IMAGE: Screenshot

2016 අංක 12 දරණ තොරතුරු  දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පනත යටතේ 2019 නව වසරේ තම පුරවැසි අයිතිය පාවිච්චි කරමින් විකල්ප වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක සම්පත් සමරකෝන් විසින් ජනවාරි 2 වන දින ජනාධ්පති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා වෙත සුවිශේෂී  තොරතුරු ඉල්ලීම් කරන ලදී.

ජනවාරි පළමු දිනට ශ්‍රී ලාංකික  පුරවැසියන්ගේ පෞද්ගලික ජංගම දුරකථන වෙත   ජනපතිවරයාගෙන් ලැබෙන “PRESIDENT” යන ශීර්ෂය යටතේ ලැබෙන  සුබ පැතුම් පණිවිඩය සම්බන්ධව මෙහිදී තොරතුරු  විමසීමක් කොට තිබුණි.

එහිදී

1.මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපති තුමා “ PRESIDENT” යන ශීර්ෂයෙන් යුතුව SMS සුභ පැතුම් කොපමණ ප්‍රමාණයක් යවා ඇත්ද?

2.එසේ යවා ඇති SMS ප්‍රමාණය දුරකථන සම්ගම් අනුව කොපමණ ද?

3.එසේ යැවූ SMS සඳහා  වැය වූ මුදල (රුපියල්) කොපමණද?

4.ලංකාවේ ඊට අදාළ ටෙලිකොම් සමාගම් ඒ සඳහා මුදලක් අය නොකර “නොමිලේ” එම සුබ පැතුම් සේවාව සිදු කර ඇත්නම් , ඒ සඳහා වන තහවුරු ලියවිල්ලක පිටපතක්

ලබා දෙන ලෙස එම ඉල්ලීම කොට තිබුණි.

විශේෂයෙන්ම  පුරවැසියන්ගේ පෞද්ගලික  දුරකථන අංක , පුරවැසියන්ගේ  අනුදැනුමකින් තොරව අවභාවිතා කිරීමත්, ඒවා ජනාධිපතිවරයා යටතට පත්වීමත්, නැවත ප්‍රතිචාර දැක්විය නොහැකි ලෙස මෙම පණිවිඩ ලැබීමත්  අචාර ධාර්මික හා නීතිමය බැඳීම් උල්ලංඝණය කිරීමක් ලෙස අපි දකිමු.

එසේම මෙයට අමතරව  රජයේ තානායම්, ඒ තානායම් කළමණාකරණය සහ එම තානායම් බදු දී ඇති ආකාරය පිළිබද තොරතුරැ ඉල්ලා ශ්‍රී ලංකා සංචාරක තොරතුරු කාර්යාලය වෙතත්, ආරක්ෂක අමාත්‍යංශය වෙතත්  ඔහු විසින් තවත් තොරතුරු ඉල්ලීම් කීපයක් යොමු කොට තිබේ.

වැඩි දුරටත් ත්‍රිවිධ හමුදා  පරිපාලනය විසින් පවත්වාගෙන යනු වෙළද ආයතන සම්බන්ධව හා ඒවායේ අදායම සම්බන්ධව විමසමින් තවත් තොරතුරු ඉල්ලීම් 2 ක්  ද ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා යුධ හමුදා මුලස්ථානය වෙත විකල්ප සම සංස්කාරකවරිය  විසින් ද  මේ වන විට යොමු කොට තිබේ.

ඒ අනුව මෙම තොරතුරු ආශ්‍රයෙන් වන අනාවරණයන් හරහා  විකල්ප වෙබ්  අවකාශය තුළින්  ඉදිරියේදී ඉතා වැදගත් අන්තර්ගතයන් බලාපොරොත්තු වන්න