත්‍යට’ ඔවුන්ගේ ඇති කැපවීමත්, ඒ සදහා වන දේශපාලන අධිෂ්ටානයත් කිරා මැන බැලිය හැකිය.

එවිට තවත් සත්‍යන් අපට සම්මුඛ වනු ඇත. පුරවැසියාට අනාගත දේශපාලන හැඩය තීරණය කර ගැනීමට පහසු මාවත් මුණගැසෙනු ඇත.