iMAGE: Maithreepala Sirisena Fb page 

සරල යයි කියා ගන්නා ජනපති තුමනි !  පුරවැසියන්ට ආලවට්ටම් කතා කියන්නට ඔබ  අති දක්ෂයෙක් බව  මේ වසරේදීද ඔබේ  වැඩ ඇල්ලීමේ පණිවිඩයෙන් ඔබ දැන් කියා ඇත.

“පසුගිය වසරේ වචන අයත්වනුයේ ඒ ඉකුත් වසරේ භාෂාවටය . එහෙත් නව වසරේ වචන සුදානම් ව සිටිනුයේ වෙන අන් හඬක් උදෙසාය”

ජනාධිපති මාධ්‍ය අංශයේ  වෙබ් පිටුවේ නිකුත් කොට ඇති ඔබගේ අවුරුදු සුබ පැතුම් පණිවිඩයේ හතරවන ජේදය ආරම්භ වන්නේ එලෙසිනි. T.S Eliot මහා කවියාගේ For last year’s words belong to last year’s language. And next year’s words await another voice. And to make an end is to make a beginning යන්න සිංහලයට උපුටා දක්වමින් ඔබගේ කතා කරු ඔබ වෙනුවෙන් ලියන්නට යෙදුණු පණිවිඩය ඔබ කියවා ඇතියි මම සිතමි. එය ඔබේ සුබ පැතුම් පණිවිඩයේ මා වඩා ම ප්‍රිය කළ කොටස බව මා කිව යුතුමය. පසුගිය වසරේ ඔබේ භාෂාව දැන් අපට හොද හැටි පුරුදුය. ඔබේ අමුතු භෂාව අපට  ඕනෑවටත් පාඩම් උගන්වා තිබේ. එළඹෙන්නට නියමිත හඬ ගැන නම් ඇත්තේ දෙගිඩියාවකි.

කෙසේ වෙතත් T.S Eliot කවියා ගැන ඔබ දන්නවා දැයි  මම නොදනිමි. එහෙත් පණිවිඩය ඔබේ නමින් අත්සන් කොට ඇත්තේ ඔබ නිසා ඒ සියල්ල ඔබ කියූ ඒවා ලෙස අනෙක් පුරවැසියන් සේම මමද භාර ගනිමි. මහා කවියකුගේ  වචන වලට රිංගු පමණින් ඔබේ කුමන්ත්‍රණයේ වචන හෝ ක්‍රියා අපට අමතක වනවා යයි ඔබ සිතනවා නම් ඔබට වැරදි ඇති බව මම නැවත නැවත කියමි.ඒවා හිනි සීරුවට අමතක කර දමන්නට අපිට නොහැකිය.

2015 දී  පත්කළ ජනතාව වෙනුවෙන් ඔබ කියූ පොරොන්දු සියල්ලේම ඇත්තේ කඩවීමේ සොහොන් ලකුණුය. තව දින 5 කින් එනම් 2019 ජනවාරි 08 වන දිනට ඔබ මෙරට 6 වන විධායක ධුරයට පත් වී වසර  4 ක් ගත වනු ඇත. විධායක ජනපති ධුරය අහෝසි කරනවා යයි කියා ජනපති වූ ඔබට  දැන් නම් ජනපති ධුරයෙන් විශ්‍රාම ගැනීමට වත් බලාපොරොත්තුවක් නැති බව අපි දනිමු.

“ මේ උදා වන්නේ වැරදි ගිය අවස්ථා මඟින් නිවැරදි මාර්ග වෙත අප යොමු කරන ඉතිහාසයේ තිරණාත්මක කාල පරිච්ජේදයක් බව”ඔබ තවත් තැනක කියයි.

ඉතිහාසයෙන් ඔබ පාඩම් ඉගෙන ගෙන තිබේද? අතීතයේ භාෂාව ඔබට කොතරම් වැදගත්ද? ඔබ ලැජ්ජා විය යුතු නායකයකු මිස අපට සුබ පැතුම් පණිවිඩ  නිකුත් කළ හැකි නායකයෙකු නොවේ. අප්‍රසන්න සහගත ලෙස දින 51 ක් පුරා රට  අරාජිකත්වයට ඇඳ දැමීමෙන් පසුත් ඔබ කළ කී දෑ, කරමින් සිටිනා දෑ අපට දිනෙන් දින පෙන්වමින් සිටින්නේ  ඔබේ වචනයට හාත්පස වෙනස් ක්‍රියාවන් ය.

තමන්ගේ ඇහේ ඇති පොල් පරාලය ඔබට දැන් දැන් ඒ මදිවාට නොපෙනමින් තිබේ.  ඔබ ඒ මතින් හිතු මතේ මගේ රට පාලනය කරනවාට පුරවැසියකු ලෙස මා අකමැතිය.මගේ ජනපතිවරයා ලෙස ඔබ තෝරා ගැනීමට ඔබට ජන්දය දුන් පුරවැසියෙකු ලෙස මට ඇත්තේ දැඩි වේදනාවකි. ඒ නිසාම මට ඔබේ පසුගිය වසරේ වචන අමතක කිරීමට ඇත්තේ බියකි.

 

ඉෂාරා ධනසේකර