iMAGE: Vikalpa 

මට  මතක් වන්නේ අපි කුඩා කාලයේ කියවූ කුලසේන ෆොන්සේන ගේ නව යොවුන් වියේ කතාය. ඒ පොත් ඉතාම රසවත් “ඇඩ්වෙන්ච” කතාවන් නැත්නන් වික්‍රමයන් ය. පොඩි කාලයේ අප ඒවා කියවා දැමුවේ එක හුස්මටය. ඒත් දැන් තත්වය සපුරාම වෙනස්ය. දැන්  “ඇඩ්වෙන්ච”  කතා ලියන්නේ මෙරට 6 වන විධායක ජනපති හෙවත් මෛත්‍රීපාල සිරිසේනගේ කතා හදන්නා ය, ඒවා නම් සිරා කතාය.අනෙක් පැත්තෙන් ඒවාට උඩගෙඩි දෙන්නේ ඔහුගේ නීති මහත්හොරුන්ය.හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා වැඩ තහනමට ලක්වී, ඉල්ලා අස්වූ  අගමැති මහින්ද රාජපක්ෂ ගේ කතා ද එලෙසම ත්‍රිල් දෙන කතාය. ඒවා නම් මරා කතාය.

 “මෛත්‍රිගේ දින 50 වික්‍රමය” “ මෛත්‍රිගේ විස්මලන්තය” , “ සිකුරාදා උමතු ගැසට්ටුව”  , “ මෛත්‍රී ඝාතන තැත”  “ මොරගහකන්ද සිරි නැරඹුම”  , “ සිරි සහ සමනලයා” ,  “ මරා සිරා දීගය” , “සිරාගේ උපමා කතා” මෙන්ම “ මිරිස් කුඩු සංග්‍රාමය” සහ “සිරිමත් මගේ සකි යහපත් ළමයෙකි” යන විශිෂ්ට ගණයේ කෘති  ලියවෙන්නේ දින 50 ක් වැනි ඉතා සුළු කාලයකිනි. මේවා පාඨකයන් අතර  විකිණෙන්නේ ද උණු කැවුම් විලසිනි. කෙසේ වෙතත්  අවසන් පොත “ කොටි නැගිටීම”නමින් ලියැවෙන්නේ මේ ඊයේ පෙරේදාය.

ඒ අතර අරලිය ගහ මැදුරෙන් ඇසුණේ තවත් කතාය. “ මාර පරාජය”  “ බමුණු දමනය”, “ යුක්තියේ යාත්‍රාව ”, “සත්‍යග්‍රහ වික්‍රමය” , “ අපි හොඳ ළමෝ වෙමු ” සහ “ ලේක්හවුස් ගරා යකුම” මෙන්ම  “නහි වේරේන වේරානි” යනු තවත්  කිපයක් ය .

 “සිරිමත් මගේ සකි යහපත් ළමයෙකි” ලෙස ඊයේ දින සිරිසේන ජනපතිවරයාගේ කතා හදන්නා ලියන ලද කතන්දරයත්,  “ කොටි නැගිටීම” ලෙස මහින්ද රාජපක්ෂ ගේ  කතා හදන්නා ලියන ලද කතන්දරයත් මගේ සිත් ගත්තේය. කෙසේ වෙතත් ඒවා අදාළ තැනැත්තන්  රස කර කර කියන  ලද්දේ අධෝ මුඛයෙන් විය හැකිය.

“සුභ සහ යස” නාටකය සිහිගන්වමින් සිටින මෛත්‍රී ජනපතිවරයා දැන් මගේ ජනපතිවරයාම දැයි මට සැකයක් තිබුණි. එහෙත් ඒ සැකය දුරු කරමින් ඔහුගේ හිස මත කඩා වැටුණු  ඩබල් බෝනස් එක හෙවත් “විධායක ජනපති ධුරය” පාවිච්චි කරමින්, ඊයේ දින අගමැති රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් අමතා බර සාර කතන්දරයක් කිවේය. බොහෝ දෙනාගෙන් ඒ කතාවට ලකුණු වැටි තිබුණත් ඔහු ඒ කතාව කළේ  රනිල් අගමැති වුවොත් තමන් පැයක් හෝ ජනපති පුටුවේ නොසිටින බව කියා තිබියදී මෙන්ම , පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 අත්සන් කළ ද තමන් නැවත රනිල්  වික්‍රමසිංහව අගමැති ධුරයට පත් නොකරනවා යයි කීමෙන් අනතුරුව තම සුරතින්ම රනිල් වික්‍රමසිංහ වෙත පත්වීම් ලිපිය නැවත භාර දීමෙන් අනතුරුව, ජනපති පුටුවේ හොඳට හරි බැරි ගැසී රෙදි නැතුව නිරුවතින් විය යුතුය.

ඔහු කියූ හා කියනා පරිදි ප්‍රතිපත්ති ගරුක නායකයෙකු නම් වහා කළ යුතුව තිබුණේ  තම වචන ගෞරවාන්විතව ක්‍රියාවට නැංවීම පමණි. වැල යන අතට මැස්ස ගසා හොරු සමඟ හෙළුවෙන් සිට ගැනීමට වඩා එය නම්බුකාරය. එහෙත් මෙරටේ ජනපතිවරයා යනු රජ ගෙදර කවටයා මෙන්  ඔහු කියන වචන ඔහුට ඕනෑ ඕනෑ පදමට එහෙට මෙහෙට කොට ගනිමින් කතාන්දර කියන්නට පමණක් දක්ෂයකු හෙයින් ඔහුගේ ගැලරි පිනවීමේ කතා ගැන වදවිමෙන් කිසිදු ඵලක් නැති බව මෙරට වැසියන් දැන් වටහා  ගත යුතුය.

2015 ජනතා වරමෙන් ඔහු පත් කළ කිසිදු කොන්දේසියක් ඔහුට මතක නැතුවා සේය.විශේෂයන්ම ඔහු ඊයේ කළ  කතාවෙත්, මහින්ද රාජපක්ෂ කළ කතාවෙත් විශේෂ සාම්‍යක්  තිබුණි.

යුක්තිය , දණ්ඩ මුක්තිය නිමා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය හා සංක්‍රාන්ති යුක්තිය කෙරෙහි වන මැදිහත්වීම කිසිසේත් අතවශ්‍ය නොවන  බව මේ රටේ ජනපතිවරයා මුළු රටක් ඉදිරියේ ප්‍රකාශ කරන්නෙත්  කිසිදු විලි ලැජ්ජාවකින් තොරවය. ඒවාට තමන් ඉඩ නුදුන් බවද, තමන් කියූ කිසිදු දෙයක් යහපාලන ආණ්ඩුව  කනකට නොගත් බවද කියන මේ ජනපතිවරයා, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන බව කියන්නේ  එදා මේ රටේ යුක්තිය වෙනුවෙන් තමන් ජනපතිවරණයට ආ බව කි මෛත්‍රීපාල සිරිසේනට සහාය දැක් වූ පුරවැසියන්ට, පුරවැසි බලවේගයන්ට හා සිව්ල් සමාජයටම පශ්චාත් භාගය පෙන්වමිනි.

ඔහු තම කතන්දරයේ මෙසේ කියයි

“හරි යුද්ධයක් කෙරුවා, දෙපැත්තේම මැරුණා”

“ත්‍රිවිධ හමුදාවේ  නිලධාරින් අත් අඩංගුවට ගැනීම, යුද්ධයක් කරපු රටක යුධ ජයග්‍රහණයක් ලබා දීලා, ප්‍රභාකරන වගේ මිලේජ්ච ත්‍රස්තවාදයක් නැති කරපු අපේ රණවිරුවෝ, ඒ ගොල්ලන්ට විරුද්ධව ඒ ගොල්ලංව හිරේ දාන එපා කියන එක නිතරම කියපු දෙයක්. මන් කියපු දේ  ඇහුවේ නෑ”

කෙනෙකුගේ නිල බලය හෝ තනතුර මත කෙනෙකු තමන් කළ වරදක දඬුවමින් මුක්තිය ලබා සිටිය හැකි බවට සෘජුවම අණ බල දෙමින් කරන  මෙම ප්‍රකාශය අප නැවත නැවත කම්පා කළ යුත්තකි.නිල ඇඳුමක් ඇදීමෙන් කෙනෙකුට එසේ වරප්‍රසාද ලැබිය නොහැකිය. නීතිය නම් කාටත් එක සේ විය යුතු අතර වරදකරුවන් දඬුවම් ලැබිය යුතුමය. එහෙත් දැන් යුක්තිය වෙනුවෙන් යහපාලනයෙන් බලාපොරොත්තු දල්වා ගෙන සිටි සියල්ලන්ටම පැහැදිළි පිළිතුර ලැබී ඇත. එනම් එය සිහිනයක් පමණක් බවය. හොඳම වැඩේ එය ජනපතිවරයා තම හපන් කමක් සේ කීමය.

“ආණ්ඩුව මාරු උනාට පස්සේ මොන හරි වෙයි කියලයි අපි හිතුවේ.ඒත් මෛත්‍රීයි මහින්දයි දෙන්නම එකයි,ඒගොල්ලෝ දෙන්න රහසින් එක එක්කෙනා කතා කරනවා” මේ පසුගිය පෙබරවාරි මාසයේ මරදන්කනි හිදී  අතුරුදහන් වුවන්ගේ  මව්වරුන්ගේ උපවාස භූමියට ගිය මොහොතක මවක් මා හා  කි කතාවක්ය.

එය යතාර්ථයක් බව අද අප සැවොම දනී. දැන් මේ මව්වරුනට දෙන්නට පිළිතුරක් නැත.දුහුවිලි කමින් අවරුදු ගණන් තම දරුවන් වෙනුවෙන් තබා තිබු බලාපොරොත්තු වලට ජනපතිවරයා දැන් පිළිතුරු දී තිබේ.

මේ විලිලැජ්ජා නැති ජනාධිපතිවරයා තව දුරටත් ඔහුගේ දුක්ඛ දොමනස්සයන්ගෙන් අනුන කතාන්දරය කියාගෙන යයි.ඔහුගේ යෙදුම්, භාෂාව කදිමය. යුද්ධයකින් වසර 10 කට පසු , පශ්චාත් යුධ වාතාවරණයක ඔහු කියන මේ කතාව හොඳින් අප ඇසිය යුතුමය.

“ද්‍රවිඩ සිරකාරයෝ දැන් නිදහස් කරන්න කියන ඉල්ලීම තියෙනවා,අපි සාකච්ජා කීපයක් පැවැත්වුවා.ද්‍රවිධ සිරකාරයෝ නිදහස් කරනවා නම් , අපේ හමුදාවලට විරුද්ධව දැන් පහුගිය අවුරුදු ගානෙම ඔය යුද්ධ කාලේ තිබිලා, ඔය ඉන් පස්සේ හමුදාවල ඇතුළේ ඉන්න  ඔක්කොමත් නිදහස් කරන්න ඕනි, ඒ අයත් එලියට දාන්න ඕනි. එක තමයි සාධාරණත්වය”  ඒ ජනපතිවරයාගේ ළාමක, මෝඩ තර්ක වල තරමය.

පසුගිය කාලය පුරාම, අවම වශයෙන් නඩු හෝ නොමැතිව වසර ගණනක් පුරා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත  යටතේ අයුක්ති සහගත ලෙස රඳවාගෙන සිටින  දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන කළ ලෙස අරගලන් ඔහු දකින්නේ ඉහත කියන ලද ලෙසය. අපරාධ කරුවන් නිදහස් කරන ලෙස මේ ව්‍යාපාර හෝ අරගල කිසිවිටෙක කියා නැත.

මේ දකුණට ඕනෑ, සිංහලයාට ඕනෑ  “දෙමළා” වෙනුවෙන් සිරා  දමන තගය. ඒ තග එලෙසම  මහින්ද රාජපක්ෂ  තම ඇඳුම් කැඩුම් පටවාගෙන නික්මෙන මොහොතේද මෙසේ කියා තැබුවේ ඒ නිසාය

 “ මෙතන ඇත්තටම  මොනවද වෙලා තියෙන්නේ කියලා හරියටම ජනතාවට දැනුණේ දෙසැම්බර 12 වෙනිදා .රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්න කියලා යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරපු දවසේ., රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්න කියලා  ජන්ද 117 ක් ලැබුනා. එකෙන් ජන්ද  14 TNA ජන්ද. TNA එකෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න කියලා ජන්දය දුන්නට , මාවි සේනාධිරාජා මන්ත්‍රී වරයා TNA එක වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ කළා . TNA රනිල් වික්‍රමසිංහ මහත්තයට අගමැති වෙන්න ජන්දේ දුන්නට ඒ ගොල්ලෝ ආණ්ඩුවට එක්වෙන්නේ නැති බවත්, දිගටම විපක්ෂයේ ඉන්න බවත් එතුමා ප්‍රකාශ කළා. එතකොට මෙතන වෙලා තියෙන්නේ මොකක්ද?  103 ක් ඉන්න UNP සුළුතරය TNA එක විසින් ප්‍රාණ ඇපයට  ඇරගෙන තියෙන එකයි. TNA එක කියන විදියට රට පාලනය කලේ නැතිනම් ඕනම මොහොතක UNP සුළුතරයට පාර්ලිමේන්තු බහුතරය නැති වෙන්න පුළුවන්. (හිනා ) දැන් අර TNA අතට තමයි රිමෝට් එක ගිහින් තියෙන්නේ “

මේ ප්‍රකාශය එකින් එක ගෙන බලන්න. ඔහු  හුදෙක්ම කරන්නේ කුමක්ද? මේ ඔහු පෙන්වන්නේ ජාතිවාදයේ කුණු ගොඩ අවුස්සමින්  තව දුරටත් විමල්, ගම්ම්මන්පිල අසුචි සගයන් සමඟ බල පොරයට පැමිණීමේ තුච්ච අපේක්ශාවන්ය. ජනයා  ඇන්දිය හැකි එකම ටොපිය එයය .

තමන්ගේ ඇමට  බිලි බා ගත  නොහැකි වී ගිය නිසාම  දෙමළ ජාතික සන්ධානයට කොටි පුල්ලි ඇලවීමෙන් හා කොටි නැගිටිනවා යයි කෙබර කරළියට ගෙනෙමින් තම දේශපාලන න්‍යාය පත්‍ර වර්ධනය කර ගැනීමට දැන් නිර්ලජ්ජිත උත්සාහ ගනිමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ හා මෛත්‍රිපාල සිරිසේන එකතු වී ගොඩ නගන්නට ගිය හොර දීගය දෙපළු වී ගිය හෙයිනි.

ඒ නිසාම අධිකරණ තීන්දුව ද ව්‍යජ ලෙස අර්ථ කථනය කරමින් එය “ජන්දයක් එපා” යනුවෙන් ලැබූ එකක් යයි පට්ටපල් කෙබර ඇද  බාමින් ජනයා රැවටීමේ කුමන්ත්‍රණය ද ඔවුන් විසින් තවදුරටත් රඟ  පාමින් සිටියි.

අනෙක් අතට මියට පිම්බාක් මෙන් සියලු කතා අසාගෙන බබා සේ සිටි රනිල් යනු කිසිසේත්ම ප්‍රජාතාන්ත්‍රවාය නොවේ. යහපාලනය  අවුලෙනුත් අවුලට යාම වළකා ලීම වෙනුවෙන් ඔහු දැන් අනිවාර්යයෙන් ඩ්ල් පිට  ඩිල් සිරිසේන  සමඟ ගහනු ඇත්තේ යහපාලනයේ කුණු  ඕජස් රෙද්ද පල්ලේ බේරෙන නිසාය.

ඒ නිසා යුක්තිය නාමයෙන් සත්‍යග්‍රහ කළ ද එක්සත් ජාතික පක්ෂයට ඒ කෙරේ වන පැහැදිලි වුවමනාවක් නොමැති  බව  අපට වැටහෙන සත්‍යය.  යහපාලන වසර 3 තුලදීම ඔවුන් ඒ බව  ඔප්පු කොට තිබේ. කිසිදු තේරුමක් නැති කොළ කොඩි ඔසවා ගෙන යන  අඩ නිරුවතින්  යන රථ පෙළපාලි , පිට්ටනි පුරවන ඔලු ගෙඩි වලින් ද යුක්තිය වෙනුවෙන් ඉටු වන කෙන් ගෙඩියක් නොමැති බව දැන් වත් ඔවුන් අවබෝධ කර ගත යුතුය. තව ටික දවසකින් හොරුන්ද , කබ්බයෝද, බයියෝද, ටෝයියෝද නැවත එක ගෙයි කනු ඇත. එවිට යුක්තිය “ගැලරි” කතාවක් පමණක් වීමට බැරි නැත.

පුරවැසියන් වන අපගේ වගකීම හා මැදිහත්වීම තදින්ම ඒ නිසා ඉදිරි කාලයේ දී මේ පාලනය තුළින් යුක්තිය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය නම් අප කළ යුතුව තිබේ. අතුරුදහන් වුවන්, දේශපාලන සිරකරුවන්, ඉඩම් අහිමිවුවන්, දේශපාලන පළිගැනීම්  වල වින්දිතයින්, ජනමාධ්‍යවේදීන් හා සිවිල් සමාජයේ මෙන්ම පොදු ජනයාගේ කරමතින් බල තහවුරු කරගත් සියල්ලෝම වෙත තම යුතුකම් හා වගකීම් ඉටු කිරීම වෙනුවෙන් වන බල කිරීමට අතවශ්‍ය බව මේ දින 50 අපට නැවත උගන්වා ඇත.

අනෙක් අතට දැන් අප අවුරුදු 19 සිට  බෝනස් පිට  ඉන්නා කෙනෙකුට තවත් බෝනස් ලබා දිය යුතුද නැද්ද යන්න තිරණය කළ යුතු කාලය පැමිණ තිබේ.එසේ නොමැති වුවහොත් මෛත්‍රීලන්තයේ නත්තල් බෝනස් මෙන්ම අවුරුදු ස්ප්‍රයිස් පවා ඉදිරි දින කීපයේ අපිට ඩබල් ලෙස ලැබිය හැකිය.

 

 

ඉෂාරා ධනසේකර