iMAGE: Maithreepala Sirisena fb Page 

මගේ වැදගත් කාලයෙන් පැය ගණනාවක් ගෙන ඔබතුමා විසින් 2018  දෙසැම්බර් 16වන දින,  අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස අමතමින් සිදුකළ කතාව දැඩි පරික්ෂාකාරී ලෙස කියවා බැලීමි  එහි කරුණු කිහිපයක් වෙත මම අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.  පුද්ගලයකු සහ පුරවැසියකු ලෙස ඔබතුමා යම් අපහසුතාවයන්ට පත්වීමේ දීර්ඝ දුක්ගැනවිල්ල වෙනුවෙන් මාගේ සාතිශය සහකම්පනය (Empathy) ප්‍රකාශ කරමි. ශ්‍රී ලංකා ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියට, ශ්‍රමිකයකු ලෙස දායක වීමත්, මාගේ ශ්‍රමයෙන්, විධායක ජනාධිපති ධුරය නඩත්තු වීමත් මත  මෙම ලිපිය ලිවීමට මා හට  අයිතියක් වේ.

ඔබගේ කතාව  වෙත අවධානය යොමුකරන්නේ නම්,  ඔබතුමාව ඝාතනය කිරීමට 1971 සිටම විවිධ පුද්ගලයන් සහ සංවිධාන ක්‍රියාත්මක වී තිබේ. 1971 දී , අවුරුදු 19 වයසේ  පුද්ගලයකු ලෙස, පාසලේ විදුහල්පතිවරයාගේ අනුදැනුම මත , නිලධාරින් විසින්, ජනතා විමුක්ති පෙරමුණ නමැති සංවිධානයට කිසිදු සම්බන්දතාවයක් නොමැති බව, තරයේම දැන සිටි ඔබතුමාව, චේ ගුවේරා කාරයකු ලෙස හදුන්වමින් , බන්ධනාගාරගත කර තිබේ. මෙය සුළුවෙන් තැකිය හැකි සිදුවීමක් නොවේ. ඔබතුමාගේ විෂය ප්‍රවීනයන් මේ පිලිබඳ පුළුල් ලෙස අවධානය යොමුකළ යුතුය. මක්නිසාද යත් මෙහි ප්‍රබල කරුණු දෙකක් හදුනාගත හැකි හෙයිනි. එනම්, විදුහල්පතිවරයා යනු රාජ්‍යයේ  ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආයතනයක නියෝජිතයෙකි. එවැනි නියෝජිතයන්ගේ වගකීම සහ වගවීම ගොඩ නැගෙනුයේ, පුරවැසියා කෙන්ද්‍රියවය. එවිට, යම් පුරවැසියෙකුගේ ආරක්ෂාවට සහ සුභ සාධනයට එදිරිව ,රාජ්‍ය ආයතන නියෝජිතයාට ක්‍රියාත්මක විය නොහැකිය.  එසේනම්, එම විදුහල්පති වරයාට එදිරිව ඔබතුමා නීතිමය ක්‍රියාමාර්ගයක් ගනු ලැබූ වේද? එසේනම් එය කුමක්ද? අනික් කරුණ නම්, ඔබ නියෝජනය නොකරන දේශපාලන අභිලාශයක් වෙනුවෙන්, රාජ්‍ය ආයතනයක් විසින් ඔබ වෙත යම් අනන්‍යතාවක් ලබාදීමය. මෙම අනන්‍යතාව හේතුවෙන් ම , ඔබගේ සිවිල් අයිතීන් උල්ලංඝනය කිරීමය. මේවා ඔබතුමා බරපතල ලෙස සැලකිය යුතුවේ. මන්දයත් , ඔබතුමාගේ පසුකාලින දේශපාලන දුක්ගැනවිලි විකාශය  වන්නේ ‘මම මෙවැනි බරපතල ක්‍රියා ද සරල ලෙස සැලකු හෙයින් ඔබ ද ඔබගේ  පරිසරයේ ඇති අයිතීන් උල්ලංඝනය වීම් සරල ලෙස සලකන්න යන’ තේමාව යටතේය.

1970 දී බලයේ සිටි ආණ්ඩුව විසින්, ඔබතුමාගේ අයිතීන් උල්ලංඝනය කර ලෙස හැසිරෙන විට, එයම ඔබතුමාගේ ධුරය යටතේ සිදුවන්නේ නම්, එය ඉවසා සිටීමට පුරවැසියන් ලෙස අපි කිසිදිනක කටයුතු නොකරමු.  ඔබතුමාගේ චේ ගුවේරා අනන්‍යතාව සහ විදුහල්පතිගේ හැසිරීම, වර්තමානයේ දී හමුවන්නේ , සිවිල්, විමුක්ති ව්‍යපාර පුද්ගලයන් සහ හමුදා අංශයන් ගේ අතුරුදහන් කිරීම් මගිනි. මේ සියලු අතුරුදහන් කිරීම් හි වගකීම බලයේ සිටි ආණ්ඩු බාරගත යුතුය. 2015 සිටම අතුරුදහන් කරන ලද පුද්ගයන්ගේ ආදරණියයන් උත්සුක වන්නේ , යුක්තිය සොයාගනීමටය. මෙසේ අතුරුදහන් කල පුද්ගයන් අතර, විමුක්ති ව්‍යපාර සමඟ සම්බන්ධතා නොමැති පුද්ගලන් ද විය හැකිය. අනෙක් අතට එවැනි සම්බන්දතා සහිත පුද්ගයන් වුවද අතුරුදහන් කිරීමට කිසිදු ආණ්ඩුවකට අයිතියක් නොමැත. යුද්ධයේ අවසාන අවස්ථාවේදී රාජ්‍ය ආයතන වන, හමුදාව වෙත යටත් වූ, බාරවූ විමුක්ති කොටි නායකයන් අතුරුදහන් කිරීම වෙත ඔබ අවධානය යොමුකළේ ද? දොළොස් හැවිරිදි බාලචන්ද්‍රන් හමුදා භාරයට පත් වූ පසු , මරා දැමීම ඔබට ,රාජ්‍ය නායකයා ලෙස කෙසේවෙතත් මනුෂ්‍යකු ලෙස අනුමත කල හැකිද ? එවැනි අශිෂ්ට, නීතිවිරෝධි, මර්ධනකාරී පුද්ගලාභිමතානුසාරිව හැසිරෙන පුද්ගලයන් , ත්‍රිවිධ හාමුදාවේ ශ්‍රේෂ්ඨයන් ලෙස සලකා, නිතිය ඉදිරියට ගෙන එමෙන් වැලකි සිටීමට යෝජනාකිරීමට තරම් නොහික්මුණු චින්තයක් ඔබට වේද?

ඔබ කියන , ත්‍රිවිධ හමුදා ශ්‍රේෂ්ටයින්  සහ ඔබ පදනම් විරහිතව බන්ධනාගාරගත කිරීමට මඟ පැදු විදුහල් පතිවරයා අතර කිසිදු වෙනසක් මට නොපෙනේ. ඔවුන් දෙපාර්ශවයම , ආණ්ඩුවේ මර්ධනය වෙනුවෙන්, අනෙකා වෙත යම් අනන්‍යතාවක් ගොඩ නගා,ඒ මත පදනම්ව, පුරවැසියාගේ අයිතීන් විනාශ කිරීමට කටයුතු කළ පුද්ගලයන් පමණි. ඔබතුමා ආනන්දී ශෂීන්ද්‍රන් ගැන ආසාතිබේ ද? නැතිනම් කියවන්න ,උතුරු පළාත් සභා මැතිවරණයෙන් , යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ,  ජනතා ජන්දයෙන් පත් වූ එකම කාන්තාව ඇය වේ. ඇයගේ විවහාව සිටියේ, විමුක්ති කොටි සංවිධානයේ  වවුනියා සහ ත්‍රිකුණාමල ප්‍රදේශභාරව කටයුතු කල ඉලාන් සමගය. උගත් පාඩම් කොමිසන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින්  ආනන්දී  මෙසේ පැවසුවාය.

“මාගේ සැමියාවන, ඉලාන්  සහ අනෙක් විමුක්ති කොටි සංවිධානයයේ ජේෂ්ඨ සාමාජිකයන් වන යෝගරත්නම් යෝගී, සහා ලොව්රන්ස් තිල්ලකර්, විමුක්ති කොටි හි දේශපාලන අංශ යේ නියෝජ්‍ය නායක තන්ගකන් (Thangkan ), හිටපු යාපන ප්‍රදේශ දේශපාලන ප්‍රධානි ඉලම්ප්‍රති ( Ilamparithi),පරිපාලන ප්‍රධානි පුවනාන්, ප්‍රියන්, තිබන්, ක්‍රීඩා අංශ ප්‍රධානි රාජා සහ ඔහුගේ දරුවන් තිදෙනා, කුද්දි සහ බාබු , මගේ දෑස ඉදිරියේ දීම , 2009 මැයි 18 වන දින හමුදාව වෙත භාර විය. මුලතිව් වට්ටුවාවල් ප්‍රදේශයේ කතෝලික පියතුමාන  වන ගරු ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමාන් විසින් එම කටයුත්ත සම්බ්ධිකරණය කරනු ලැබිය.එසේ හමුදා ව වෙත භාර දුන් ඇයගේ සැමියා ඇතුළු කණ්ඩායම අදවන තුරුම අතුරු දහන් කර තිබේ ”නොවේද? එය බරපතල කරනුක් නොවේද?

අනෙක් අතට, 1971  අරගලය සහ එයින් පසු සිදුවූ අතුරුදහන් කිරීම් විමර්ශනය සහ එම අපරාධය නැවත සිදුවීම වැලක්වීමට කටයුතු නොකිරීම හේතුවෙන් අදටත් ආනන්දීට තම සැමියා පිලිබඳ නිශ්චිත තොරතුරක් ලබාගැනීම අහිමි කර තිබේ. ඔබතුමා සතුටු විය යුතුය. ඔබතුමා හට මඩකලපු බන්දධනාගාරයෙන්, ජීවිතය සහිතව නැවත පැමිණීමට හැකි වුවද පසු කාලයේ දී දකුණේ 60, 000 කට වඩා ජිවිත නැවත නොපැමුනිණි.  ජනතා විමුක්ති පෙරමුණු නායක රෝහණ විජේවීර, අත්අඩංගුවට ගත් පසු අතුරුදහන් කිරීම වෙනුවෙන්, 2018 දී ඔහුගේ බිරිඳ වන චිත්‍රාන්ගනී විජේවීර විසින් අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීම  සහ ආනන්දී සසිදරන්ගේ ක්‍රියාකලාප, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පුද්ගලයකු ලෙස ඔබට ප්‍රතික්ෂේප කල හැකිද ?  ඔබතුමා, රණ විරුවන් ලෙස පෞද්ගලිකව මල් මාලා දමා, පිළිගෙන නිවසේ දී සැමරුම් සිදුකලාට කිසිදු විරෝධයක් නොමැත. නමුත්, මගේ හෝ ඔබතුමා ද ඇතුලත් මගේ අනෙක් පුරවැසියන් ගේ ආරක්ෂාව සහ සුභසාධනය  උල්ලංඝනය කරමින් කවර හෝ රාජ්‍ය ආයතන , පුද්ගලකු හැසිරේනම් හෝ එසේ හැසිරුණු පුද්ගයන් සුරක්ෂණය කර, ආරක්ෂණ කිරීමට ඉල්ලා සිටිනම්, එයට දැඩිව විරුද්ධ විය යුතුය.

ඔබතුමා ගේ ජිවිතාරක්ෂාවට  තර්ජනයක් වන ලෙස යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් කටයුතු කරයි නම්, ඒ පිලිබඳ කඩිනම් විමර්ශනයක් සිදු කල යුතු අතර, එවැනි කටයුතු වෙනුවෙන් පිඹුරු පත් සකසන පුද්ගලයන් නිතිය ඉදිරියට ගෙනා යුතුය.  ඒ ඔබතුමා ද අන් පුරවැසියන් සේම ගෞරවාන්විත ජිවිතයක් හිමි මනුෂ්‍යයකු වන හෙයිනි . නමුත්, ඔබතුමා ඝාතන කුමන්ත්‍රනයක් ඇති බවට පරිකල්පනය කරමින්, ඒ වෙනුවෙන් , අගමැති  ධුරයට ව්‍යවස්ථාවට එදිරිව ජනමතයක් නොමැති පුද්ගලයකු පත්කිරීම සහ,එම දේශපාලන සුදුව පරදින විට, ව්‍යවස්ථාදායකය  විසුරුවා හැරීමට කටයුතු කිරීම කිසි ලෙසක එකඟ විය නොහැකිය. ඔබතුමා විසින්, ජනාධිපති ධුරය අවභාවිතා ව පිලිබඳ, ජනතා විමුක්ති පෙරමුණු සාමාජික කේ.ඩි.ලාල් කාන්ත මහතා පසුගිය දිනක දෙරණ රුපවාහිනි 360 වැඩසටහනේ දී ඉතාම සරලව පැවසුවේ මෙසේය; “ ව්‍යවස්ථාවට වෙනමම ආණ්ඩුවක් හදන්න ගියා; වැඩේ කෙලවුනා. වැඩක් කෙලවගෙන දැන් ව්‍යවස්ථාවේ අරක තිබුණා නම් හරි, මේක තිබුනානම් හරි කියලා වැඩක් නැහැනේ ” . ඉතාම සරල සිංහලෙන් පවසන්නේ නම්, ඔබතුමාට මරණිය කුමන්ත්‍රණ  තිබුනේ නම්, සිදු කල යුතුව පැවතුනේ,  ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් , ව්‍යවස්ථාවට එදිරි කුමන්ත්‍රණ සිදු කිරීම නොව, ඒ වෙනුවෙන් ‘විද්‍යත්මක විමර්ශනයක් සිදුකිරීමය’.  මක් නිසාද යත්, ඔබතුමාගේ ජීවිතය සේම, මෙරට පුරවැසියන්ගේ ජිවිත ද ඉතා වටනා හෙයිනි.

ඔබතුමාට අනුව , ඔක්තෝබර් 26 වැනි දින සිට මෙරට ක්‍රියාත්මක වුයේ දේශපාලන  ආරවුලකි. එය ඔබෙන් එපිට යම් බලවේගයක් විසින් නිර්මාණය කරන ලද අතර , ඔබේ දුක්ගැනවිල්ලට  අනුව, මෙකි බලවේගය පරාජය වෙනුවෙන් ජානධිපතිවරණයෙන් පරාජය කළ සහ මහ මැතිවරණයෙන්, අගමැති ධුරයට ද පත්වීමට නොහැකි වූ , පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වෙත අගමැති ධුරය ලබාදුණි. ඔබ විසින් ගත් මෙකි ක්‍රියාමාර්ගය වෙනුවෙන් , නීති විශාරදයන් ගේ උපදෙස් ද ලැබුණි. නමුත් ඔබතුමාගේ, පරිකල්පනීය ශක්තිය සහ නීති විශාරදයන්ගේ, අර්ථ කථනයන් , ප්‍රයෝගිකත්වයෙන් බොහෝ ඈත විය. එනම්, ඔබතුමා පත් කල, මහින්ද රාජපක්ෂ මහතා ට අගමැති ලෙස පාර්ලිමේන්තුවේ එක් දිනක් හෝ  කටයුතු කිරීමට නොහැකි විය. එසේම, බහුතරයක් පාර්ලිමේන්තු නියෝජිතයන් ඉතාම අශිලාචාර ලෙස, උත්තරීතර සභාවේ හැසිරුණි . මේ ආරවුල නිර්මාණය කිරීම මඟින්, බලාපොරොත්තු වුයේ කුමක්ද යන්න ඔබතුමා ම නැවත සිතා බැලිය යුතුය. මෙකි ආරවුලක් නිර්මාණය සඳහා එක් කාරණාවක් ලෙස ඔබතුමාගේ ලිපිය පෙන්වා දෙනු ලබන්නේ   19 වන ව්‍යවස්ථාව සහ ව්‍යවස්ථාදායක සභාව මගින් තම ධුරය විසින් සිදුකරනු ලබන පත්කිරීම් නියාමය වීමය.  ව්‍යවස්ථා දායක සභාවේ අපක්‍ෂපාති බව ඔබතුමන් විසින් ප්‍රශ්න කරනු ලබන්නේ, ඔබ යෝජනා කල දීපාලි විජේසුන්දර සහ කුසලා වීරවර්ධන යන මහත්මීන් ගේ නාමයන් ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි . ඔබතුමා , ජේෂ්ඨත්වය ගරු කරමින් අධිකරණය ක්ෂේත්‍රය තුල සිදු කල නාමාකරණයන් ප්‍රතික්ෂේප කිරීමේ පසු විපරමක් ලබාගත්තේ ද? ඔබතුමා, Colombo Telegraph විසින් 2011, දෙසැම්බර් 07 වන දින ප්‍රකාශිත වාර්තාව අනුව (අවශ්‍ය නම්, ඔබතුමාට තව බොහෝ මුලාශ්‍ර භාවිතා කළ හැකිය) දීපාලි විජේසුන්දර මැතිනිය තම අධිකරණ රාජකාරිය නිසිපරිදි ඉටු නොකරන බවට චෝදනා වේ .  මෙවැනි සන්ධර්භ නොසලකා කටයුතු කිරීම, සහ එමගින් රාජ්‍ය සහ නිතිය අක්‍රිය කිරීම හේතුවෙන් දේශපාලන අර්බුධ නිර්මාණය කල යුතු නොවේ.

ඔබගේ  කතාවේ බෞද්ධ භික්ෂුන්  ගේ අයිතිය වෙනුවෙන් යම් අවකාශයක් ඉටු කර තිබුණි. ඉතාම සැදැහැවත් , බෞද්ධයකු ලෙස, සංඝ සරණ යාම යහපත් ගුණාංගයකි. එසේම ඔබතුමා බුද්ධ සහ ධම්ම සරණ ද ගොස් ඇතැයි මගේ විශ්වාසය වේ. එසේම, ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකින බවද පිළිගනී.  එහෙත් ධර්මයේම පැවසෙන, වේතාන්විතව  සිදුකරන ලද ක්‍රියා හේතුවෙන් වන කර්මය, ගැලෙහි බැදී සක මෙන් තමන් පසුපස පැමිණෙන බව ද පිළිගනු ඇතියි මගේ විශ්වාසය වේ. මවු ඇතින්න මරා,  නිස්සාර භූමින්  (ආරාම, උයන්, පන්සල් යන විවිධ  නාමයන්ගෙන් ලියාපදිංචි කර තිබෙන පුද්ගලික වාසස්ථාන ) අලංකරණ කිරීම  උදෙසා, කතා කිරීමට නොහැකි අලි- ඇතුන් නීති විරෝධී ලෙස ගෙන ඒමත්, ඒ වෙනුවෙන් නිතිය ක්‍රියාත්මක කරන විට, ‘පන්සල් වත්තේ දමා ගොස් සිටි හෙයින් මම රැක බලා ගත්තා ’ ලෙසට අධිකරණ ඉදිරි යේ ප්‍රකාශ කරන භික්ෂුන් වෙනුවෙන් ඔබතුමාගේ ධුරයට පෙනී සිටීමට නොහැකිය.  අප ජිවත්වන පරිසරයේ  පංගුකාරීත්වය මිනිසුන්ට අමතර ව, හඬක් නොමැති තිර්ශ්චිනයන් ට හිමිය. ඔවුන්ගේ හිමිකාරිත්වය  වෙනුවෙන් ඔබට, මට හෝ , භික්ෂු හෝ වෙනත් කිසිවෙකු ට පෙනී සිටීමට හැකියාවක් නොමැත. මක්නිසාද යත්, එම  තිර්ශ්චිනයන් යනු පෞද්ගලික දේපලක් නොවන හෙයිනි. ඔබගේ පන්සලේ පෙරහැරට තිරශ්චිනයන් අඩුවේ නම්, ඒ වෙනුවෙන් මව් ඇතින්න මාරා දමා. අලි- අත් පැටවුන් හිමිකරගැනීමට ඔබගේ ධුරයේ බලයෙන් යෝජනා කිරීම අපරාධයකි.එසේම තෙරුවන් සරණ ගිය බෞද්ධයකු ලෙස පුද්ගලිකව ඔබගේ හිරි – ඔතප් පිළිබද නැවත සිතා බැලිය යුතුය.

ගරු ජනාධිපතිතුමනි, අවසාන වශෙයන් මම මෙසේ පවසමි. ඔබතුමාගේ පෞද්ගලික රුචි -අරුචි, අභිලාශ, තෝරාගැනීම් මට අදාළම නොවේ. එහෙත්, ජනාධිපතිධුරය මත පදනම්ව ඔබතුමා ගනු ලබන තීරණ මට අතිශයින්ම වැදගත්වේ. මන් ද යත්, මම ශ්‍රී ලාංකික පුරවැසි භාවයට පමණක් හිමිකම් කියන, ශ්‍රමය පමණක් එකම ඉපයුම් මාර්ගය හිමි වූ ස්ත්‍රියක් වීම හේතුවෙනි. ඔබතුමාගේ ධුරය භාවිතා කරමින්, ප්‍රජාතන්ත්‍රවාදයට පිඩාකිරීමට, නීතියේ ආධිපත්‍ය බිඳ හෙලීමට සහ යුකිතිය මරා දැමීමට එදිරිව  මා වැනි පුරවැසියන්ගේ පෙළ ගැසීම කිසි දිනක නතර කළ නොහැක.

 

අරුණි සමරකෝන්