iMage: Tamil Guardian

‘‘අපරාධවලට සහ මත්ද්‍රව්‍යවලට විරුද්ධව ඔබතුමා කරගෙන ගිය යුද්ධය ලෝකෙටම ආදර්ශයක්. පෞද්ගලිකව, මටත් ඒක ආදර්ශයක්. මේ මත්ද්‍රව්‍ය උවදුර මගේ රටෙත් හැම තැනම පැතිරිලා. ඒ උවදුර මැඩලන්න මං හිතනවා මාත් ඔබතුමාගේ අඩි පාරේ යන්න ඕනේ කියලා.’’ පිලීපීනයේ සී.එන්.එන්. වාර්තාවකට අනුව, ජනාධිපති සිරිසේන ගිය සතියේ පිලිපීනයේ රාජ්‍ය නායක භෝජන සංග‍්‍රහයක් අතරවාරයේ එසේ කියා තිබේ. ඊට ප‍්‍රතිචාර දැක්වු පිලිපීන ජනාධිපති දුතර්තේ, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ තම සංග‍්‍රාමයේ කොටස්කරුවෙකු බවට ශ‍්‍රී ලංකාවට පත්විය හැකි බව පෙන්වා දී තිබේ.

අවසානයේදී නිකුත් කෙරුණු රටවල් දෙකේ රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රකාශනය තුළ එය මෙසේ සඳහන් විය:

‘‘අපරාධ සහ නීති විරෝධි මත්ද්‍රව්‍ය සමාජයට තර්ජනයක් බව දෙපාර්ශ්වයම පිළිගනී. එය මැඩලීම සඳහා දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමත්, ඊට අදාළ අත්දැකීම් සහ ක‍්‍රමෝපායයන් බෙදාහදා ගැනීමත් ගැන දෙපාර්ශ්වය එකඟත්වයකට පැමිණියහ.’’

දුතර්තේගේ ක‍්‍රම සහ විධි

2016 දී දුතර්තේ පිලිපීනයේ ජනාධිපති පදවියට පත්වීමේ පටන් පිලිපීන පොලීසිය සහ රාජ්‍ය අනුග‍්‍රහය ලත් මැර කල්ලි මගින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සහ භාවිතය පිළිබඳ සැකකරුවන් 5,000-12,000 ත් අතර ප‍්‍රමාණයක් ඝාතනය කොට තිබේ. මේ පිළිබඳ නිශ්චිත සංඛ්‍යාවක් දැනගත නොහැක්කේ, බොහෝ ඝාතන කෙරී ඇත්තේ නීතියට පිටින් සහ නිල නොවන මට්ටමෙන් වන බැවිනි.

2016-2017 කාලයේ පිලිපීනයේ මත්ද්‍රව්‍ය උවදුර සත්තකින්ම බරපතල ප‍්‍රශ්නයක් විය. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 2016 ‘ජාතික මත්ද්‍රව්‍ය පාලන ක‍්‍රමෝපාය පිළිබඳ වාර්තාව’ පෙන්වා දෙන පරිදි, ‘ෂාබු’ නැමැති මත්ද්‍රව්‍ය භාවිතය එරටේ ප‍්‍රධාන ප‍්‍රශ්නය බවට පත්විය. මුළු නැගෙනහිර ආසියාවෙන් වැඩිම ‘ෂාබු’ භාවිතය ඇති රට වශයෙන් ‘එක්සත් ජාතීන්ගේ ලෝක මත්ද්‍රව්‍ය වාර්තාව’ දක්වා තිබුණේ පිලිපීනයයි.

පිලිපීනයේ කතෝලික අගරදගුරුවරුන්ගේ සම්මේලනය, රටේ මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වීමත්, රජයේ ඉහළ නිලධාරීන්ට ඊට ඇති සම්බන්ධයත් පිළිබඳ සිය කණස්සල්ල පළ කොට විශේෂ ප‍්‍රකාශනයක් නිකුත් කොට ඇත. මේ අතර, එරටේ ප‍්‍රධාන පුවත්පතක් වන ‘ෆිලිපීන් ස්ටාර්’ මේ ප‍්‍රශ්නය ගැන මෙසේ සඳහන් කොට තිබුණි: ‘‘ජාවාරම්කාරයන්ගේ ආරක්ෂකයන් වන්නේ, නගරාධිපතිවරුන්ගේ සහ ආණ්ඩුකාරවරුන්ගේ රහස් සහයෝගය ලබන පොලිස් නිලධාරීන් බව සාමාන්‍ය ජනතාව අතර කසුකුසුවක් පවතින අතරේ ජනාධිපති රොඩි‍්‍රගෝ දුතර්තේ පෙර නොවූ විරූ ලෙසින්, ඒවාට සම්බන්ධ ඉහළ පෙළේ පොලිස් සහ රාජ්‍ය නිලධාරීන්ගේ නම් හෙළි කෙළේය.’’

එරටේ මත්ද්‍රව්‍ය වෙළඳාමේ අගය පෙසෝ බිලියන 350-500 අතර වටිනාකමක් ගනී. එනම්, ඩොලර් බිලියන 66.3 ක් සහ 94.7 ක් අතර වටිනාකමකි. පිලීපින ජාතික පොලිස් වාර්තාව පෙන්වා දෙන පරිදි, එරටේ ප‍්‍රාදේශීය සභා වසම්වලින් සියයට 27 ක් මේ උවදුරට ගොදුරු වී ඇත. අගනගරය වන මැනිලා නුවර තත්වය ඊටත් බරපතල ය. රටේ මුළු ජනගහනය වන මිලියන 106 කින් මිලියන 4 කට ආසන්න ප‍්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව වාර්තා වෙයි.

‘ෂාබු’ වැනි මත්ද්‍රව්‍ය හොරෙන් ගෙනෙන්නේ චීනය, මියන්මාරය, ලා ඕසය සහ උතුරු තායිලන්තයෙනි. දීර්ඝ වෙරළ තීරයක් ඇති පිලිපීනය, මත්ද්‍රව්‍ය සඳහා වන ජාත්‍යන්තර තිප්පොලක් බවට පත්ව ඇත.

මේ උවදුර මැඩලීම සඳහා ජනාධිපති දුතර්තේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ඝාතනය කිරීමේ නිල අවසරය පොලීසියටත්, ඇතැම් සිවිල් කණ්ඩායම්වලටත් දුන්නේය. ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ සංවිධානය පෙන්වා දෙන පරිදි, මේ ඝාතන සඳහා පොලීසියටත්, මිනිමරු කල්ලිවලටත් ආණ්ඩුවෙන් ගෙවනු ලැබේ. ‘‘අපිට මේ වැඬේට ගෙවනවා. පෙසෝ 8000 ක් (ඩොලර් 151) සහ පෙසෝ 15,000 ක් (ඩොලර් 284) අතර ප‍්‍රමාණයක් ගෙවනවා. ඒ කියන්නේ, එක ඝාතනයකට. ඒ විදිහට හතර දෙනෙක්ව මැරුවොත් පෙසෝ 32,000 ක් (ඩොලර් 606) ලැබෙනවා. අපිට ගෙවන්නේ කෑෂ්වලින්. හොරෙන්. මූලස්ථානෙන්. හැබැයි, අත්අඩංගුවට ගත්තොත් සතයක්වත් නැහැ. ඒක නිසා, එක් කෙනෙක්ව හරි මරනවාම තමයි.’’ මැනිලා නගරයේ එක් පොලිස් නිලධාරියෙකු ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ සංවිධානයට එසේ ප‍්‍රකාශ කොට ඇත.

තවත් වාර්තාවකට අනුව, ඕනෑම වටලෑමකදී, සැකකරුවන්ගෙන් සියයට 97 ක්ම ඝාතනය කෙරේ. මෙහිදී, දරුවන් ඇතුළු සිය ගණන් අහිංසකයෝ ද ඝාතනයට ලක්වෙති. එසේ ඝාතනයට ලක්වන්නන්ගෙන් බොහොමයක්, අහිංසකයන් නොවේ නම්, සිල්ලර වෙළෙන්දන් ය. මහ පරිමාණ ව්‍යාපාරිකයෝ පොලීසියෙන් ගැලවී යාමට වගබලා ගනිති.

දුතර්තේගේ මේ ක‍්‍රියාකලාපය එක දිගටම, පිලිපීන මානව හිමිකම් ක‍්‍රියාධරයන්, පිලිපීන මනෝ විද්‍යා සංගමය සහ මාධ්‍ය මගින් දැඩි විවේචනයට ලක්කොට තිබේ. එහෙත් ඒ හැම විටකම ජනාධිපතිවරයාගේ උත්තරය වන්නේ, තමාගේ ක‍්‍රමවේදය වැඩ කරන බවත්, ඊට ජනතා සහයෝගය ඇති බවත්, ඊට විරෝධය පාන්නන් ද ඝාතනයට සුදුසු බවත් ය. (එක් සමීක්ෂණයකට අනුව, මේ සඳහා සියයට 85 ක ජනතා සහාය ඔහුට තිබේ). එක් ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකුට ප‍්‍රසිද්ධියේම ඔහු මෙසේ කීවේය: ‘‘තමා මාධ්‍යවේදියෙක් වුණා කියලා ඝාතනයට නුසුදුස්සෙක් කියලා හිතන්න එපා.’’

මේ තර්ජන කෙසේ වී නමුත්, දුතර්තේගේ මිනීමරු ක‍්‍රමෝපාය සාර්ථක වී නැති බව විවේචකයෝ පෙන්වා දෙති. දුතර්තේ නගරාධිපති වශයෙන් අවුරුදු 22 ක් පාලනය හෙබැවූ පිලිපීනයේ ඩාවෝ නැමැති නගරය එදා මෙන්ම අදත් පිලිපීනයේ අපරාධ කේන්ද්‍රය වශයෙන් පවතින බව ඔවුහූ ඔහුට විටින් විට මතක් කර දෙති. මේ විවේචකයන් ඔහුගෙන් අසන තවත් පැනයක් තිබේ. එනම්, ඔහුගේ ක‍්‍රියාමාර්ගය සාර්ථක වී ඇත්නම්, ‘ෂාබු’ ඇතුළු වෙනත් මත්ද්‍රව්‍යවල මිල ඉහළ නොගොස් එක දිගටම පහළ ගොස් ඇත්තේ මන්ද යන්නයි. 2016 දී ‘ෂාබු’ කිලෝවක මිල ඩොලර් 24 ක් වූ අතර 2017 වන විට එය ඩොලර් 20 දක්වා පහළ ගොස් තිබුණි.

මත්ද්‍රව්‍ය ව්‍යාපාරය අපරාධයක් වශයෙන් සලකා කටයුතු කිරීමේදී, අනිත් පැත්තෙන්, වෙළඳාමත් භාවිතයත් යටිබිම්ගත ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. එසේ වන විට, සාර්ථකව එම උවදුර මැඩලීම තවත් අපහසු කෙරේ. වෙනත් වචනවලින් කිවහොත්, ඉස්සරට වඩා දැන් එය මැඩලීම දුෂ්කර තත්වයකට පත්ව ඇති බව ය.

එසේම, මත්ද්‍රව්‍ය උවදුර දුතර්තේ විසින් අතිශයෝක්තියට නගන බවත් විවේචකයන්ගේ තවත් චෝදනාවකි. ‘ගාර්ඩියන්’ පුවත් පතේ වාර්තාවකට අනුව, පිලිපීනයේ මත්ද්‍රව්‍ය භාවිතයේ මට්ටම සියයට 2.3 ක් පමණ වන අතර, එය ලෝක මත්ද්‍රව්‍ය භාවිතයේ සාමාන්‍යයෙන් අඩකටත් අඩු ප‍්‍රමාණයක් බව ඔවුහු පෙන්වා දෙති.

පිලිපීනයේ මනෝ විද්‍යා සංගමය පෙන්වා දෙන තවත් කාරණයක් තිබේ. එනම්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් තිරිසන් ලෙස මර්දනය කරනවා වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කළ යුතු බවයි. ඒ ක‍්‍රමවේදය, තුන්වැනි ලෝකය ඇතුළු වෙනත් බොහෝ රටවල සාර්ථක වී ඇති බව ඔවුහූ පෙන්වා දෙති.

මනෝ වෛද්‍ය සේවයේ නියුතු විශේෂඥයන්ට අනුව, ‘අසාධ්‍ය මත්ද්‍රව්‍ය ඇබ්බැහිය’ යනුවෙන් දෙයක් නොමැත. විවිධ ආකාරයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් සිටිති. ඔවුන් සියල්ලන් මත්ද්‍රව්‍ය සොඬුන් නොවේ. බොහෝ අය බාහිර ප‍්‍රතිකාර ක‍්‍රම මගින් සුවය ලබති. මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නයේ සැබෑ ස්වභාවය හඳුනා ගැනීම සම්බන්ධයෙන් ගත් විට පිලිපීනය සිටින්නේ බටහිර රටවලට වඩා අවුරුදු 30 ක් පමණ පසුපසිනි. පිලිපීනය තවමත් එය දකින්නේ, නීතිය හා සාමය පිළිබඳ ප‍්‍රශ්නයක් වශයෙන් පමණි. එය සෞඛ්‍ය ප‍්‍රශ්නයක් වශයෙන් සලකා නිසි ප‍්‍රතිකාර කිරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කිරීම ඒ නිසා ඔවුන්ගෙන් මගහැරේ.

ශ‍්‍රී ලංකාව පරිස්සම් විය යුතුව තිබේ

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමේ දුතර්තේගේ ක‍්‍රමය ගැන ජනාධිපති සිරිසේන පැහැදී ඇතත්, අපේ ප‍්‍රශ්නය විසඳීමට ඔවුන්ගේ උදව් ඔහු ඉල්ලා ඇතත්, දුතර්තේ මෙන් නීති විරෝධී ක‍්‍රම, විශේෂයෙන් ඔහුගේ ඝාතන ක‍්‍රම අපේ ජනාධිපතිවරයා පිළිනොගන්නා බවට සැකයක් නැත. ආණ්ඩුවේ ඉහළ පෙළේ ප‍්‍රකාශයෙකු කියන පරිදි, පිලිපීන පොලීසිය මත්ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කරන ක‍්‍රමවේද ගැන අපේ ආණ්ඩුව උනන්දුවක් දක්වයි. ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වන බවත්, ඉහළම අධිකරණයෙන් පනවනු ලබන මරණ දඬුවම පවා ක‍්‍රියාත්මක කිරීමට පසුබට වන තරමට අපේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන බවත් එම ඉහළ නිලධාරියා පෙන්වා දුන්නේය.

දැනට මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියම වී සිටින අතරේ හිරගෙදර සිට නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුක්ත වන්නන්ගෙන් මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන බව ජනාධිපති සිරිසේන කියා ඇතත්, එවැන්නක් මෙතෙක් ක‍්‍රියාත්මක වී නැත.

තව ද, මත්ද්‍රව්‍ය උවදුර ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් නොවේ. මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ඒකකයේ වාර්තාවන්ට අනුව, අපේ මිලියන 20 ක් වන ජනගහනයක් අතරේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සිටින්නේ 80,000 කි. එහෙත් පිලිපීනයේ මෙන්ම ලංකාවේත් මත්ද්‍රව්‍ය භාවිතය අපරාධයක් බවට පත්කොට තිබේ. ඒ නිසා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් සහ වෙළෙන්දන්ගෙන් ලංකාවේ සිරගෙවල් පිරී තිබේ. පිලිපීනයේ මෙන්ම ලංකාවේත්, එවැනි පුද්ගලයන්ට ප‍්‍රතිකාර කිරීම සහ ඔවුන් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන් අප දක්වන උනන්දුව අල්ප ය.

දැනට පවතින, ප‍්‍රමාණවත් නොවන සහ කාර්යක්ෂම නොවන පුනරුත්ථාපන වැඩපිළිවෙල යටතේ පවා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් සියයට 70-80 අතර ප‍්‍රමාණයක් යළි සාමාන්‍ය ජීවිතවලට හුරු කැරැවීමට මේ වන විට හැකියාව ලැබී තිබේ. ඒ නිසා මේ ප‍්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන්, වඩාත් පුළුල් ප‍්‍රවේශයක් ඇති කර ගත යුතුව තිබේ. එහිදී, ඇබ්බැහි වූවන්ගේ සමාජ කණ්ඩායම්, ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සහ ඔවුන්ගේ පරිසරය ආදී සියලූ කරුණු, පුනරුත්ථාපන වැඩ පිළිවෙලක අත්‍යාවශ්‍ය සාධක වශයෙන් සැලකිල්ලට ගෙන කටයුතු කළ යුතුව තිබේ.

*2019 ජනවාරි 22 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Prez Sirisena Probably doesn’t know that Philipines Drug Traffickers run past Duterteනැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

පී. කේ. බාලචන්ද්‍රන්